940. චිත්ත වීථි ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q - I. 1. චිත්ත වීති යනු කුමක්ද? 
2. එය අපිට පේන දෙයක්ද? 
3. එය නිවනට උපකාරී ධර්මයක්ද? උපකාරී වන්නේ කෙසේද?

A. 1. චිත්තවීථි යනු - "ඇසට හමුවන දෙය හරියට දැන ගැනීම ය, කනට එන ශබ්දයන් හරියට දැන ගැනීම ය, නාසයට - දිවට - කයට පැමිණෙන ගන්ධයන් - රසයන් - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් හරියට දැන ගැනීම ය, තමා විසින් වචනයක් කීම ය, අනුන් කියන වචනයේ තේරුම දැන ගැනීම ය, ශරීරාවයවයන් එසවීම ය, පහත් කිරීම ය, එහා මෙහා කිරීම ය, යෑම ය, ඊම ය, දීම ය, ගැනීම ය යනාදි කරුණුවලින් එකකුදු එක් සිතකින් සිදු නො වේ. ඒ එක් එක් කරුණක් සිදුවීමට ක්‍ර‍මානුකූල ව සිත් පෙළක් ඇති විය යුතු ය. ඒ ඒ කරුණු සිදු කිරීම් වශයෙන් ඇති වන්නා වූ චිත්ත පරම්පරාවලට, සිත් වැල්වලට “චිත්තවීථිය” යි කියනු ලැබේ. කොටින් කියතහොත් එක් එක් කරුණක් සම්බන්ධයෙන් ඇති වන සිත් වැල් චිත්තවීථිය යි කිය යුතු ය.

සිත ඉතා සියුම් ය. එය ඇසට පෙනෙන දෙයක් ද නොවේ. සුළඟ - සීතල - උෂ්ණය යන මේවා ඇසට නො පෙනෙතත් කයට දැනේ. සිත එසේ කයට දැනෙන - හසුවන දෙයක් ද නො වේ. ඉතා ඉක්මනින් ඉපිද බිඳී යන්නක් බැවින් සිත පරීක්ෂණයකට හසුකර ගත හැකියක් ද නො වේ. කරුණු මෙසේ හෙයින් සිතේ සැටි සොයා ගැනීම, ඉතා ම දුෂ්කර ය. සිතේ සැටි දැන ගැනීමට ඉතා ම දුෂ්කර වී ඇත්තේ එය දැන ගැනීමේ උපකරණයත් එයම වීම ය. කපන උපකරණය වූ පිහියෙන් අනිකක් කැපිය හැකි ය. ඒ පිහිය ම එයින් නො කැපිය හැකි ය. එමෙන් දැන ගැනීමේ උපකරණය වූ සිතට ඒ සිතේ සැටි නොදත හැකිය. එබැවින් සිත පිළිබඳ උගෙනීමක් කර නැති සාමාන්‍ය ජනයාට චිත්තවීථිය කියා දෙයක් ඇති බව පවා නො දැනේ. සිත ගැන ඉගෙනීම් කරන - විමසීම් කරන ජනයාට වුව ද මේවා මෙසේ විය යුතු ය කියා අනුමාන වශයෙන් සිත ගැන දැනුමක් ඇති වෙනවා මිස, ඇසට පෙනීම වැනි ප්‍ර‍ත්‍යක්ෂ දැනුමක් සිත ගැන ඇති නො වේ. සිත ගැන දැන ගැනීම ඉතා ප්‍රයෝජන බැවින් අනුමාන වශයෙන් වුව ද දැනීමක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න."


2. ඉතා ඉහළ සමාධියකින් - ප්‍රඥාවකින් දැකිය හැක.

3. නිවන් දැකීමට - සෝවාන් වීමට බෙහෙවින් ම උපකාරීය.

[විශේෂයෙන්ම “ආත්ම දෘෂ්ටිය” (“මම” “සත්ත්වයෙක්” “පුද්ගලයෙක්” යනාදී දැක්ම) නැතිකොට “දෘෂ්ටි විශුද්ධිය” ඇති කර ගැනීමට හා “කංඛාවිතරණ විශුද්ධිය” ඇති කර ගැනීමට ද පංචස්කන්ධයේ / පංච උපාදානස්කන්ධයේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට බෙහෙවින් ම උපකාර වේ.]

සැ.යු. නිවන් දැකීමට - සෝවාන් වීමට, චිත්ත වීථි පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව මින් අදහස් නොකෙරේ.

Q - II. සිතක් ඉපදීමට හා භංග වීමට යම් කාලයක් ගතවේ. පෙර සිතේ භංහය හා පසු සිතේ උත්පාදය අතර කාලයේදී සිදුවන දෙය පැහැදිලි කරන්න.

A. “සිතේ ජීවන කාලය ඉතා ලුහුඬු බැවින් හා >>> අතරක් ඇති නො වන සැටියට නිරුද්ධ වන සිත සමඟ බැඳී උපදනාක් මෙන් <<< අලුත් අලුත් සිත් ඉපදිය යුතු බැවින් ද සිත් උපදනා තැන සිදු වන්නේ ඉතා වේගවත් වැඩ පිළිවෙලකි. එබඳු වේගවත් වැඩ පිළිවෙළක් කෙරෙන අන් කිසි යන්ත්‍ර‍යක් නැත. චිත්තායුෂය ඉතා ලුහුඬු බැවින් එක් සන්තානයක එකකට එකක් පෙර පසු වී අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත් කෝටි ලක්ෂ ගණනක් වන බව දක්වා තිබේ. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුට අසුරුසැණක් තුළදී ඉපද නිරුද්ධ වන සිත්වල ප්‍ර‍මාණය උපමාවකින් දක්වන්නාහු “වාහසතං ඛො මහාරාජ, වීහීනං අඩ්ඪචූළඤ්ච වාහා වීහිසත්තම්මණානි ද්වේ ච තුම්බා එකච්ඡරක්ඛණෙ පවත්තචිත්තස්ස එත්තකා වීහි ලක්ඛං ඨපීයමානෙ පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්‍යුං” යනු වදාළ සේක. එක්සිය පණස් යාළ සතමුණු දෙලාසෙක වී ඇට එක් අසුරු සැණෙක උපදනා සිත්වලට එක එක ඇටය බැගින් තැබුව හොත් වී සියල්ල ම අවසන් වේය යනු එහි අදහසයි. යාළ නම් වී කරත්තයකි. මෙය එක් අසුරුසැණක උපදනා සිත්වල නියම ප්‍ර‍මාණය දැක්වීමක් නොව බහුභාවය දැක්වීමකි. නිශ්චිත වශයෙන් ම එහි ගණනක් නො දැක්විය හැකිය. එක් අසුරු සැණෙකදී එක් පුද්ගලයකුට මෙපමණ මහත් රාශියක් සිත් උපදීය යන්න මෙය කියවන්නවුන්ට නො පිළිගැණෙන කරුණකි. එය පිළි ගත හැකි වන්නේ චිත්ත තත්ත්වය ගැන වැඩිදුර උගෙනීමක් ලැබූ පසුවයි. ඒ තැනට පැමිණීමට උත්සාහ කෙරෙත්වා!”


Q - III. කතා පොතක පිටුවක් දෙස බැලූ විට අකුරු රාශියක් ඇති බව පෙනේ.
පිටුව කියවීමේදී සිදුවන ක්‍රියාව පැහැදිලි කරන්න.

A. 1.) වචී විඤ්ඤත්ති රූපයට ලබා දී ඇති පැහැදිලි කිරීම අනුසාරයෙන්, (2.) චක්ෂුර්ද්වාරික චිත්ත වීථි හා මෙන් ම (3.) අනුබන්ධක මනෝද්වාර වීථි හා එක්ව ගලපා බලා තේරුම් ගැනීමට උත්සහ කරන්න.



(3.) “රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටී චක්ෂුර්ද්වාර වීථියක් ඇති වූ පමණින්ම ඒ පුද්ගලයාට “මම අසවල් දෙය දිටිමිය” යන දැනීම ඇති නො වේ. අසවල් දෙය දුටුවෙමි ය යන හැඟීම පුද්ගලයාට ඇති වීමට චක්ෂුර්ද්වාර වීථියෙන් පසු මනෝද්වාර වීථි ගණනක් ද ඇති විය යුතු ය. ....

රූපයක් චක්ෂුඃ ප්‍ර‍සාදයේ ගැටුණු කල්හි පළමුවෙන් චක්ෂුර්ද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු චක්ෂුර්ද්වාර වීථියෙන් ගන්නා ලද අතීත රූපය ගනිමින් මනෝද්වාර වීථියක් ඇති වේ. ඊට පසු ඒ රූපයට කියන නම අරමුණු කරන මනෝද්වාර වීථියක් ඇති වේ. එය නිරුද්ධ වූ පසු ඒ නමින් හඳුන්වන දෙය හෙවත් වචනයේ අර්ථය ගන්නා මනෝද්වාර වීථියක් ඇති වේ. “මම අසවල් දෙය දුටිමි ය” යන දැනීම පුද්ගලයාට ඇති වන්නේ තුන්වන මනෝද්වාර වීථිය ඇති වීමෙන් පසු ව ය.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll