200. සුරතලා ලෙඩ ඇඳේ ද? / මරණ මංචකයේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තිරිසන් සතෙකු මැරෙන අවස්තාවක ඒ සතාට පිරිත් ඇසෙන්නට සැලැස්වීම, බුදු පිලිමයක් හා පහනක් පෙනෙන්නට සිටින සේ තැබීම ආදිය මගින් අවසන් මොහොතේ එම සතාට යහපතක් කල හැකිද? එමගින් සතාගේ චුති සිතට යම් හෝ යහපත් බලපෑමක් සිදු වෙනවාද?
තිරිසන් සතුන් වෙනුවෙන් බෝධි පූජා ආදිය තබා ඔවුන්ට සෙත් පැතීම මගින් එම සතුන්ට යහපතක් මේ බවයේදී ලැබෙනවාද?

A / R. "එකල චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරනම පන්සියයක් භික්ෂූන් සමග ඒ මගින් යන්නේ ඒ ගොනා දැක කරුණා උපදවා පාත්‍ර‍වලින් ජලය ගෙනවුත් පෙවීය. ඒ පැන් බී ගොනා ස්වල්ප ආස්වාදයක් ලැබීය. තෙරනම ඔහු ඉදිරියෙන් වාඩි වී මහා සතිපට්ඨාන සූත්‍ර‍ය දෙසා තිසරණය දුණි. සිල්පද කියන විට ගොනා කලුරිය කොට තව්තිසා භවනයෙහි තිස්යොදුන් විමනක උපණි."

A / R. (පහත) මේවා විමසීමෙන් ද අදහස් ලබාගන්න. 
"විශේෂයෙන් සැලකිය යුතු කරුණක්
මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගස් කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය."

A / R. "... චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසි ම තේරුමක් නැති ව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව විමාන වත්ථු ප්‍ර‍කරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද, තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කණ ගැරඬියකු ඒ පිනින් මිනිස් ලොව ඇමති කුලයෙහි උපන් බව ද දක්වා තිබේ. බණ ඇසීමේ කුශල බලයෙන්න දෙව්මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මඟ සතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක් ද නැත්තේ ය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් අසත්වා."

A / R. "මළවුන්ට පින්දීම
හැකි තාක් පව්කම්වලින් වැළකී පින්දහම් කළා වූ සත්පුරුෂයෝ ද සමහර විට මරණාසන්නයේ දී මෙලොව ඇති දේවලට ආශාව ඇති වීම නිසා පරදත්තුපජීවික ප්‍රේත ව උපදිති. ඒ පරදත්තුප ජීවික ප්‍රේතයෝ සා පිපාසා සන්සිඳුවා ගත හැකි පමණට බත් පැන් නො ලබන්නෝ ය. විළි වසා ගැනීමට වස්ත්‍ර‍ නැත්තෝ ය. වාසය කිරීමට ගෙවල් නැත්තෝ ය. ඔවුහු ඉතා දුක්ඛිතයෝ ය. ඒවා ලබා ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි දෙයක් ද නැත්තේ ය. ඔවුනට ඒවා ලබා ගැනීමට ඇත්තා වූ එක ම ක්‍ර‍මය තමන්ගේ ඥාති මිත්‍රාදීන් දෙන පින් අනුමෝදන් වීම ය. එබැවින් ඔවුහු පින් ගැනීමට ස්වකීය ඥාතීන් වෙත පැමිණෙති. සමහර විට පෙර ජාතිවල නෑ වූ ප්‍රේතයෝ ද පින් ගැනීමට එති. බිම්සර රජතුමාගේ පෙර ජාතියක දී නෑයන් වූ දහස් ගණනක් ප්‍රේතයෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි බලාපොරොත්තුව සිට එතුමා වෙත පින් ගැනීමට පැමිණියෝ ය. ප්‍රේතත්වයට පැමිණ සිටින තමාගේ ඥාතීන්ට සංග්‍ර‍හ කිරීමට ආහාර පානාදිය ලබාදීමට ජීවතුන්ට ඇත්තා වූ එකම ක්‍ර‍මයත් ඔවුන් උදෙසා පින් කොට ඒ පින් ඔවුනට අනුමෝදන් කරවීම ය. එබැවින් බෞද්ධයෝ පෙර පටන් ම මියගිය ඥාතීන් උදෙසා පින් කොට ඔවුනට පින් අනුමෝදන් කරවති.
ජීවත්ව වෙසෙන කල්හි තමාට හිතවත් ව සිටියා වූ ඥාතීන් හා මිත්‍ර‍යන් මළ කල්හි අමතක කොට නො හැර ඔවුනට කළ හැක්කා වූ උපකාරයක් කිරීම මනුෂ්‍ය ධර්මයකි. මිය ගිය හිතවතුන් අමතක කිරීම ඔවුන් ගැන නො සලකා සිටීම අසත් පුරුෂ කමෙකි. එබැවින් මිය ගිය මාපියාදී ඥාතීන් උදෙසා පින් කොට සැම දෙනා විසින් ම පින් දීම කළ යුතු ය. මිය යන සෑම දෙනා ම ඥාතීන්ගෙන් පින් ගැනීමට බලාපොරොත්තු නො වෙති. බලාපොරොත්තු වන්නෝ ප්‍රේත වූවන් පමණකි. එහෙත් මිය ගිය තැනැත්තා උපන් තැන දත නොහෙන බැවින් මිය යන සෑම දෙනා ම උදෙසා පින් කොට බෞද්ධයෝ පින් දෙති. කවරකු උදෙසා පින් කළත් පින් අනුමෝදන් කරවන අයට එය ලැබුණත් නො ලැබුණත් කළ තැනැත්තාට එහි විපාකය ලැබෙන බැවින් මිය ගිය කවරෙකු උදෙසා පිනක් කළත් එය නිෂ්ඵල ක්‍රියාවක් නො වේ. එසේ කිරීමෙන් තමාගේ යුතුකම ඉටු කළා ද වන්නේ ය.
පින් අනුමෝදන් වන පරදත්තූප ජීවික ප්‍රේතයන්ට එහි ඵලය එකෙණෙහි ම ලැබෙන්නේ ය. එහෙත් එක් දෙයක් දන් දීමෙන් ලැබෙන පිනෙන් ප්‍රේතයන්ට සැම දෙයම ලැබෙන්නේ නොවේ. එබැවින් ඔවුනට ආහාර ලැබීම සඳහා ආහාර ද, වස්ත්‍ර‍ ලැබීම සඳහා වස්ත්‍ර‍ ද, වාසස්ථාන ලැබීම සඳහා කොට්ට මෙට්ට ඇඳ පුටු ඇතිරිලි ආදිය ද දන් දී පින් දිය යුතු ය. බිම්සර රජතුමා ආහාර පානයන් දන් දී පින අනුමෝදන් වීමෙන් ඥාති ප්‍රේතයෝ බත් පැන් ලැබූහ. එහෙත් හැඳීමට වස්ත්‍ර‍ නො ලැබුවෝ ය. වස්ත්‍ර‍ නො ලැබූ ඔවුහු එදින රාත්‍රියේ නැවතත් නග්න ව රජතුමාට පෙනී සිටියෝ ය. පසු දින රජතුමා වස්ත්‍ර‍ දන් දී ඔවුනට පින් දිණ. එයින් ඔවුහු වස්ත්‍ර‍ ලැබූහ. බෞද්ධයන් මළවුන් උදෙසා දන් දෙන කල්හි එක් වරකට වුවමනා නො කරන තරමට බොහෝ ව්‍යංජනවලින් හා නොයෙක් කැවිලි පෙවිලි පලතුරු ආදියෙන් යුක්ත කොට වස්ත්‍ර‍ සහිත ව පිඟන් කෝප්ප පැදුරු කොට්ට සහිත ව දන් දීමට පුරුදු වී තිබෙන්නේ ප්‍රේතයන්ට සියල්ල ම ලබාදීම සඳහාය."


A / R.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll