126. රූප කලාපයක් යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "රූප කලාපයක්" යනු කුමක් ද?

A / R. "රූපයෝ තනි තනි ව උපන්නාහු නො වෙති. තවත් රූපවලට සම්බන්ධ නො වී තනි ව ඉපදිය හැකි පැවතිය හැකි ශක්තියක් රූපවලට ඇත්තේ ද නැත. ඒවා ඇති වන්නේ ද පවතින්නේ ද සමූහ වශයෙනි. ඒ එක් එක් සමූහයක අඩු ගණනින් රූප අටක් වත් ඇත්තේ ය. එක් ව ඇති වන්නා වූ ඒ රූප සමූහවලට රූපකලාප යයි කියනු ලැබේ.

R. "තනි තනිව රූපයෝ නූපදිති. එසේ ඉපදීමට සමත් බවක් ඒවාට නැත. මහාභූතයෝ සතර දෙන ඔවුනොවුන් කෙරෙහි ගැලී හෙවත් එකක් ඉතිරි තුන තුළට වැදී ඉතිරි තුන ඒ එක තුළ වැදී, දෙකක් ඉතිරිදෙක තුළට වැදී ඒ දෙක අනික් දෙක තුළට වැදී ඔවුනොවුන් ඇසුරු කොට සර්වප්‍ර‍කාරයෙන් ඔවුනොවුන් හා බැඳී උපදිති. උපාදාය රූප නම් වූ ඉතිරි රූපයෝ භූතයන් තුළට වැද භූතයන් ඇසුරු කොට උපදිති. එසේ බැඳී උපදනා වූ රූප පිණ්ඩයකට කියන නාමය රූප කලාපය යනු යි."

{"වර්ණ-ගන්ධ-රස-ඕජා යන සතර ය, භූතරූප සතරය යන මේ රූප අට ඔවුනොවුන්ගෙන් වෙන් නො වන බැවින් අවිනිබ්භෝග රූප නම් වේ. ඉතිරි රූප විස්ස විනිබ්භෝග රූප නම් වේ.

පස් - ගල් - ගින්දර - වතුර - සුළඟ - මල් - කොළ - ගෙඩි - පොතු - මුල් - අරටු ආදි වශයෙන් ලෝකයෙහි යම් යම් දෙයක් වේ නම්, ඒ සියල්ල ම ශුද්ධාෂ්ටක කලාපයෝ ම ය. සත්ත්ව ශරීරවලත් වැඩි හරියක් ඇත්තේ ශුද්ධාෂ්ටක කලාපයන් ම ය. පැහැයෙන් ද සටහනින් ද රසයෙන් ද තද බව මොළොක් බව රළු බව සිනිඳු බව ආදි ගුණවලින් ද බරෙන් ද එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වන අනේක ප්‍ර‍කාර වස්තූන් එක ම ශුද්ධාෂ්ටක කලාපයෙන් ඇති වන්නේ, ශුද්ධාෂ්ටක කලාප සෑදී ඇති මහාභූතයන් ගේ වෙනස් කමෙනි. ශුද්ධාෂ්ටක කලාපවලින් සමහරෙක පෘථිවි ධාතුව උත්සන්න ය. අනික් ධාතු තුන හීන ය. සමහරෙක පෘථිවි ආපෝ ධාතු දෙක උත්සන්න ය අනික් ධාතු දෙක හීන ය. මෙසේ ඒ ඒ ධාතුවල වෙනස්කම්වලින් වර්ග දහස් ගණනක ශුද්ධාෂ්ටක කලාප ඇත්තේ ය. එක ම ශුද්ධාෂ්ටක කලාපයෙන් නානාප්‍ර‍කාර වස්තු සෑදී ඇත්තේ මේ ධාතු නානාත්වය නිසා ය. ආකාශ ධාතු රූප කලාපයන් එකිනෙකින් වෙන් කරමින් ඒවායින් පිටත සිටින්නක් බැවින් කලාපවලට අයත් නො වේ. ලක්ෂණ රූප සතරක් කලාපයන්ගේ ලක්ෂණ මාත්‍ර‍යක් බැවින් ඒවාට ඇතුළත් නො වේ."}

රූප කලාපයට පර්‍ය්‍යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. රූප කලාපයට අයත් වෙන් වෙන් වූ රූපවලට පර්‍ය්‍යන්ත පරිච්ඡේදයක් නැත්තේ ය. එක් කලාපයක රූප පවත්නේ එක් රූපයක් අනික් රූපවල ගැලී තිබෙන්නාක් මෙනි. අනික් රූප ද ඒ රූපයෙහි ගැලී තිබෙන්නාක් මෙනි. තවත් ක්‍ර‍මයකින් කියත හොත් එක් රූපයක් අනික් රූප ගිලගෙන සිටින්නාක් මෙනි. අනික් රූප ඒ රූපය ගිලගෙන සිටින්නාක් මෙනි. මේ කාරණය පැහැදිලි කිරීමට උපමාවක් ද නැත. එහෙත් යම්තමට කාරණය තේරුම් ගැනීමට උපකාර වන උපමාවක් දැක්විය හැකි ය. ඒ මෙසේ ය:-

හාල් පිටි - තිරිඟු පිටි - කුරක්කන් පිටි - බාර්ලි පිටි යන මේ සතර වර්ගයෙන් ස්වල්පය බැගින් ගෙන හොඳින් මිශ්‍ර‍ කොට වතුරෙන් අනා ගුළියක් කළ කල්හි “සහල් පිටි ඇත්තේ කොහි දැ” යි විචාළ හොත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “තිරිඟු පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “කුරක්කන් පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. “බාර්ලි පිටි ඇත්තේ කොහිදැ” යි විචාරත හොත් එයත් ඉතිරි පිටි තුන් පංගුවෙහි ගිලී ඇති බව කිය යුතු ය. දැන් ඒ සියල්ල ම එකතු කොට බැලුව හොත් ඒ පිටි සතර වර්ගය ඔවුනොවුන් ගිලගෙන සිටින බව ඔබට තේරුම් ගත හැකි වනු ඇත. පිටි ගුළියෙහි පිටි මෙන් රූප කලාපයක රූපත් ඔවුනොවුන් ගිල ගෙන සිටින්නාක් මෙන් මිශ්‍ර‍ වී ඇති බව දත යුතු ය. මිශ්‍ර‍ වුව ද පිටි ගුළියෙහි කුඩා පිටි කැබලි ඇත්තේ වෙන් වෙන් වශයෙනි. රූප කලාපයක රූපවල එසේ වෙන් ව පැවැත්මක් නැත්තේ ය. එහි ඇත්තේ අතරක් නැති සම්පූර්ණ මිශ්‍ර‍ණයෙකි. රූප කලාපයක ප්‍ර‍මාණය නො කිය හැකි ය. එය පරමාණුවට ද වඩා බොහෝ කුඩා ඇසට නො පෙනෙන දෙයකි.

එකට ඉපදීමය, එකට බිඳීමය, එක නිඃශ්‍ර‍යක් ඇති බව ය, එකට පැවැත්මය යන මේවා රූප කලාපයේ ලක්ෂණයෝ ය. රූප කලාප සෑදීමත් ක්‍ර‍මයක් අනුව සිදු වන්නකි. එබැවින් රූප කලාප එක විස්සක් වේ. ඒ එක් විස්සෙන් කර්මයෙන් හටගන්නා කලාප නවයෙකි. චිත්තයෙන් හටගන්නා කලාප සයකි. සෘතුවෙන් හටගන්නා කලාප සතරකි. ආහාරයෙන් හටගන්නා කලාප දෙකකි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll