172. තේලකටාහ ගාථා දන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ථෙර කටාන ගාථා අවශ්‍යව ඇත.

A / R. "අතිරම්‍ය ගාථා සියයකින් පමණ යුත් මේ පද්‍යමය ධර්ම ග්‍රන්ථය අපේ "ලෝවැඩ සංගරාව"මෙන් කියවන්නාගේ සිත් ධර්මයට යොමු කරවන මාහැගි ධර්‍මග්‍රන්ථයකි. එහි එක් එක් ගාථාවක් පාසාමමිනිසුන්ගේ සිත් කුසලට යොමු කරවන,සසර කලකිරවන දහම් කොටස් විද්‍යාමාන වෙති.මේවා වනාහි කැලණියේ තිස්ස රජු විසින් උණු තෙල් කටාරමක දමනු ලැබූ රහත් තෙරනමක් විසින්ඒ තෙල් කටාරමේ වැඩ හිදගෙන දේශනා කළ ගාථා යයි චිරාගත ජන ශ්‍රැතියකින් දැක්වේ.ඒ තෙරුන් පිළිබද ප්‍රවෘත්තිය මහාවංශයෙහි දැක්වෙන්නේ මෙසේය.
කැලණියේ රජ මැදුරේ විසුඋත්තිය නම් කුමාරයා හා රජ බිසව අතර සම්බන්ධයක් හෙළිවීම නිසා බියට පත් කුමාරයාඑතැනින් පලාගොස් අන්තැනක වාසය කළේය.එහි වසන කුමරා බිසවට ලිපියක් යැවීම සදහා එක් මිනිසෙකු මහණ වෙස් ගන්වා ලියුම ඔහුට දී රජගෙයි දිනපතා දන් වැළදීමට වඩින රහත් තෙරුන් සමග රජ ගෙට ගොස් ලියුම දෙන සැටි උගන්වා පිටත් කළේය. ඒ මහණවෙස් ගත් මිනිසාද තෙරුන්වහන්සේ සමග රජගෙට ඇතුළුව දන් වළදා රජ ගෙයින් පිටත්වෙන අවස්ථාවෙහි බිසවටපෙනෙන සේ ලියුම බිම දැම්මේය. එය වැටුණු හඩ නිසා පිටුපස බැලු රජු ලියුම ගෙන කියවා බලා මහත් සේ කිපී තෙරුන්වහන්සේ හා මහන වෙස්ගත් මිනිසාද මරවා මුහුදට දැම්ම විය.මෙහි තෙල් කටාරමක දැම්මේව් බවක් නොකියවේ. එකල මෙවැනි දේට දරුණු වධ දීම නියමව තිබුණු බැවින් මේ තෙල් කටාරමේ කතාව සත්‍ය විය හැකිය. පොතේ මුල නමස්කාරගාථාවලටත් මුලින් රජුට ආශිර්වාද කිරීම සදහා ගාථාවක් යොදා තිබීමෙන් ද මෙහි රජකු හා බලවත් සම්බන්ධයක් ඇති බව පෙනේ.
අපට අසන්නට ලැබී තිබෙන හැටියට මේ තෙරනම කැලණිතිස්ස රජුටත් ඔහුගේ සොහොයුරු කුමරාටත් අකුරු ඉගැන්වු ගුරුවරයාය.එබැවින් උත්තිය කුමරුගේ අත් අකුරු මහ තෙරුන්ගේ අත් අකුරුවලටබෙහෙවින් සමාන වූහ. රජු ද තෙරුන්ගේ අකුරු දැක ඇති බැවින් මේ ලිපිය තෙරුන්වහන්සේගේ යැයි සැක කළේය. රජගෙට පිවිසි සිවුරු පොරවාගත් මිනිසා මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකැයිරජ සිතා ගත්තේය. මහ තෙරනම ඒ පුද්ගලයා රජුගේ ආරාධනාව නිසා ආවෙකැයි සිතුවේය. මේ රහතන් වහන්සේ මැරීම නිසා කෝපයට පත් දෙවිවරු මුහුද ගලා එන්ට සලස්වා බටහිරවෙරළේ ගම් දහස් ගණනක් යට කළ පසු රජුගේ දුව වූ විහාරදේවිය මුහුදේ පාකර හැරීමෙන් ඒ ජල ගැල්ම නවත්වාගත් බව පොත්වල කියවේ. මේ "විහාරදේවිය" නම් දුටුගැමුණු රජුගේ මවයි. එබැවින් මේ "තේලකටාහ ගාථා" දුටුගැමුණු කාලයටත් වඩා පුරාණ එකකැයි කිය යුතුය.මෙහි රජුට දීර්ඝායු පැතීම සහිත ප්‍රාරම්භ ගාථා මෙසේය.

ලංකිස්‍සරො ජයතු වාරණරාජගාමී භෝගින්‍දභොගරුචිරායතපීණබාහු
සාධුපචාරනිරතො ගුණසන්නිවාසො
ධම්‍මෙඨිතො විහතකොධමදාවලේපො

යො සබ්‍බලොකමහිතො කරුණාධිවාසො
මොක්ඛාකරො රවිකුලම්බරපුණ්‍ණචන්‍දො
ඤෙය්‍යෙදධිං සුවිපුලං සකලං විබුද්ධො
ලොකුත්තමං නමථ තං සිරසා මුනින්‍දං

සොපාණමාලමමලං තිදසාලස්‍ස සංසාරසාගරසමුත්තරණාය සේතුං සබ්බාගතීභයවිවජ්ජිතඛේමමග්ගං
ධම්මං නමස්සථ සදා මුනිනා පණීතං

...............................

R. තේලකටාහ ගාථා

පොල්ගස්ඕවිට, වෙනිවැල්කොළ
සම්බෝධි යෝගාශ්‍රමයේ
කොට්ටාවේ සුමන හිමි

තේලකටාහ ගාථා නම් වූ මෙම ග්‍රන්ථය මීට අවුරුදු දෙදහසකට පමණ පෙර ලක්දිව කැලණියේ රජ කළ කැලණිතිස්ස රජු විසින් තම ගුරු දෙවි කල්‍යාණිය තෙරුන් තෙල් කටාරමෙහි ලා මැරවීමේ සිද්ධිය මුල්කොට බිහි වූ එකකි. පාලියෙන් රචිත එම ග්‍රන්ථයෙහි ගාථා සියයක් ඇතුළත් වේ. එම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් බෞද්ධ ජීවිතයකට ලැබෙන ප්‍රයෝජනය ඉතා විශාලය. පළමු කොට මහාවංසය, රාජාවලිය, රසවාහිනි, යන ග්‍රන්ථවල ඇතුළත් විස්තරය ඉදිරිපත් කරමි. මහාවංසයෙහි එන විස්තරය ‘කල්‍යාණි නගරයෙහි රජ වූ තිස්ස නම් ක්ෂත්‍රියෙක් වී මුත්තාසේ උත්තිය නම් ඇති ඒ කුමර දේවිය හා සංයෝගයෙන් හටගන්වන ලද කෝප ඇත්තේ හෙයින් එතැනින් පලා ගොස් අන් තැනෙක විසීය. එයින් ඒ පෙදෙස ඒ නම් වී ඒ ආර්ය උත්තිය තෙමේ දේවියට රහස් ලියමන් දී මහණවෙස්ගත් මිනිසෙක් යැවීය.

ඒ තෙමේ රජගෙදර සිටියේ ය. රජගෙයි සැමදා වළඳන රහත් තෙරුණුවන් හා රජගෙට වන්නේය. තෙරුන් හා ආහාරගෙන රජු හා පිටත්වන කල දේවිය බලා හින්දදී ලියුම් පත බිම හෙළීය. ඒ ශබ්දයෙන් රජතෙමේ පෙරලා බලමින් ඒ ලියුම් හස්න දැන තෙරුන්ට කිපියා වූ මුග්ධ මනස් ඇත්තේ, ඒ තෙරුන් හා ඒ මිනිසා ක්‍රෝධයෙන් මරා මුහුද දැම්ම වීය.

එයින් දෙවියෝ කිපී ඒ රට මුහුදෙන් යට කළෝය. එ රජතෙමේ මනාරූ ඇති යහපත් ආචාර ඇති දේවී නම් සිය දියණියන් රන් සැලෙක හිඳුවා එහි රජ දුවයයි ලියා සමුදුරට යුහුව වුයේ යි. මුහුද බහාලන ලද ඒ සැල එයින් ගොස් රුහුණු රට ලංකා විහාරයෙහි ගොඩබටුයේ ය. ඒ කුමරිය කාවන්තිස්ස රජතෙමේ මෙහෙසි බැව්හි අභිෂේක කළේය. එහෙයින් විහාර යන උපපද නම් වී විහාරමහා දේවියයි නම් වී. රාජාවලියේ එන විස්තරය ‘කැලණිතිස්ස රජහට මලණු කෙනෙත් ඇතියාහ. ඒ කුමාරයා කැලණිතිස්ස රජුගේ බිසව හා සංවාසයෙන් දවස් අරිනා සඳ එබව කැලණිතිස්ස රජුහට සැලව ගියේ ය. රජ රහසින් රොඩියා ගෙන්වා කියන සේක. මම රජ සෙනඟ ගෙන්නවා මල්බෑ කුමාරයින් ගෙන්නවා තට වඩා අඩුකුල ඇද්දයි ඇසුවිට එකගෙයි ඉන්නා බාල බින්නයන් මට වඩා අඩු කුලයයි කියවයි උගන්වා ඒ රජ ඒ සැටියට ඇසූ විට මහ සෙනඟ මැදදී එකගෙයි ඉන්නා බාලපින්න මට වඩා අඩුයයි කී සඳ ඒ කියාපු වචනයට කුමාරයා ලැජ්ජාවෙන් කැලණියෙන් පිටත්ව ඇවිත් උඩුගම්පොළ උන්නාහ. එකලට කැළණි වෙහෙර එක් තෙර කෙනෙකුන් වහන්සේ නිරන්තරයෙන් මල් පහන් පුදා පිරිත් පුරවා පිරිවර හා සමඟ රජගෙයින් දන් වළදා කැලණියේ වැඩ ඉන්නා සඳ කැලණිතිස්ස රජුගේ මල් මේ තෙරුන් වහන්සේගේ අකුරු සැටියට ලියනවා ය.

කැලණිතිස්ස රජුගේ මල් උඩුගම්පල ඉඳගෙන එක පුරුෂයෙකු කසාවස්ත්‍රයක් පොරවා පතක් ලියා දී බිසවට බොහෝ දුක් විලාප කියා ඒ කසාවත් සොරා අතට දී ඇරියාහ. මෙසේ තෙරුන් වහන්සේත් පන්සියයත් පිරිවරත් රජගෙට එක්ව දන් වළදන්ඩ යන විට නුඹත් ඒ මැදට වැද කෙළවර අස්නක ඉඳ දන් වළඳා ගෙන තෙරුන් වහන්සේට ගමන් පසුව එබිසෝ අදහසින් මාලිගාවෙන් දොරට හත් අඩියක් වටිනවා ඇත. රජ්ජුරුවෝ මාලිගාවෙන් පිටත වඩිනවා ඇත.

නුඹ මේ පත බිසව ළඟට දමවයි කියා ඇරියාහ. ඒ සොරා දන් වළඳන හැටියට ගිය විට සැඟවී සිට බිසෝගේ ළඟට පත දැමූවාහ. ඒ පත බිම වැටුණු හඬ රජුට ඇසී පිටිපස බලා බිසව අතට ගත් පත දැක රජ ඇවිත් බිසව අතින් ගෙන බලා මේ අකුරු අනෙකුගේ අකුරු නෙවෙයි. මේ සොරා මාගේ බිසවට පත් එවන්නේයයි සිතා රහතුන් වහන්සේ අල්ලා තෙල් කටාරමෙහි දමා උණු කරන්ඩ වන, පත ගෙන ආ සොරා අල්ලා මරා ගඟට දැමූවාහ. බිසව බැඳ ගඟට දමාපීහ. අනුවණකම් කළ ඒ කැළණිතිස්ස රජ තමා මලණුවන්ගේ අත්අකුරු නොදැන ගුරුවරයාගේ අත් අකුරු හැටියට ඒ කුමාරයා ලියුවයි නොදැන කැලණිතිස්ස රජ මඳ නුවණින් ඒ තෙරුන් වහන්සේ තෙල් කටාරමෙහිලා සත් දවසක් උණු කරන විට ඇල්පැන් සේ තිබෙන්නේය. යට ගිය ජාතියක ඒ තෙරුන් වහන්සේ එඬේරව ඉපිද කිරි උණු කරන විට මැස්සෙක් මැරූ පව පලදෙන බව දිව නෙතින් බලා පෙර කළ පවයයි සිතා සිනාසී මේ අත්බැව් බුදුබවට කිළුටෙකැයි මේ බව එළිකොට සතහට ඇසෙන සේ හඬගසා කී විට අළු රැස්ව ගියාහ’. රසවාහිනියේ ද මීට සමාන විස්තරයක් තිබේ. එහි කල්‍යාණිය තෙරුන් ධර්ම ගාථා වදාළ බව සඳහන් වේ. ගාථා සියයක් ඇතුළත් මෙම ග්‍රන්ථයෙහි මරණය පිළිබඳව ද ජීවිතය හා ලෞකික සම්පත්වල ඇති අනිත්‍යතාවය ද, අනාත්ම ලක්ෂණය පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු ධර්ම ද අන්තර්ගත වී ඇත. පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ගාථා කීපයක් ඉදිරිපත් කරමි.

දෝලා ‘ නිලා’ නලතරංගසමා හී භෝගා
විජ්ජුප්පභාති චපලානි ච ජිවිතානි
මායාමරිචිජලසෝමසමං සරීරං
කෝ ජීවිතේ ච විභවේ ච කරෙය්‍ය රංගා?

ජීවිතය ඔන්චිල්ලාවය සුළඟය ගින්නය යන මොවුන් සමානය. උපභෝග පරිභෝග සම්පත්තීහු ජීවිතයෝ විදුලි එළිය මෙන් ඉතා චපලයහ. ශරීරය මායාවක් මිරිඟුවක් හා දියෙහි පෙනෙන, ස‍ෙඳ් පිළිඹිබුවක් සමාන වෙයි. එබැවින් නුවණැති කවරෙක් නම් මේ අස්ථිර ජීවිතයෙහි හා සම්පත්තියෙහි ඇලීමක් රාගයත් ඇති කරන්නේද?

වේලාතටේ පටුතරෝරු තරංගමාලා
නාසං වජන්ති සතතං මලිලාලයස්ස,
නාසං තථා සමුපයන්ති නරාමරානං
පාණානි දාරුණතරේ මරණෝදධිම්භි

මුහුදේ තදින් තරවූ මහත් රළ පන්තීහු වෙරළ කොණේ වැදී නිතර විනාශ භාවයට යෙත්ද, එපරිද්දෙන්ම මිනිසුන් හා දෙවියන්ගේ ප්‍රාණයෝ අතිශයින් දරුණු වූ මරණ නමැති වෙරළ කොණේ වැදී විනාශ වෙත්."

R. "8 වැනි සියවසට අයත් තායිලන්ත ශිලා ලිපියක සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවේ තේලකටාහ ගාථාවල මුල් ගාථා තුන තිබෙන බව පෙන්වමින් දෙරට අතර සම්බන්ධතාවයේ අතීතය ලොවට හෙළි කළේය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll