355. "ජාත සෝතාපන්න"?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "ජාත සෝතාපන්න" පුද්ගලයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ ද? නැතිනම් පසුකාලීන විකෘති දහමක් ද?

A / R. "සෝවාන් පුද්ගලයන් අතර දෙව්ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත්ව පිරිනිවන් පාන්නෝ ද වෙති. මිනිස් ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත් ව පිරිනිවන් පාන්නාහු ද වෙති. දිව්‍යලෝක මනුෂ්‍යලෝක දෙක්හි කලවමට සත්වර ඉපිද සත්වන ජාතියෙහි රහත් වන්නාහු ද වෙති. ඉහත දැක්වූ පාඨයෙන් ගෙන ඇත්තේ දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි මිශ්‍ර‍ක වශයෙන් ඉපිද සත්වන ජාතියේ රහත් වන තැනැත්තාය යි පුග්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ."

“සත්වරක් පරම කොට, දිව්‍ය, මනුෂ්‍ය දෙගතියෙහි ඇවිද හැසිර දුක් කෙළවර කෙරෙයි.”
https://suttacentral.net/an9.12/si/zoysa

http://www.thripitakaya.org/tipitakaya/Index/1105?s=24062 (37 > 39)

“සෝවාන් පුද්ගලයාගේ ප්‍රභේද
සත්තක්ඛත්තු පරම සෝතාපන්නයා ය,
කෝලංකෝල සෝතාපන්නයා ය,
ඒක බීජි සෝතාපන්නයා ය,
යි සෝවාන් පුද්ගලයෝ තිදෙනෙකි.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-12-3.html

“සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති.”
https://pitaka.lk/?node=34112&coll=cs,aps

"සෝවාන් පුද්ගලයාගේ ප්‍රභේද.

සත්තක්ඛත්තු පරම සෝතාපන්නයා ය,
කෝලංකෝල සෝතාපන්නයා ය,
ඒක බීජි සෝතාපන්නයා ය,
යි සෝවාන් පුද්ගලයෝ තිදෙනෙකි.

“කතමො ච පුග්ගලො සත්තක්ඛත්තුපරමො ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො සො සත්තක්ඛත්තුං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරෝති, අයං වුච්චති පුග්ගලො සත්තක්ඛත්තු පරමො”

(පුග්ගලපඤ්ඤත්ති පකරණ)

කවර පුද්ගලයෙක් සත්තක්ඛත්තුපරම නම් වේ ද යත්? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන සංයෝජන තුන ක්ෂය කිරීමෙන් ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියේ වේ ද, මතු අපායෙහි උපදනා ස්වභාවය නැත්තේ වේ ද, නිවනට පැමිණීමෙහි නියත වේ ද, මතු මාර්ගත්‍රයෙන් ඒකාන්තයෙන් චතුස්සත්‍යාවබෝධය කරන්නේ වේ ද, ඒ පුද්ගල තෙමේ දෙව්ලොව ද මිනිස්ලොව ද සත් වරක් ඉපදීම් වශයෙන් ඔබ මොබ ගොස් දුක් කෙළවර කෙරේ. මේ පුද්ගලයා සත්තක්ඛත්තු පරමය යි කියනු ලැබේ ය යනු එහි තේරුම යි.

සෝවාන් පුද්ගලයන් අතර දෙව්ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත්ව පිරිනිවන් පාන්නෝ ද වෙති. මිනිස් ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත් ව පිරිනිවන් පාන්නාහු ද වෙති. දිව්‍යලෝක මනුෂ්‍යලෝක දෙක්හි කලවමට සත්වර ඉපිද සත්වන ජාතියෙහි රහත් වන්නාහු ද වෙති. ඉහත දැක්වූ පාඨයෙන් ගෙන ඇත්තේ දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි මිශ්‍ර‍ක වශයෙන් ඉපිද සත්වන ජාතියේ රහත් වන තැනැත්තාය යි පුග්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. “දෙවෙ ච මනුස්සෙ ච සත්තක්ඛත්තුං” යන්නෙහි අදහස දිව්‍යලෝකයෙහි හෝ මනුෂ්‍යලෝකයෙහි හෝ ඒ දෙක්හි කලවමට ඉපදීමය කියා ගැනීමත් නිවැරදියයි සිතමි. ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ සෝවාන් පුද්ගලයාට දෙව් ලොව ඕපපාතික ප්‍ර‍තිසන්ධි සතක් ද මිනිස් ලොව ගර්භප්‍ර‍ති සන්ධි සතක් දැ යි ප්‍ර‍තිසන්ධි තුදුසක් ඇත්තේ ය යි ගනිති. සම්මෝහවිනෝදනි අටුවාවෙහි -

“සත්තමෙ භවෙ සබ්බාකාරෙන පමාදවිහාරිනො’පි විපස්සනාඤාණං පරිපාකං ගච්ඡති. අප්පමත්තකෙ’ පි ආරම්මණෙ නිබ්බින්දිත්වා නිබ්බුතිං පාපුණාති. සචේහිස්ස සත්තමෙ භවෙ නිද්දං වා ඔක්කමන්තස්ස පරම්මුඛං වා ගච්ඡන්තස්ස පච්ඡතො ඨත්වා තිඛිණෙන අසිනා කොචිදෙව සීසං පාතෙය්‍ය, උදකෙ ඔසාදෙත්වා මාරෙය්‍ය, අසනී වා පනස්ස සීසෙ පතෙය්‍ය, එවරූපෙ’පි කාලෙ සප්පටිසන්ධිකා කාලකිරියා නාම න හොති, අරහත්තං පත්වාව පරිනිබ්බාති.”

යි අටවන වරක් නූපදීම තරයේ ම කියා තිබේ. සෝවාන් පුද්ගලයා සත් වරට වඩා නූපදින්නේ කාම ලෝකයෙහි ය රූපාරූප ලෝකවල වනාහි සත්වරට වඩා ද උපදින්නේ ය. කාමලෝකයෙහි සත්වරට වඩා නූපදීම සෝවාන් මාර්ගයාගේ ආනුභාවයෙන් සිදු වන්නකි. රූපාරූප ලෝකවල වඩා ඉපදීම ධ්‍යානානුභාවයෙන් සිදු වන්නකි. සෝවාන් පුද්ගලයන් අතර සංසාර වෘත්තියට වඩා ඇලුම් කරන පුද්ගලයෝ ද වෙති. ඔවුහු දිව්‍යලෝකයෙන් දිව්‍යලෝකයට ඉහළට ඉපද ගොස් ධ්‍යාන උපදවා බ්‍ර‍හ්මලෝකයට පැමිණ එහි ද පිළිවෙලින් ඉහළ ඉහළ ලෝකවල උපදිමින් අකනිට්ඨය දක්වා ගොස් එහි දී පිරිනිවන් පාන්නාහ.

අනේපිඬු මහා සිටුහුය, විශාඛා මහා උපාසිකාවය, චූලරථ, මහාරථ දිව්‍ය පුත්‍රයෝ ය. අනේකවර්ණ දේව පුත්‍ර‍යා ය, සක්දෙව් රජය, නාගදත්ත දේව පුත්‍ර‍යාය යනාදීහු පිළිවෙලින් දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝකවල ඉපද ගොස් අකනිට්ඨයේ පිරිනිවන් පාන්නාහ යි පුද්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. සෝවාන් පුද්ගලයාගේ භවයෙහි සත් වරකට වඩා නූපදීම දක්වා ඇත්තේ සෝවාන් මාර්ගයාගේ ශක්තිය දැක්වීම් වශයෙනි. සෝවාන් පුද්ගලයාට ධ්‍යාන උපදවා ගත නො හැකි වී නම් හේ සත් ජාතියකට වජා නූපදනේ ය.

කතමො ච පුග්ගලො කොලංකොලො? ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති, අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො ද්වේ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති අයං වුච්චති පුග්ගලො කොලංකොලො.”

කෝලංකොල පුද්ගලයා කවරේ ද? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් සත්කායදෘෂ්ට්‍යාදි සංයෝජනත්‍ර‍ය ක්ෂය කිරීමෙන් ආර්‍ය්‍යමාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියේ වේ ද? අපායයට නො යන ස්වභාවය ඇත්තේ වේ ද, නිවනට පැමිණීමෙහි නියත වේ ද, මතු ඒකාන්තයෙන් සම්බෝධියට පැමිණෙන්නේ වේ ද, ඒ පුද්ගලයා භව දෙකක් හෝ තුනක් කාමලෝකයෙහි සැරිසරා දුක් කෙළවර කරන්නේ ය. ඒ පුද්ගලයා කෝලංකෝලය යි කියනු ලැබේ ය” යනු එහි තේරුම යි. මෙහි භව දෙක තුනකැ යි සාමාන්‍යයෙන් දැක්වෙතත් සෝවාන් වීමෙන් තුන් වන භවයේ පටන් සවන භවය දක්වා ඇති භව වලදී රහත් වන්නෝ කෝලංකෝල පුද්ගලයෝ ය යි ගත යුත්තාහු ය.

“කතමො ච පුග්ගලො එකබීජි? ඉධෙකච්චෝ පුග්ගලෝ තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සොතාපන්නො හොති. අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො එකංයෙව මානුසකං භවං නිබ්බත්තෙත්වා දුක්ඛස්සන්තං කරොති, අයං වුච්චති පුග්ගලො එකබීජි.”

ඒකබීජි පුද්ගලයා කවරේ ද යත්? මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් සංයෝජනත්‍ර‍ය ප්‍ර‍හාණය කිරීමෙන් ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියේ වේ ද? අපායයෙහි නූපදනා ස්වභාවය ඇත්තේ නියත වේ ද? මතු මාර්ගත්‍ර‍යට ඒකාන්තයෙන් පැමිණෙන්නේ වේ ද, හෙතෙමේ එක් මනුෂ්‍ය භවයක පමණක් උපදවා දුක් කෙළවර කෙරේ. මේ පුද්ගලයා ඒකබීජි පුද්ගලයා ය යි කියනු ලැබේ” ය යනු එහි තේරුම ය.

පුග්ගලපඤ්ඤත්තියෙහි සත්තක්ඛත්තුපරම, කෝලංකෝල පුද්ගලයන් දක්වා ඇත්තේ දිව්‍ය මනුෂ්‍ය උත්පත්තීන්ගේ වශයෙනි. ඒකබීජි පුද්ගලයා දැක්වෙන්නේ මිනිස්ලොව එක් වරක් ඉපදීම් වශයෙනි. සත්තක්ඛත්තු පරමය, කෝලංකෝලය, ඒකබීජිය යන සෝවාන් පුද්ගලයන් තිදෙනා සතරක් වූ ප්‍ර‍තිපදාවන්ගේ වශයෙන් දොළොස් දෙනේක වෙති. ඒ දොළොස් දෙනා ශ්‍රඬාධුර ප්‍ර‍ඥාධුර දෙකින් වැඩි කළ කල්හි සූවිසුදෙනෙක් වෙති. සෝවාන් පුද්ගලයෝ සූවිසි දෙනෙකි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll