884. දහම් මඟ යන විට කරදර වැඩියි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධර්ම මාර්ගයේ යන විට සාමාන්‍ය ජීවිතයට එන කරදර වැඩි බව දැනී තිබේද? අවාසනාවන්ත සිදුවීම් වැනි?

A. "මාස කිහිපයක් භාවනා කළ කල්හි සමහරුන්ට භාවනා කරන අතර රාගයට හේතුවන්නා වූ ද, බියට හේතු වන්නා වූ ද, මුළාවට හේතු වන්නා වූ ද, නොයෙක් රූප ජීවමාන සත්ත්වයන් සැටියට ම පෙනෙන්නට වන්නේය. ඒ පෙනෙන දේ සත්‍ය වශයෙන් ඇති ඒවා නොවන බැවින් ඒවාට මුළා නොවිය යුතුයි. බිය විය හැකි දෙයක් පෙණුනද එය ඇත්ත වශයෙන් ඇති දෙයක් නොවන බව තේරුම් ගෙන බිය දුරු කරගත යුතුය. කුමක් පෙනුනද ඒ පෙනෙන දෙය ගැන සැලකිල්ලක් නොකොට, තමා කරන භාවනාව ම කළ යුතුයි. පෙනෙන දේවල් ගැන සැලකිල්ලක් කළ හොත් ඒවා වඩ වඩා පෙනෙන්නට වන්නේ ය. එය තමාගේ කටයුත්තට අන්තරායයෙකි. දෙවියන් සේ මිනිසුන් සේ පෙනෙන මේ රූප සමහර විට කථා කරන්නටත් පුළුවන. ඒවා ගණන් නොගත යුතුය.

සමහර විට මතු සිදු වන දෑ කියන්නටත් පුළුවන. සමහර විට ඒවා එසේම සිදු වන්නටත් පුළුවන. සමහර විට ඒ පෙනෙන අය යෝගාවචරයනට අනුශාසනා කරන්නටත් පුළුවන. ඒවා පිළිගෙන ක්‍රියා කරන්නට ගියහොත් අයහපතක් මිස යහපතක් නොවන බව නිතරම යෝගාවචරයන් මතක තබා ගත යුතුයි. තමාගේ භාවනාවේ දියුණුව නිසා, තමන් ගේ ගුණයන්ගේ දියුණුව නිසා දෙවිවරු පැමිණියහයි මුළා නොවනු. මේ රූප පෙනීම, ශබ්ද ඇසීම, නො නිදා සිටියදී ම සිහින පෙනෙන සේ සිදු වන්නෙකි. වාත කෝපයෙන් කළු පැහැති රූපත්, පිත් කෝපයෙන් රන්වන් රූප සහ දිලිසෙන රූපත්, සෙම් කෝපයෙන් සුදු පැහැති රූපත් පෙනෙන්ය. යෝග කරන්නා වූ සමහරුන්ට සත්‍ය වශයෙන් ම ද, භූතයෝ පෙනෙති. එසේ පෙනුනත් එය සත්‍ය පෙනුමක් ද ඇසේ ම විකාරයෙක් ද යන බව තේරුම් ගැනීම පහසු නොවන බැවින් අස්වාභාවික පෙනීම් කිසිවක් ගණන් නොගෙන හැරීම යෝගාවචරයන් ගේ යහපත පිණිස වේ.

යෝගාවචරයනට අනුග්‍රහ කරන්නා වූ ද, බාධා කරන්නා වූ ද භූතයෝ වෙසෙති. සමහර යෝගාවචරයනට අනුග්‍රාහක භූතයන්ගේ අනුග්‍රහ ලැබේ. සමහර යෝගාවචරයනට බාධක භූතයන්ගේ කරදර ලැබේ. සමහර යෝගාවචරයනට මේ දෙකම ලැබේ. සමහරුනට ඉන් එකකුදු නොලැබේ. භූතයන්ගෙන් බාධා නොපැමිණෙනු පිණිස ඔවුනට මෙත් වැඩීමත් පින් දීමත් සමහර අවස්ථාවලදී දෙවියන් සතුටු වන ධර්ම සජ්ඣායනයත් කළ යුතුය. යෝගාවචරයන් විසින් තමනට සිදු වන ආලෝක දර්ශන, රූප දර්ශන, භූත දර්ශනාදි විශේෂ කරුණු අන්‍යයනට කියතහොත් උපදේශයක් ගත හැකි ගුරුවරයකුට හෝ එවැනි කෙනකුට හෝ තවත් යෝගාවචරයකුට හෝ කියනවා විනා අන් කිසිවකුට කවරදාවත් නොකිය යුතුය. මෙවන් කරුණු කියන්නට නුසුදුස්සන් හා කියන යෝගාවචරයා හට පිස්සෙක, බොරු කාරයෙක යන සම්මුතිය ලැබෙන්නේය. එයින් තමාගේ භාවනාවට ද බාධා පැමිණේ. පරිස්සම් වන්න.

භාවනා කිරීමට ඉතාම සුදුසු ක්‍රමය නම් භාවනා පිළිබඳ පුරුද්ද ඇති ගුරුවරයකු ඇසුරු කරමින් භාවනා කිරීමය. එබඳු ගුරුවරයකු නොලැබිය හැකි කල්හි පොත පතින් කරුණු දැන උගෙන වුව ද භාවනා කළ යුතුයි. එසේ කරන අය පරෙස්සමින් කළ යුතුය. ආශ්‍රය කිරීමට තවත් යෝගාවචරයන් සොයා ගැනීම ද ඉතා ප්‍රයෝජනය. පමණට වඩා ඉන්ද්‍රියයන් වෙහෙස වීමෙන් ද පමණට වඩා නින්දෙන් වැලකීමෙන් ද සිහි විකල ගති සමහර විට ඇති විය හැකියි. පරෙස්සමින් භාවනා කළ යුත්තේ එහෙයිනි. ශරීරයත් සිතත් දෙක භාවනාවට හොඳින් පුරුදු වූ පසු භාවනාව ඉතා මිහිරි වන්නේය. එසේ පුරුදු වීමෙන් පසු කොතෙක් කල් භාවනාවේ යෙදුණත් අමාරුවක් නොවේ. භාවනාවෙහි යෙදීම ම යෝගාවචරයාට සුවයක් වේ. භාවනාව පීඩාවක් හැටියට දැනෙන්නේ ද ප්‍රිය දෙයක් නොවන්නේ ද පුරුදු වන තෙක් ය.

තමන් විසින් ආරක්‍ෂා කළ යුතු, වගකිය යුතු දෙයක් තිබීම යෝගාවචරයනට බාධාවකි. භාවනා කරන්නට වන් කල්හි සිත ඒවාටත් යන බැවින් එබඳු දෙයක් ඇති තැනැත්තා හට සමාධිය ඇති කර ගැනුම අපහසුය. භාවනා කරනු කැමති අය ධනය හා නෑ මිතුරන් හැර පැවිදි වන්නේ ඒ බාධාවෙන් මිදෙනු පිණිසය. ධනය හා නෑ මිතුරන් හැර දැමීම සැමට ම කළ හැකි වැඩක් නොවේ. එබැවින් ඒවා තබා ගෙන ගිහිව භාවනා කරන පින්වතුන් විසින් තමන් භාවනා කරන අවස්ථාවේදී ඒවා ගැන සොයන්නට සිතන්නට සිදු නොවනු පිණිස ඒවා රැකෙන ක්‍රමයක් සලස්වා ගත යුතුය. එසේ ද කැරගත නොහෙන තැනැත්තා විසින් වන්නක් පිළිගන්නට සූදානම් වී තමන්ගේ සිත දැඩි කර ගත යුතුය.

කමටහන් දෙන ගුරුවරයකු ලැබ ගුරුවරයකු ඇසුරු කරමින් භාවනා කරන්නට යන තැනැත්තා විසින් ශුභ දිනයකදී ගුරුවරයා වෙත එළඹ ගෞරවයෙන් ගුරු පඬුරු පිළිගන්වා පා වැඳ කමටහන් ලබාගෙන ගුරුවරයා නියම කරන ආකාරයෙන් භාවනා කරගෙන යා යුතුය.

ගුරුවරයකු නොමැතිව පොත පතින් භාවනා ක්‍රමය උගෙන භාවනා කරන්නට පටන් ගන්නා තැනැත්තා විසින් යම් කිසි දිනයක අරුණෝද්ගමන වේලාවේදී හෝ ශුභ දිනයක හෝ ශුභ මුහුර්තයෙක දී හෝ බුදු රුවක් ඉදිරියට හෝ දාගැබක් සමීපයට හෝ ගොස් මල් පහන් සුවඳදුම් ආහාර ගිලන් පස ආදි පූජා වස්තූන් අවස්ථාවට සුදුසු පරිදි පුදා, තුනුරුවන් වැඳ දෙවියන්ට පින් දී යෝගාවචරයා ගිහියෙක් වේ නම් තිසරණ සහිතව තමන් සමාදන් වන ශීලයක් එතැනදී ම සමාදන් වී එතැන ම හිඳ හැකි පමණ වේලාවක් භාවනා කළ යුතුය. යෝගාවචරයා පැවිද්දෙක් වේ නම් ඇවැත් දෙසුම් ආදියෙන් පළමුව සිල් පිරිසිදු කරගෙන වැඩ පටන් ගත යුතුයි. රුවන්වැලි මහ සෑය වැනි පෞරාණික සිද්ධස්ථානයෙක දී භාවනාව ආරම්භ කළ හැකි නම් වඩාත් හොඳය. ආරම්භයේදී තෙදිනක් හෝ සතියක් එබඳු තැනක ම භාවනා කළ හැකි නම් වඩාත් යහපති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll