574. මහා අධනී එකකු සේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මසුරු කම සම්බන්ධ මූලාශ්‍ර - දැනගතයුතු කරුණු ඉදිරිපත් කරන්න.

A. “තමාගේ දෙය අනුන්ට හිමි වීමටත් එයින් අනුන්ට සුළු ප්‍රයෝජනයක් වුව ලැබෙනවාටත් විරුද්ධ ස්වභාවය “මච්ඡරිය” නම් වේ. මාත්සර්‍ය්‍ය නම් ද, මසුරු බව නම් ද වේ. මසුරු තැනැත්තේ තමාගේ දෙය අනුන්ට දෙනු තබා අනුන් දකිනවාට ද නො කැමැත්තේ ය. දුටහොත් අනුන් ඉල්ලතියි යන බියෙන් ඔහු නිතර ම තමාගේ සම්පත්තිය සඟවයි. මසුරා ය, ලෝභියා ය යන දෙදෙනා ම නො දෙති. මසුරා නො දෙන්නේ මසුරු බව නිසා ය. ලෝභියා නො දෙන්නේ ලෝභය නිසා ය. මාත්සර්‍ය්‍යය එක් ක්ලේශයෙකි. ලෝභය එයට වෙනස් අන්‍ය ක්ලේශයෙකි. මේ දෙක කිසි කලෙක එක් ව එක සිතක ඇති නො වේ.

අධික මසුරුකම් ඇත්තේ අනුන් දෙනවාට ද නො කැමති ය. ඔහු අනුන් කරන දීම් ද වළක්වයි. අනුන්ගේ දීම් වළක්වන මහ මසුරුකම ‘කදරිය’ නම් වේ. කදරිය නම් වූ මහ මසුරුකම් ඇතියෝ දෙන අයටත් දොස් කියති. අනුන්ගේ දීම් වළක්වන තැනැත්තේ ප්‍ර‍තිග්‍රාහකයාගේ ලාභය නැති කරයි. දායකයා ලබන පින ද නැති කරයි. දීම වැළැක්වීම දෙදෙනකුට අන්තරාය කිරීමකි. එබැවින් එය මහ පාපයකි. එය කරන්නෝ මරණින් මතු නරකයෙහි හෝ ප්‍රේත ව හෝ උපදිති.

න වේ කදරියා දේවලෝකං වජන්ති
බාලා හවෙ නප්පසංසන්ති දානං
ධීරෝ ච දානං අනුමෝදමානෝ
තේනේව සෝ හෝති සුඛී පරත්ථ.
(ධම්මපද - ලෝකවග්ග)

තද මසුරෝ දෙව් ලොවට නො යෙත්. බාලයෝ දීමට නො පසසන්නාහ. නුවණැත්තේ ම දීම අනුමෝදන් වන්නේ එයින් ම ඔහු පරලොව සැප ඇත්තේ වන්නේ ය - යනු එහි තේරුම ය.”

A. “… මච්ඡරිය පසක් දක්වා ඇත්තේ ය. වාසස්ථානය පිළිබඳ මසුරු බව ආවාස මච්ඡරිය නම් වේ. ප්‍ර‍ත්‍යය පහසුව ඇත්තා වූ සුවසේ විසිය හැකි ආවාසයක පන්සලක සංඝාරාමයක වෙසෙන භික්ෂුවක් ඒ ස්ථානයට වතින් සම්පූර්ණ අන්‍ය සිල්වත් භික්ෂූන් ගේ පැමිණීමට නො කැමති වේ නම් පැමිණියාහු ද වහා ආපසු යත්වා යි සිතා නම් ඒ ආවාස මච්ඡරිය ය. ස්ථානය දූෂණය කරන කෝලාහල කරන දුශ්ශීල භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම පැමිණියාහු ද වහා යත්වායි සිතීම, එබඳු භික්ෂූන් ස්ථානයෙන් බැහැර කිරීම ආවාස මච්ඡරිය නො වේ. ආවාසයට පැමිණෙන අන්‍ය භික්ෂූන්ට කරදර කරන බණින ධම්මික නමැති භික්ෂුව ජාති භූමියේ ආවාස සතකින්ම නෙරපන ලදුව අන්තිමට වාසස්ථානයක් නොමැති ව පිහිට සොයා බුදුරදුන් වෙත පැමිණි බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වේ. එබඳු භික්ෂූන් ආවාසවලින් බැහැර කිරීම සුදුසු ය.

තමාගේ දායක පවුල්වලට නෑ පවුල්වලට අන්‍ය භික්ෂූන් ගේ පැමිණීම නො කැමති බව කුලමච්ඡරිය ය. මිනිසුන්ගේ ප්‍ර‍සාදය නැති වන පරිදි හැසිරෙන පාප භික්ෂූන්ගේ පැමිණීම නො කැමති වීම කුල මච්ඡරිය නො වේ. අන් භික්ෂූන්ට පැහැදී ඔවුන්ටත් සලකන්නට පටන් ගත හොත් තමාට පාඩුවක් වේ යයි සිතා ගුණවත් භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම ආවාස මච්ඡරිය ය.

අන්‍යයන් සිවුපසය ලබනවාට නො කැමති බව ලාභ මච්ඡරිය ය. යම් භික්ෂුවක් තමන්ට ලැබෙන ප්‍ර‍ත්‍යය ඥාති මිත්‍ර‍ ගිහියන්ට දී කුල දූෂණය කෙරේ නම් නො මනා ලෙස පරිභෝග කොට ප්‍ර‍ත්‍යය විනාශ කෙරේ නම් තමාට වැඩි හරිය කුණු වී යන්නට දිරා යන්නට හරිනවා මිස ප්‍රයෝජනය ඇතියකුට නො දේ නම් ඒ භික්ෂුවට මේවා නො ලැබී අන් සිල්වත් භික්ෂුවකට ලැබේ නම් යහපතැයි සිතීම ලාභ මච්ඡරිය නො වේ.

ශරීර වර්ණය හා ගුණ වර්ණය පිළිබඳ මසුරු බව වණ්ණ මච්ඡරිය වේ. ශරීර වර්ණ හෙවත් රූප ශෝභාව පිළිබඳ මසුරු තැනැත්තේ අන්‍යයන්ගේ රූප ශෝභාව කියනු ඇසීමට නො කැමති වේ. තෙමේ ද නො කියයි. ගුණ වර්ණයට මසුරු තැනැත්තේ අනුන්ගේ ශීලාදි ගුණ ගැන කියනු ඇසීමට නො කැමති වේ.

තමා දත් ධර්මය අන්‍ය භික්ෂූන් දැන ගන්නවාට නො කැමති බව ධර්ම මච්ඡරිය නම් වේ. පර්යාප්ති ධර්මය, ප්‍ර‍තිවේධ ධර්මය යි ධර්මය දෙ පරිදි වේ. ප්‍ර‍තිවේධ ධර්මය යනු මාර්ගඵල නිර්වාණයෝ ය. ඒවා ඇත්තේ ආර්‍ය්‍යයන්ට ය. ආර්‍ය්‍යයන්ට ඒවා ගැන මසුරු බවක් නැත. ඔවුහු තමන් ප්‍ර‍තිවේධ කර ඇති ධර්මය ලොව සැම දෙන ම ප්‍ර‍තිවේධ කරනවාට කැමැත්තෝ ය. ඇතැම් පෘථග්ජන භික්ෂූහු තමන් දැන සිටින ගැඹුරු ධර්මය අන් භික්ෂූන් දැන ගන්නවාට අකමැති ය. ඔවුහු ඒ ධර්ම අන් භික්ෂූන් ඇසුව ද නො කියති. එය ධම්ම මච්ඡරිය ය. තමාට වන වාසි අවාසි අනුව කලින් කල එක එක අතට හැරෙන කලකට පැවිදි වන කලකට ගිහි වන කලකට තාපස වන කලකට ක්‍රිස්තියානි වන ලාමක පුද්ගලයෝ වෙති. එබඳු ලාමක පුද්ගලයන් සියුම් වූ ගැඹුරු වූ ධර්මය උගතහොත් ඒ ධර්ම තමාට වාසි වන පරිදි තමා කැමති පරිදි තේරුම් කොට අවුල් කරන්නාහ. එබන්දන්ට ධර්ම නො දීම ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම් පාපී පුද්ගලයෝ සියුම් වූ ගැඹුරු වූ ධර්මයන් උගෙන ඒ මගින් තමන්ට නැත්තා වූ ලෝකෝත්තර ගුණ ප්‍ර‍කාශ කොට නැසෙන්නාහ. එවැනි අයට ඔවුන්ගේ යහපත සලකා ධර්මය නො දීමත් ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම්හු ධර්මය අවුල් කිරීම අවලංගු කිරීම පිණිස ම ධර්මය දැන ගැනීමට උත්සාහ කරති. ඔවුන්ට ධර්මය නො දීම ද ධම්ම මච්ඡරිය නො වේ. බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකයා ගේ යහපත පිණිස සෑම දෙනාට ම දැන ගැනීම පිණිස දේශනය කර ඇති ධර්මය හැකි තාක් ලෝකයෙහි පැතිරවිය යුතුය. එය සැඟවීම ඉතා ලාමක ය. එබැවින් :-

“ඉමේසං කෝ පඤ්චන්නං මච්ඡරියානං එතං පතිකුට්ඨං යදිදං ධම්මමච්ඡරියං” යනු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. මච්ඡරියේ විපාක දම්සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත.

ආවාස මච්ඡරියෙන් යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ වී, ඒ ආවාසයේ කසළ හිස තබා ගෙන හැසිරෙන්නේ ය. කුල මච්ඡරියෙන් තමාගේ දායකයන් නෑයන් අන්‍යයන්ට සත්කාර කරනු දක්නා කල්හි සිත උණු වී ලේ වමනය, ලේ පාචනය වන්නේ ය. ලාභ මච්ඡරියෙන් සංඝයාගේ ගණයාගේ ලාභයත් පුද්ගලික දේවල් මෙන් පරිභෝග කොට යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ පිඹුරකු හෝ වන්නේ ය. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප ව උපදී. ධම්ම මච්ඡරියෙන් උපනුපන් ජාතිවල මෝඩයෙක් වේ.

තවත් ක්‍ර‍මයක් මෙසේ ය. ආවාස මච්ඡරියෙන් ලොහොකුඹු නරකයෙහි උපදී. කුල මච්ඡරියෙන් අල්පලාභී වේ. ලාභ මච්ඡරියෙන් ගූථ නරකයෙහි උපදී. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප වේ. ධම්ම මච්ඡරියෙන් කුක්කුල නරකයෙහි උපදී.

(අත්ථසාළිනි 315)”

https://pitaka.lk/books/rc/Keles_Ekdahas_Pansiyaya.htm

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll