Q. 1. අනිත්‍ය දුක්ක අනාත්ම ගැන කියනකොට කියවෙන දුකත්;
2. දුක්කආර්‍ය සත්‍ය ගැන කියනකොට කියවෙන දුකත් එකක් නෙවෙයි දෙකක් නේද?
ඒ පිලිබදව පැහැදිලි කිරීමක් කරන්න.
A / R. 1. “ස්වාමීනි, ‘දුක, දුකය යි’ කියනු ලැබේ. ස්වාමීනි, දුක නම් කවරේද?”
“රාධය, රූපය දුක නම් වේ. වේදනාව දුක නම් වේ. සංඥාව දුක නම් වේ. සංස්කාරයෝ දුක නම් වේ. විඤ්ඤාණය දුක නම් වේ.
[‘‘දුක්ඛං, දුක්ඛ’න්ති, භන්තෙ, වුච්චති. කතමං නු ඛො, භන්තෙ, දුක්ඛ’’න්ති? ‘‘රූපං ඛො, රාධ, දුක්ඛං, වෙදනා දුක්ඛා, සඤ්ඤා දුක්ඛා, සඞ්ඛාරා දුක්ඛා, විඤ්ඤාණං දුක්ඛං. එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති.]
“යමක් අනිත්‍ය නම් එය දුකකි” යනු පංචස්කන්ධය අනිත්‍ය බැවින් එය දුකක් බව යි. පංචස්කන්ධය අනිත්‍ය (ක්ෂණයක් පාසා වෙනස්වන) විට උදය-ව්‍යයෙන් පහර කෑම (මිරීකීම, පීඩනය, පරිපීඩනය, පීඩා වීම, පෙළීම) වන බැවින් (පංචස්කන්ධය) දුක කි. එසේ ක්ෂණයක් පාසා වෙනස්වීම තුළින් උදය-ව්‍යය මඟින් පීඩිත (පෙළෙන / පීඩා කරන / පීඩා ගෙන දෙන) අලුතින් අලුතින් උපදවා ගත යුතු / දුක්, වෙහෙස ගෙන රැකගත යුතු / කොතෙක් කුමන අයුරින් රැක්කත් කායික මානසික දුක් උපදවන ස්ථානය / ...) බැවින් දුක වේ;
තව ද, පංචස්කන්ධය ඇති බව ම සියලු දුක් ඇති වීමට භූමියයි - නිතර ම නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන බැවින්, නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන ආකාරයෙන් (ඒ දෙස ගැඹුරින්) බැලූ විට සත්‍ය බැවින් ද (හුදු) පංචස්කන්ධය ම දුක කි - මේවා පංචස්කන්ධය දුකක් බව හඳුනාගැනීමට ලක්ෂණයි.
[‘‘යදනිච්‌චං තං දුක්‌ඛ’’න්‌ති වචනතො පන තදෙව ඛන්‌ධපඤ්‌චකං දුක්‌ඛං. කස්‌මා? අභිණ්‌හසම්‌පටිපීළනතො; අභිණ්‌හසම්‌පටිපීළනාකාරො දුක්‌ඛලක්‌ඛණං.]
අනිත්‍ය සියල්ල බයෙන් වෙළී පවතින බැවින් දුක වේ. “භයාර්‍ථයෙන් දුක වේ. ‘මම විනාශ වෙමි’ ‘මා සතු දෙය විනාශ වේය’ යි සිතන්නා වූ අප්‍රහීණ කෙලෙස් ඇත්තහුට භය උපදී. සීහොපම සූත්‍රය දෙසූ කල දෙවියන්ට ද භය උපන්නාක් මෙනි. (යමක් අනිත්‍ය නම් එය භය සහිත බැවින් දුක් වේ.)”
[දුක්ඛං භයට්ඨෙනාති සප්පටිභයතාය දුක්ඛං. යඤ්හි අනිච්චං, තං භයාවහං හොති සීහොපමසුත්තෙ දෙවානං විය.]
යමක් අනිත්‍ය නම් පෙළන (උදය-ව්‍යයෙන් පිඩා උපදවන) අරුතින් දුකය. උපන් යමක් වේ නම් (ඉපදීමෙන් නොනැවතී) පැවැත්මට (ස්ථිතියට) පැමිණේ, පැවැත්ම ජරාවට (දිරීමට / වයසට යෑමට) පත් වේ, ජරාවට පැමිණ නිසැකව ම බිදේ (මැරේ / විනාශ වේ); එබැවින් නිතර නිතර නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන (පෙළන) බැවින්, දුක් සහිත බැවින්, දුක ඉපදීමට උපකාරක ස්ථානයක් බැවින්, සැප පලවාහරින (සැප ඇතීවීම වලක්වන්න) බැවින් යන කාරණා හතර ඇති නිසාවෙන් “දුකය”.
[තදෙව පටිපීළනට්‌ඨෙන දුක්‌ඛං. යස්‌මා වා එතං උප්‌පන්‌නං ඨිතිං පාපුණාති, ඨිතියං ජරාය කිලමති, ජරං පත්‌වා අවස්‌සං භිජ්‌ජති; තස්‌මා අභිණ්‌හසම්‌පටිපීළනතො, දුක්‌ඛමතො, දුක්‌ඛවත්‌ථුතො, සුඛපටික්‌ඛෙපතොති ඉමෙහි චතූහි කාරණෙහි දුක්‌ඛං.]
තව ද, “යමක් අනිත්‍ය නම් එය දුකකි” යනුවෙන් එහි “දුක” කොටස් දෙකකට දාර්ශනිකව බෙදා දැක්විය හැක.
I. ඉන්ද්‍රිය බද්ධ දුක.
II. ඉන්ද්‍රිය බද්ධ නොවන දුක.
ඒ අනුව,
I. සියලුම අධ්‍යාත්මික දේ දුකට වස්තු විෂය වන බැවින් ද,
II. සියලුම බාහිර දේ ද ඇතිව (උදය) නැතිව (ව්‍යය) යන ස්වභාවයට යටත්ව පීඩිතව (පෙළෙමින්) පවතින බැවින් ද දුක වේ.
එබැවින් ලොව ඇති සවිඥානික අවිඥානික සියලු දේ අනිත්‍ය බැවින් දුක් වේ .
[තත්‌ථ දුවිධං දුක්‌ඛං – ඉන්‌ද්‍රියබද්‌ධං, අනින්‌ද්‍රියබද්‌ධඤ්‌ච. ඉන්‌ද්‍රියබද්‌ධං දුක්‌ඛවත්‌ථුතාය දුක්‌ඛං, අනින්‌ද්‍රියබද්‌ධං උදයබ්‌බයපටිපීළනට්‌ඨෙන ‘‘යදනිච්‌චං තං දුක්‌ඛ’’න්‌ති සඞ්‌ගහිතත්‌තා දුක්‌ඛං.]
2. “මහණෙනි, මේ වනාහි දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි. ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.”
‘‘ඉදං ඛො පන, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං - ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (පී. ක.)) දුක්ඛා.”
“මහණෙනි, සංක්ෂෙපයෙන් දුක්වූ පඤ්ච උපාදානස්කන්ධයෝ නම් කවරහුද? හේ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වෙදනා උපාදානස්කන්ධය, සංඥාඋපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥානඋපාදානස්කන්ධය, යන මොහුයි. මහණෙනි සංක්ෂෙපයෙන් දුක් වන්නාහු යම් පඤ්ච උපාදානස්කන්ධයෝයි. මහණෙනි මෙය දුඃඛර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.”
[‘‘කතමෙ ච, භික්ඛවෙ, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.]
“දරට ගින්න මෙන් ද, අවිපහරට ඉලක්කය මෙන් ද, මැසි මදුරු ආදීනට ගවයා මෙන්ද, ගොවියනට ගොයම් මෙන්ද, ගම් පහරනනවුනට ගම මෙන් ද, උපාදානස්කන්‍ධපඤ්චකයම ජාත්‍යාදි දුකට වස්තු වෙයි. ඒ ජාත්‍යාදීහු නන් අයුරින් පෙළමින් භූමයෙහි තෘණ - ලතා මෙන් ද, වෘක්‍ෂයන්හි පුෂ්ප-ඵල-පල්ලවයන් මෙන්ද, උපාදානස්කන්‍ධයන්හි මැ හටගනිත්.
උපාදානස්කන්‍ධයන් ගේ ප්‍රථම දුක ජාතිය යැ. ජරාව මධ්‍ය දුක යැ. මරණය අවසාන දුකයි.
මාරාන්තික දුකින් පෙළෙමින් සිත් තැවුලෙන් හටගන්නා දුක ශොකය යි.
එය ඉවසිය නොහැකි බැවින් ඇඬීමෙන් වැළපීමෙන් වන්නා වූ දුක පරිදේවය යි.
ධාතුකෝපාදියෙන් අනිෂ්ට ස්පර්‍ශයෙන් ශරීරයේ පීඩා ඉපදීම කායික දුකයැ.
එයින් පීඩිත වූ පෘථග්ජනයා ගේ එහි ක්‍රෝධ ඉපදීමෙන් සිත පෙළීම දොමනස්ස යැ.
ශෝකාදිය වැඩීමෙන් උපන් චිත්ත කලාන්න ඇත්තවුන් ගේ සිතිවිලි සිතීමෙන් උපදනා දුක උපායාය යැ.
චිත්තාභිලාශ විඝාතයට පැමිණියවුන් ගේ අභිමත වස්තු ප්‍රාර්ථනා කිරීමෙන් හටගන්නා දුක ඉච්ඡාවිඝාතය යි.
මෙසේ නන් අයුරින් පරීක්‍ෂා කරන්නවුන්ගේ උපාදානස්කන්‍ධයෝම දුඃඛයෝ යි.
එකී ජාත්‍යාදීන්ගේ ම එකක් එකක් ම අක්‍ෂි රෝග දුඃඛාදි වශයෙන් දක්වා දේශනා කළහොත් බොහෝ කල්ප ගණනකිනුදු මේ දුඃඛ සත්‍යය නිරවශෙෂයෙන් වදාළ නොහැක්කේ යි.
එහෙයින් එක් දිය බිඳකින් සියලු සමුද්‍ර ජලයෙහි රසය හකුළුවා දක්වන්නා සේ මේ පඤ්චොපාදානස්කන්‍ධයෙහි හකුළුවා දක්වනු පිණිස “සඞ්ඛිත්තෙන පඤ්චුපදානස්කඛන්‍ධා දුක්ඛා”යි සැකෙවින් පඤ්චුපාදානස්කන්‍දය දුකය’ යි වදාළහ. මේ උපාදානස්කන්‍ධ දුඃඛයෙහි විනිශ්චය යි.”
[තථා හි ඉන්‌ධනමිව පාවකො, ....‘‘සංඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‌ධා දුක්‌ඛා’’ති භගවා අවොචාති. අයං උපාදානක්‌ඛන්‌ධෙසු විනිච්‌ඡයො.]
{ඉහත (1.) ඇතැම් පාළි පරිවර්තන අවශ්‍ය පරිදි මෙන් ම අපගේ ද දැනුම / අදහස පරිදි බැවින්, සදොස් තැනක් ඇතොත් කරුණාකර පෙන්වාදෙන්න.}