465. අෂ්ට දුෂ්ටක්ෂණ (අට්ඨ දුට්ඨක්ඛණ) මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. අශ්ටදුශ්ටක්ශන (අෂ්ඨ දුෂ්ඨ ශන) මොනවාද? පැහැදිලි කරන්න.

A / R. # මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ ලෝකය ක්‍ෂණකෘත්‍ය ඇත්තේ ය, (අවකාශ ලැබැ ම කරන කිස ඇත්තේ ය) ක්‍ෂණ කෘත්‍ය ඇත්තේ ය යි කියයි. හෙතෙමේ ක්‍ෂණය (අවකාශය) හෝ අක්‍ෂණය (අනවකාශය) හෝ නො දනියි. මහණෙනි, බඹසර විසීමට අනවකාස අකාල මේ අටෙක් වෙයි. කවර අටෙක යත්:

1. මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත වූ ලෝකවිදු වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ලෝකයෙහි උපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවීම කරන්නා වූ (චතුර්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කරා යන්නා වූ සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දා වූ ධර්‍මය ද දෙසනු ලැබේ. (එකල) මේ පුඟුල් තෙමේ ද නිරයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පළමු වන අනවකාශය වේ අකාලය වේ.

2. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වේ ... සුගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද තිරිසන් යොන්හි උපන්නේ වෙයි. මහණෙනි, බ්‍රහ්මචරියවාසයට මේ දෙවන අනවකාශය වේ. අකාලය වේ.

3. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද ප්‍රේත විෂයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ තෙවන අනවකාශය වේ. අකාලය වේ.

4. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද දීර්‍ඝායුෂ ඇති එක්තරා දේවනිකායයෙක්හි (අසංඥතලයෙහි) උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ සිවුවන අනවකාශය වේ. අකාලය වේ.

5. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හසරෙක් යම් තැනෙක නැති ද, එබඳු වූ අතිශය අඥ වූ ම්ලෙච්ඡ වූ ප්‍රත්‍යන්තජනපදයන්හි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පස්වන අනවකාශය වේ. අකාලය වේ.

6. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ දෙන ලද්දෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, අමුත්තනට පිළියෙළ කළ සත්කාරයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ (කුසලාකුසලයන්ගේ) පලයෙක් විපාකයෙක් නැත, (පරලොව සිටියහුට) මෙලොවක් නැත, (මෙලොව සිටියහුට) පරලොවක් නැත, මවු නැත, පියා නැත, (මවුපියනට කළ යහපත් අයහපත් පිළිවෙතින් පලවිපාක නැතැ යි සේ යි). ඕපපාතික සත්ත්‍වයෝ නැත, යමෙක් මෙලොව ද පරලොව ද තුමූ අභිවිශිෂ්ටඥානයෙන් පසක් කොට කියත් නම් (එබඳු) මනා මඟෙහි ගිය සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණෝ ලෝකයෙහි නැතියි විපරීත දැකුම් ඇති මිසදිටුවෙක් වේ. මහණෙනි, බඹසර විසුමට මේ සවන අනවකාශය වේ. අකාලය වේ.

7. තවද, මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලොව උපන්නේ වේ ... සුගතප්‍රවේදිත ධර්‍ම ය ද දෙසනු ලැබෙයි. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ වෙයි. හෙතෙමේ ද මූඪ වූ කෙළ තොලු වූ සුභාෂිත දුර්‍භාෂිතයක්හු ගේ අරුත් දන්නට අසමත් වූ දුෂ්ප්‍රාඥයෙක් වේ. මහණෙනි, මෙ බඹසර විසුමට සත්වන අනවකාශය යි, අකාලය යි.

8. තවද, මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ ... දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගත තෙමේ ද ලෝකයෙහි නූපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවෙන්නා වු සම්බෝධියට යන සුලු වූ සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද නො දෙසනු ලැබේ. මේ පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. හෙතෙමේ ද නුවණැත්තේ අජඩ වූයේ කෙලතොලු නො වූයේ සුභාෂිත දුර්‍භාෂිතයක්හුගේ අරුත් දැනීමෙහි ප්‍රතිබල වූයේ වේ. මහණෙනි, බඹසර විසුමට මේ අටවැනි වූ අනවකාශය වේ. අකාලය වේ. මහණෙනි, බඹසර විසුමට මෙ අනවකාශයෝ අකාලයෝ අට දෙන වෙත්. ...


# “මහණෙනි, ධර්මය නොදත් පෘතග්ජන තෙම ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේය. ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේයයි කියයි. (එසේද වුවත්) හෙතෙම අවකාශය හෝ අනවකාශය නොදනී. මහණෙනි, මේ අවස්ථා අට ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව රැකීමට අනවකාශවූ අකාලයෝ වෙත්. කවර අවස්ථා අටෙක්ද යත්?

“මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද,
“කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, (එකල්හි) යම් මේ පුද්ගලයෙක් තෙම නරකයෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පළමුවෙනි අකාලයයි.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම තිරිසන් යෝනියෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ දෙවෙනි අකාලයයි.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම ප්‍රේත ලෝකයෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ තුන්වෙනි අකාලයයි.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම අසඤ්ඤසත්ත දේවනිකාය ආදීවූ යම්කිසි දේව නිකායෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හතරවෙනි අකාලයයි.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්‍රසිද්‍ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්‍වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම අඥාන වූයේ වේද, ජඩ වූයේ වේද, කෙළතොලු වූයේ වේද, යහපත්වූ හෝ අයහපත්වු වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහි අපොහොසත් වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ සත්වෙනි අකාලයයි.

“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේත් පහළවූයේත් නොවේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු නොලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය දේශයෙහි උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්ත වූයේද. ජඩ නුවූයේද, කෙළතොලු නුවූයේද, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහි සමර්ත්‍ථ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ අටවෙනි අකාලයයි. මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ නොකල් අට වෙත්. ...

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll