204. බුදුගුණ අනන්තයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනන්ත වු බුදු ගුණයන් පිළිබඳ ත්‍රිපිඨකයේ දක්වා ඇත්තේ කොතනද?

A / R. "සාමාන්‍ය ලොකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසකට බෙදා පද නවයකට සකළ බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය."

"‘බුද්‌ධොපි බුද්‌ධස්‌ස භණෙය්‍ය වණ්‌ණං, කප්‌පම්‌පි චෙ අඤ්‌ඤමභාසමානො;
ඛීයෙථ කප්‌පො චිරදීඝමන්‌තරෙ, වණ්‌ණො න ඛීයෙථ තථාගතස්‌සා’’ති.
(දී. නි. අට්‌ඨ. 1.304; 3.141; ම. නි. අට්‌ඨ. 2.425; උදා. අට්‌ඨ. 53; චරියා. අට්‌ඨ. නිදානකථා)
යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වූ බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායින් ඉතා ස්වල්පයකි."

{"සකළ ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩාත් මහත් වු බුදුගුණ එක් සෝවාන් පුදුගලයකුට ඇතය යි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, සකෘදාගාමී සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, අනාගාමින් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප අනුරුඬ මහා කච්චානා මහා කොට්ඨිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ඒ සතර මහාතෙරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතරින් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුට ඇතය යි ද, ඉදින් සක්වල පුරා සිවූරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලූ පසේ බුදුවරුන්ගේ බුඬගුණඥාණයට මහත් වු බුඬගුණඥාණයක් එක් ලොවූතුරා බුදුකෙනෙකුට ඇතැය යි ද සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි* දක්වා ඇත්තේ ය.

නුවණැතියන්ගෙන් අඟතැම්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වූව ද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්ප වශයෙනි. උන්වහන්සේගේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේ ද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නො පෙනෙන නො දැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි. එක් එක් පසකින් නව යොදුන් බැඟින් අටලොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්‍රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නක් මෙන් ද, නොගත් ජලය බොහෝ වන්නක් මෙන් ද, මහාපොළොව ඇගිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇගිකල්ලට ආ පස් අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොව පස් බොහෝ වන්නක් මෙන් ද, මහා සයුරට ඇගිල්ලක් දිගුකළ කල්හි ඇගිල්ල කෙළින් ඇති ජලය  අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුව ද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණ බොහෝ බව ද, සම්පසාධනීය සුත්තට්ඨ කථාවෙහි ම දක්වා තිබේ. සාමාන්‍ය ලොකයා හට අනන්ත බුද්ධ ගුණස්කන්ධය පිළිබඳව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇතිකර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුදුගුණයන් නව කොටසක් බෙදා ලද නවයකට සකළ බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll