116. බුදුදහම ආගමක් ද දර්ශනයක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුදහම ආගමක් ද දර්ශනයක් ද? වෙනත් ආගම් දර්ශනවලින් වෙනස් ද?

A / T. "බුදුදහම" කොටස් තුනකට බෙදිය හැකි බව අපගේ පෞද්ගලික අදහසයි.

1. ආගමකි :- වෙනත් ආගමක මෙන්ම සමාජ සදාචාරය/(දෙලොව) යහපැවැත්ම (උභයාර්ථ සාධනය) උදෙසා දේශිත උපදේශන මාලාවකි.

2. දහමකි / ධර්මයකි :- විශ්වය / සොබාදහම ක්‍රියාත්මකවන/පවතින අයුරු මැනවින් හා ශූක්ෂමව පෙන්වා දෙන දේශන මාලාවකි.

3. දර්ශනයකි (එනම්, ප්‍රඥා මාර්ගයකි) :- ප්‍රඥාවට පමණක් ම ගෝචරවන අතිශයින් ම ගැඹුරු විශිෂ්ටතම (පරම ගාම්භීර) දැක්ම ය.

A / R.  "බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුලු විශ්වයටම පොදු වූ දහමකි. අප ජීවත් වෙන මේ මහා භද්‍ර කල්පයේ මෙම උතුම් දහම් රත්නය සතර වන වරට විශ්වයට හෙළි කල බුදු රජාණන්වහන්සේ අප මහා ගෞතම සම්බුදු පියාණන් වේ. (සියලු බුදු රජාණන්වහන්සේලා දේශනා කරනන්නේ එකම ධර්මය බුදු දහම වන අතර එක් බුදු රජාණන්වහන්සේ නමක් පහළ වූ කාලය හා තවත් බුදු රජාණන්වහන්සේ නමක් පහළ වන කාලය අතර කාල පරතරය අවුරුදු වලින් මැනිය නොහැකි තරම් දීර්ඝය.) බුදු දහමේ මූලික ඉගැන්වීම චතුරාර්‍ය සත්‍ය වේ. කෙසේනමු පුද්ගලයා මුහුණදෙන දුක හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්) එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත් ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවිඩයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි."

R. "මට ඇති ආගමක්‌ නැත. එහෙත් යම් ආගමක්‌ පිළිගනිතොත් එය බුද්ධාගමය" යනුවෙන් ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වූ රසල් පඬිතුමා පැවැසීය. මේ අනුව බුදු දහම අති ශ්‍රේෂ්ඨ දහමක්‌ බවට විජාතිකයින් අබෞද්ධයන් පවා අවිවාදයෙන්ම පිළිගනී. එසේනම් ආගමක්‌ යනු කුමක්‌ද? බටහිර විද්වත්හු පවසන ආකාරයට නම් ආගම යනු මැවුම්කරු දෙවි කෙනෙකුන් කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේට දාසව පවත්වන ලබ්ධියක්‌ හෝ ප්‍රජා විධි ක්‍රමයකි. මේ අරුතින් බැලුවහොත් නම් බුදු දහම ආගමක්‌ නොවේ. බුදු දහම අදහන්නන්ද මල් පහන් පුදදෙමින් ප්‍රජා විධීන්හි නියෑලුනද බුදුන් වහන්සේ සෑම විටම අනුදැන වදාලේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි. එය උතුම් බවයි. (අ + ගමා = යම් ආගමක ශාස්‌තෘවරයෙකු දෙන අවවාද (ආ) සමූහය (ගමා) ආගම යෑයි සලකනු ලබයි. මේ අනුව හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි, බුදු දහමද ආගම් වේ."

R. “ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි”

"බුදුදහම ආගමක් නොව දර්ශනයකැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. බුදුදහමට ආගම යන වදන පාවිච්චි කළ නොහැකි බව අප නිතර නිතර අවධාරණය කර ඇත. ආගම යන වදන තුළ අන්තර්ගත ලක්‍ෂණ දෙස බලන කල්හි බුදුදහම තුළ ආගමකට වඩා ඇත්තේ දර්ශනයක ලක්‍ෂණයක් බව පැහැදිලිව දැකිය හැකි ය. මේ කාරණය පිළිබඳව අතිපූජ්‍ය වල්පොල රාහුල හිමිපාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. සුවඳ දෙන රෝසමලට කඩදාසි මල කීව ද එහි සුවඳ රෝසමල් සුවඳමය. එමෙන් බුදුදහමට බුද්ධාගම යනුවෙන් භාවිත කළ ද, එයින් ලැබෙනුයේ දර්ශනය තුළ ඇතුළත් හරයම බැව් පැහැදිලි කාරණාවකි. දර්ශනයක් ලෙස හැඳින්විය හැකි බුදුදහම ‘එහිපස්සිකො’ හෙවත් ඇවිත් බැලිය යුතු දේශනාවක් වන අතර, නුවණැත්තන් විසින් සිය පෞද්ගලික අවබෝධය මත ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහීති’ යනුවෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් තේරුම් ගත යුත්තකි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll