Q. දෙමව්පියන් ගැන කලකිරිලා ද?
A. කලකිරීම කියන්නෙත් දේවේෂයේම තවත් වේශයක් තමා. ඔබට මව්පියන්ට සලකන්න හැකියාවක් තියනවා නම්, එසේ හැකියාවක් තියෙද්දී නොසළකා ඉන්න හෝ අතහරින්න එපා. කොහොමත්, මොන වැරද්ද තිබුණත්, කොච්චර නරක දෙමව්පියන් උනත් නොසලකා හරින්න හෝ අතාරින්න එපා. ඔබ මේ අවස්ථාව ඔබේ හිතේ මෛත්‍රිය, ඉවසීම වැනි උතුම් ගුණාංග වඩන්න අවස්ථාවක් කරගන්න; දෙමව්පියනුත් ධර්ම මාර්ගයට ගන්න, අවස්ථාවක් බවට පත්කර ගන්න.
Q. අකමැති අයගෙන් වෙන්වෙලා තනිය ම ඉන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා නේද?
A. බාලයෙක් / මෝඩයෙක් / අසත්පුරුෂයෙක් නං ආශ්‍රය නොකර අතැරලා තනියම ඉන්න එක හොඳයි තමයි. එත්, දෙමව්පියෝ ඒ ගණයට දාන්න බෑ, එයාලගේ ගුණ මහිමය වැඩි නිසා, කාගේ උනත්/කොහම උනත්.
තමන්ට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ගුණදහම් වලින් සමාන හෝ වැඩි කෙනෙක් හොයාගන්න බැරි නං, තනියම ඉන්න එක (එකලාව වාසය) හොඳයි කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා කියනවා තමා.
[“චරං චේ නාධි ගච්ඡෙය්‍ය
සෙය්‍යං සදි සමත්තනෝ
ඒක චරියං දළ්හං කයිරා
නත්ථි බාලේ සහායතා.”]
ඒ වගේම, (ධර්මය ලබා දීමෙන් ම හැරෙන්නට) කෙනෙක් තමන්ගේ දෙමව්පියෝ දෙඋරේ තියාගෙන අවුරුදු සීයක් උපස්ථාන කරත්, දෙමව්පියන්ට තියන ණයෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නෑ කියලත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා කියනවා.
[https://pitaka.lk/main?n=27130&p=34 ‘‘ද්වින්නාහං, භික්ඛවෙ, න සුප්පතිකාරං වදාමි. කතමෙසං ද්වින්නං? මාතු ච පිතු ච. එකෙන, භික්ඛවෙ, අංසෙන මාතරං පරිහරෙය්‍ය , එකෙන අංසෙන පිතරං පරිහරෙය්‍ය වස්සසතායුකො වස්සසතජීවී සො ච නෙසං උච්ඡාදනපරිමද්දනන්හාපනසම්බාහනෙන. තෙ ච තත්ථෙව මුත්තකරීසං චජෙය්‍යුං. න ත්වෙව, භික්ඛවෙ, මාතාපිතූනං කතං වා හොති පටිකතං වා. …”]
“මහණෙනි, දෙදෙනෙකුන්හට සුදුසු සේ කළගුණ සැළකීම නොකළ හැකියයි මම කියමි. කවර දෙදෙනෙකුන්ටද යත්. තමන් දාකළ මවටද, ජනක පියාටද වෙත්.
"මහණෙනි, වර්‍ෂ සියයක් ආයු ඇත්තාවූ, වර්‍ෂ සියයක් ජීවත් වන්නාවූ (පුතෙක්) එක් අංශයකින් මව පෝෂණය කරන්නේද, එක් අංශයකින් පියා පෝෂණය කරන්නේද, හෙතෙම ඔවුන්ගේ ඇඟ ඉලීමෙන්, පිරිමැදීමෙන්, නෑවීමෙන්, අත් පා මැඩීම් කිරීමෙන් ඔවුන්ට උපස්ථාන කෙරේද, එකී දෙමව්පියෝ එහිම හුන්නාහු මල මූත්‍ර පහ කෙරෙත්ද, මහණෙනි, (එපමණකිනුදු) මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ නොවේමය.
"මහණෙනි, යම් පුත්‍රයෙක් මව් පිය දෙදෙනා බොහෝ සප්තවිධ රත්නයන් ඇත්තාවූ, මේ මහා පෘථුවියෙහි ඉසුරු බව හා අධිපති බව ඇත්තාවූ චක්‍රවර්ති රාජ්‍යයෙහි පිහිටුවන්නේද, එපමණකිනිදු මහණෙනි, මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ හෝ කළ ගුණ සලකන ලද්දේ හෝ නොවේමය. ඊට හේතු කවරේද? මහණෙනි, මව් පිය දෙදෙනා පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුන් වර්‍ධනය කරන්නෝය. පෝෂණය කරන්නෝය. මේ ලෝකය දක්වන්නෝය. එහෙයිනි.’’
එමෙන් ම, තරුණ විය ඉක්ම වූ දෙමව්පියන්ට, තමන්ට හැකියාව තියෙද්දිත් නොසලකා ඉන්නවා නං, එක පිරිහීමේ හේතුවක් (පහත්/නීච ක්‍රියාවක්) කියලත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා කියනවා.
[“යෝ මාතරං වා පිතරංවා
ජිණ්ණකං ගත යොබ්බනං
පහූසන්තෝ න භරති
තං පරාභවතෝ මුඛං”]
දෙමව්පියෝ අපිට කරපු කියපු දේවල්/කැපකිරීම් ගොඩක් දරුවෝ දන්නේ වත් නෑ. අනික ප්‍රායෝගික සමාජ මට්ටම තමා, දෙමව්පියන්ගෙන් ඈත් වෙන්න, එයාලට නොසලකා ඉන්න කරුණු හොයන දරුවෝ තමා අද කාලේ වැඩි. ඒ තමන්ගේ නිදහස, ආත්මාර්ථය ආදී කරුණු උදෙසා ම මිසක් වෙන දෙයකට නෙවේ. එක ම එක හොඳක් හරි හොයාගන්න බැරි දෙමව්පියෝ මේලෝකේ නෑ. ඒ හොඳ ගැන හරි මෙනෙහි කර කර, කාගේ උනත්/කොහම උනත්, දෙමව්පියන්ව අතනොහැර එයාලට සලකන බලන එක දෙලොවම (සංසාරේ) යහපතට බලපාන ප්‍රධාන කාරණයක්.
“යෝ මාතරං වා පිතරං වා
මච්චෝ ධම්මේන පොසති
ඉධේචනං පසංසන්ති
පෙච්චසග්ගේ පමෝදති”
යමෙක් මව හෝ පියා හෝ ධර්මයෙන් පෝෂණය කෙරේද? ඔහුට මේ ලෝකවාසීන් පසසයි. හෙතෙම මරණින් මතු දෙවි ලොව ඉපිද ප්‍රමුදිත වෙයි, සතුටු වෙයි, යනු ගාථාවෙන් ප්‍රකාශවන අදහසයි."