791. රහතන්වහන්සේලාත් සියදිවි නසා ගන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සංයුත්තනිකාය » සළායතනවග්ගපාළි » සළායතනසංයුත්තං » ඡන්නවග්ගො » ඡන්න සූත්‍රයේ වේදනාව දරාගත නොහැකිව ආයුෂ්මත් ඡන්න තෙරුන් ආයුධයක් පාවිච්චි කර දිවි නසා ගත් බව සඳහන් වේ. රහත් බවට පත්වූ තෙරුණ් වහන්සේ නමක් වේදනාව දරාගත නොහැකිව සියදිවි නසාගැනීම ධර්මාණුකූලව විග්‍රහ කරන්නේ කෙසේද?

A / R. “මේ විසඳීමට දුෂ්කර ප්‍ර‍ශ්නයෙකි. බුදුවරුන්ට රහතුන්ට කර්මවිපාක ඇති නැති බව තේරුම් ගත හැකි වීමට අභිධර්මය තරමක් දුරටවත් දැන තිබීම ප්‍රයෝජනවත් ය. අභිධර්මය නො දන්නවුන්ට කර්මය විපාක තත්ත්වය හරියට තේරුම් ගැනීම අපහසු ය. අභිධර්මය නො දන්නා පින්වතුන්ට මේ කර්ම විපාක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියට ලියන ඇතැම් කරුණුවල කිසි රසයක් නැතිවිය හැකි ය. එය ගැන අපට කළ හැකි දෙයක් නැත. ....

බුදුවරුය, පසේ බුදුවරුය, රහත්හුය යන සැමදෙනාට ම අනාගත භවය නැති බැවින් කලින් කළ කුශලාකුශලයන් ගේ විපාක අනාගත භවයන්හි ඇති නො වනවා මිස, පිරිනිවන් පානා තුරු වර්තමාන භවයෙහි අතීත කර්මයන් ගේ විපාක ඇති නො වන බව දැක්වෙන බුද්ධ දේශනයක් පිටකත්‍රයෙහි දක්නට නැත.

ලොවුතුරා බුදුවන බෝධිසත්ත්ව කෙනකුන් යම් කුශල කර්මයක බලයෙන් මව්කුස පිළිසිඳ ගත්තා නම් ඒ බෝසතාණන් වහන්සේ බුදුව පිරිනිවන් පානා තෙක් උන්වහන්සේ ගේ සන්තානයෙහි ඒ කුශලකර්මයේ විපාක වශයෙන් භවාංග සිත් පරම්පරාවක් ඇති වේ. ඒ භවාංග සිත් සියල්ල ම ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්මයෙන් ම ඇති කරන විපාකයෝ ය. චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යන මේ සිත් ද කර්ම විපාක වශයෙන් ම ඇති වන සිත් ය. දැකීම ඇසීම ගඳ සුවඳ රස දැනීම ස්පර්ශය දැනීම කෙරෙන්නේ ඒ සිත්වලින් ය. ...”

A / R. “දුක්ඛ සහගත කාය විඤ්ඤාණය - කාය විඤ්ඤාණය යන්නෙහි තේරුම, “කයෙහි උපදනා සිතය” යනුයි. එයින් ශරීරයෙහි සිදුවන සැපීම් දැනගනු ලැබේ - ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් දැන ගැනීමට උපකාර වන කයෙහි පැතිර පිහිටි ඔපය කාය ප්‍ර‍සාදය ය. එය පාචකාග්නිය පිහිටි ප්‍රදේශයත් කෙස් ලොම් නිය වියළි සම් හැර, සකල ශරීරයේ ම පැතිර ඇත්තේ ය. ඒ ඒ දේවල් කයෙහි සැපීම දැනගන්නා වූ කාය විඤ්ඤාණය ඒ ඔපය ඇසුරු කර ගෙන සැපුණු සැපුණු තැන්වල උපදී. ශරීරය ඇතුළත වේදනා හට ගන්නේ ශරීරය තුළ ඇති දේවල් ම එකිනෙකට ගැටීමෙනි.”

A / R. “සාවද්‍ය වූ දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. නිරවද්‍ය දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. ඇතැම් අඥයෝ තමන්ට වූ අලාභ හානි නිසා හෝ ප්‍ර‍සිද්ධ වුවහොත් මහත් ලජ්ජාවට පැමිණිය හැකි වරදවල් තමන් අතින් සිදු වීම නිසා හෝ ඇතැම් අදහස් ඉටුකර ගන්නට ඉඩ නැතිකම නිසා හෝ අනුන්ගෙන් ඇති කරදර නිසා හෝ ජීවත්වීමට මඟක් නැති නිසා හෝ සිත දූෂණය කරගෙන සිය දිවි නසා ගනිති. ඇතැම් මෝඩයෝ අනුන්ට රිදවීම පිණිස ද දිවි නසා ගනිති. ඒවා සාවද්‍ය දිවි නසා ගැනීම් ය. ....

බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ගෝධික තෙරුන් වහන්සේ සියතින් බොටුව සිඳ දිවි නසා ගත්හ. එයත් උසස් අර්ථයක් උදෙසා කළ නිරවද්‍ය දිවි නසා ගැනීමකි.”

A / R. “දුක්ඛ සහගත කාය විඤ්ඤාණය >>> අර්හත් ඵලස්ථයාගේ සිත් 44 -

අහේතුක 18, මහා විපාක 8, මහා ක්‍රියා 8, මහග්ගත ක්‍රියා 9, අර්හත් ඵල සිත යන මේවා ය.

ධ්‍යාන නො ලැබූ සාමාන්‍ය සත්ත්වයන් ගේ වශයෙන් සිත් ගණන් ගැනීමේ දී මහග්ගත සිත් හැර සිත් ගණන ගත යුතු ය.”

{A1 - ලොවුතුරා බුදුවරුන්ට කර්මවිපාක ඇත්තේ ද?

මේ විසඳීමට දුෂ්කර ප්‍ර‍ශ්නයෙකි. බුදුවරුන්ට රහතුන්ට කර්මවිපාක ඇති නැති බව තේරුම් ගත හැකි වීමට අභිධර්මය තරමක් දුරටවත් දැන තිබීම ප්‍රයෝජනවත් ය. අභිධර්මය නො දන්නවුන්ට කර්මය විපාක තත්ත්වය හරියට තේරුම් ගැනීම අපහසු ය. අභිධර්මය නො දන්නා පින්වතුන්ට මේ කර්ම විපාක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියට ලියන ඇතැම් කරුණුවල කිසි රසයක් නැතිවිය හැකි ය. එය ගැන අපට කළ හැකි දෙයක් නැත.

කර්ම යනු කුශලාකුශල දෙපක්‍ෂයට ම සාධාරණ නමෙකි. කුශලයට ‘කුශල කර්මය’ යන නම ද, අකුශලයට, ‘අකුශල කර්මය’ යන නම ද ව්‍යවහාර කරනු ලැබේ. සාමාන්‍ය ජනයා කර්මය කීවාම එයින් ගැනෙන්නේ අකුශලයමය’ යි සිතති. එය වැරදි අදහසෙකි. යමකු ගේ සන්තානයෙහි අර්හන්මාර්‍ගය ඇති වුවහොත් එයින් තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරනු ලැබේ. තෘෂ්ණාව නැති වීම අනුව ඒ තැනැත්තා ගේ සන්තානයෙහි එතෙක් ඇති වූ සකල කුශලාකුශල කර්මයන්ගේ ම ප්‍ර‍තිසන්ධි ඇති කිරීමේ ශක්තිය නැති වන්නේ ය. එබැවින් අර්හන් මාර්‍ගඥානයට ‘කර්මක්ෂයකර ඥානය’ යි ද කියනු ලැබේ.

සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා කර්මක්‍ෂයකරඥානය ලැබුවෝ ය. උන්වහන්සේලාට අනාගත ප්‍ර‍තිසන්ධියක් නැත. පව් කිරීමට හේතුවන සකලක්ලේශයන් ම අර්හන්මාර්ගයෙන් ප්‍ර‍හාණය කෙරෙන බැවින් රහත් වීමෙන් පසු රහතුන් අතින් පව්කම් සිදු නො වේ. රහත් වූ පුද්ගලයන් විසින් කුශල පක්‍ෂයට අයත් දානශීලාදි ක්‍රියා සිදු කරතත් ඒවායින් අනාගත භවයේ විපාක ඇති කරනු නො ලැබේ. ඒවායින් ඒවා කුශලයන් සැටියට නොව ක්‍රියා සැටියට පමණක් සලකනු ලැබේ. දානාදි ක්‍රියා කිරීම් වශයෙන් රහතුන් කෙරෙහි ඇති වන සිත් අභිධර්ම පිටකයෙහි හඳුන්වා තිබෙන්නේ කුශල් සිත්ය කියා නොව ක්‍රියා සිත්ය කියා ය. ලොවුතුරා බුදුවරු ද අර්හත් පුද්ගලයන්ට ම අයත් කොටසකි. බුදුවරුය, පසේ බුදුවරුය, රහත්හුය යන සැමදෙනාට ම අනාගත භවය නැති බැවින් කලින් කළ කුශලාකුශලයන් ගේ විපාක අනාගත භවයන්හි ඇති නො වනවා මිස, පිරිනිවන් පානා තුරු වර්තමාන භවයෙහි අතීත කර්මයන් ගේ විපාක ඇති නො වන බව දැක්වෙන බුද්ධ දේශනයක් පිටකත්‍රයෙහි දක්නට නැත.

ලොවුතුරා බුදුවන බෝධිසත්ත්ව කෙනකුන් යම් කුශල කර්මයක බලයෙන් මව්කුස පිළිසිඳ ගත්තා නම් ඒ බෝසතාණන් වහන්සේ බුදුව පිරිනිවන් පානා තෙක් උන්වහන්සේ ගේ සන්තානයෙහි ඒ කුශලකර්මයේ විපාක වශයෙන් භවාංග සිත් පරම්පරාවක් ඇති වේ. ඒ භවාංග සිත් සියල්ල ම ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්මයෙන් ම ඇති කරන විපාකයෝ ය. චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යන මේ සිත් ද කර්ම විපාක වශයෙන් ම ඇති වන සිත් ය. දැකීම ඇසීම ගඳ සුවඳ රස දැනීම ස්පර්ශය දැනීම කෙරෙන්නේ ඒ සිත්වලින් ය. ලොවුතුරා බුදුවරුන්ට කර්ම විපාක වශයෙන් ම ඇති වන භවාංග සිත් හා චක්ඛු විඤ්ඤාණාදි විපාක සිත් ඇති වන්නේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලාට කර්මවිපාක ඇති නො වනවා නම් බුදුවීමෙන් පසු මොහොතකුදු උන්වහන්සේලාට ජීවත් වන්නට නො ලැබෙන්නේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ලෝකයෙහි ජීවත් වන්නේ කර්ම විපාක උන්වහන්සේලාට ඇති වන බැවිනි.

කුශල කර්මවල විපාක ලොවුතුරා බුදුවරයන්ට ඇති වෙතත් සියලු අකුශලයන් ප්‍ර‍හාණය කොට බුදුවන බැවින් උන්වහන්සේලාට අකුශල කර්ම විපාක දෙන්නේ නැතය කියා බුදුන් වහන්සේ වදාළ තැනක් පිටකත්‍රයෙන් නො දැක්විය හැකි ය. ලොවුතුරා බුදුවරයන් විසින් ප්‍ර‍හීණ කර ඇත්තේ අකුශල් පමණක් නො වේ. කුශලාකුශල දෙපක්‍ෂය ම ලොවුතුරා බුදුවරයන් ඇතුළු සියලු රහතුන් විසින් ප්‍ර‍හීණ ය.

“සමිතා වී පහාය පුඤ්ඤපාපං

විරජො ඤත්වා ඉමං පරඤ්ච ලොකං,

ජාති මරණං උපාතිවත්තො

සමණො තාදී පවුච්චති තථත්තා”

මේ සුත්ත නිපාතයේ සභිය සූත්‍රයේ ගාථාවෙකි. මේ ගාථාවෙන් දැක්වෙන්නේ බුදුවරයන් පමණක් නොව සියලු ම රහතුන් කුශලාකුශල දෙක ප්‍ර‍හාණය කොට සිටින බව ය.

“අත්ථි සක්‍යකුලෙ ජාතො බුද්ධො අප්පටිපුග්ගලො”

සබ්බාභිභූ මාරනුදො සබ්බත්ථ මපරාජිතො.

සබ්බත්ථ මුත්තො අසිතො සබ්බං පස්සති චක්ඛුමා

සබ්බකම්මක්ඛයං පත්තො විමුත්තො උපධිසංඛයෙ,

සො මය්හං භගවා සත්ථා තස්ස රොචෙමි සාසනං”

මේ භික්ඛුණී සංයුත්තයේ සූත්‍ර‍යක එන බුද්ධස්තෝත්‍ර‍ ගාථා දෙකකි. එහි “සබ්බකම්මක්ඛයං පත්තෝ” යන ගාථා පදයෙන් කියැවෙන්නේ බුදුන් වහන්සේ කුශලාකුශල සකල කර්මයන් ගේ ම ක්ෂයට පැමිණ සිටින බව ය. නො එසේ නම් ඒ ගාථාපදය තිබිය යුත්තේ “පාපකම්මක්ඛයං පත්තො” කියාය. මේ කරුණු අනුව සලකන කල්හි අකුශලයන් ප්‍ර‍හාණය කොට බුදුවන බැවින් අකුශල කර්මවල විපාක ලොවුතුරා බුදුවරුන්ට නො ලැබෙනවාය යන්න නො පිළිගත හැකි ය. තථාගතයන් වහන්සේ විශාලා මහ නුවරට වැඩම කළ අවස්ථාවේ දී ලද පූජා සත්කාරයන් පෙර කළ කුශල කර්මවල බලයෙන් ලැබුණු බව උන්වහන්සේ විසින් ම වදාළ සැටි රතන සූත්‍ර‍ අටුවාවෙහි හා දම්පියාටුවාවෙහි ද දක්වා ඇත්තේ ය.

“සුණාථ භික්ඛවො මය්හං යං කම්මං පකතං මයා

පිලොතිකස්ස කම්මස්ස බුද්ධත්තෙපි විපච්චති”

යනාදීන් පුබ්බකම්ම පිලෝතික බුද්ධාපදානයෙහි අප බුදු රජාණන් වහන්සේටත් අකුශලකර්ම දොළසක් විපාක දුන් බව වදාරා ඇත්තේ ය. දික්වන බැවින් විස්තරය මෙහි නො දක්වනු ලැබේ. විස්තරය අපදාන අටුවාවෙන් බලාගත හැකි ය.

“වෙමාතුභාතිකං පුබ්බෙ ධනහෙතු හනී අහං,

පක්ඛිපිං ගිරිදුග්ගස්මිං සිලාය ච අපිංසයිං.

තෙන කම්මවිපාකෙන දෙවදත්තො සිලං ඛිපි,

අංගුට්ඨං පිංසයි පාදෙ මම පාසාණ සක්ඛරා”

යනුවෙන් අතීතයේ එක්තරා ජාතියක දී සහෝදරයකු මරා ගිරිදුර්ගයකට හෙලීමේ පාපය හේතු කොට බුදුවීමෙන් පසුත් දෙවිදත් තෙරුන් විසින් ගල පෙරලීමෙන් පයෙහි සුළඟිල්ල තැළුණු බව අපදාන පාලියෙහි වදාරා තිබේ. මිළින්ද ප්‍ර‍ශ්නයෙහි මේ කාරණය දැක්වෙන්නේ මෙයට වෙනස් සැටියකිනි.

“යං පන මහාරාජ! භගවතො පාදො සකලිකාය ඛතො, තං වෙදයිතං නෙව වාතසමුට්ඨානං න පිත්තසමුට්ඨානං, න සෙම්හසමුට්ඨානං, න සන්නිපාතිකං, න උතුපරිණාමජං, න විසමපරිහාරජං, න කම්මවිපාකජං, ඔපක්කමිකං යෙව”

යනුවෙන් බුදුන් වහන්සේ ගේ පාදයෙහි ගල්පතුර ගැටීමෙන් වූ වේදනාව වාතයෙන් හටගන්නා ලද්දක් ද නො වේ ය. පිතින් හටගන්නා ලද්දක් ද නො වේය, සෙමෙන් හටගන්නා ලද්දක් ද නො වේය, සන්නිපාතයෙන් හටගන්නා ලද්දක් ද නො වේය, සෘතු පරිවර්තනයෙන් හටගන්නා ලද්දක් ද නො වේ ය, නො මනා පැවැත්මෙන් හටගන්නා ලද්දක් ද නො වේය, කර්ම විපාකයෙන් හටගන්නා ලද්දක් ද නොවේය, හුදෙක් එය දේවදත්ත ගේ උපක්‍ර‍මයෙන් ම හටගන්නා ලද්දකැ යි දක්වා තිබේ. එහි වාතය පිතය සෙමය සන්නිපාතය සෘතුපරිවර්තනය විසම පරිහාරය උපක්‍ර‍මය කර්මය කියා වේදනා ඇතිවීමේ හේතු අටක් දක්වා: “නත්ථි භගවතො කම්මවිපාකජා වෙදනා, නත්ථි විසමපරිහාරජා වේදනා අවසෙසෙහි සමුට්ඨානෙහි භගවතො වෙදනා උප්පජ්ජති” යි භාග්‍යවතුන් වහන්සේට කර්මවිපාක වේදනා ද නැත. නො මනා ශරීර පරිහරණයෙන් වන වේදනා ද නැත. ඉතිරි හේතු සයෙන් ඇති වන වේදනා පමණක් ඇත්තේය යි දක්වා තිබේ.

අපදානපාලිය, මිළින්ද ප්‍ර‍ශ්නය යන මේ පොත් දෙක ම බෞද්ධ සාහිත්‍යයෙහි උසස් පොත් දෙකකි. ඒ එකකුදු අහක දැමිය යුතු පොත් නො වේ. ඒවායේ මේ වෙනස කෙසේ සිදුවී ද යනු තේරුම් ගැනීමට දුෂ්කර ය. විමසිය යුතු ය."}

{A3. දිවි නසා ගැනීම ප්‍රාණඝාත කර්‍මය නුවූව ද අපායෝත්පත්තියට හේතු වන අකුශලයක් නො වේ ද?

මෙය විභජ්ජවාදය අනුව විසඳිය යුතු ප්‍ර‍ශ්නයෙකි. සාවද්‍ය වූ දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. නිරවද්‍ය දිවි නසා ගැනීමක් ද ඇත්තේ ය. ඇතැම් අඥයෝ තමන්ට වූ අලාභ හානි නිසා හෝ ප්‍ර‍සිද්ධ වුවහොත් මහත් ලජ්ජාවට පැමිණිය හැකි වරදවල් තමන් අතින් සිදු වීම නිසා හෝ ඇතැම් අදහස් ඉටුකර ගන්නට ඉඩ නැතිකම නිසා හෝ අනුන්ගෙන් ඇති කරදර නිසා හෝ ජීවත්වීමට මඟක් නැති නිසා හෝ සිත දූෂණය කරගෙන සිය දිවි නසා ගනිති. ඇතැම් මෝඩයෝ අනුන්ට රිදවීම පිණිස ද දිවි නසා ගනිති. ඒවා සාවද්‍ය දිවි නසා ගැනීම් ය. එසේ දිවි නසා ගන්නවුන්ට දෙවන ජාතියේ සුගතියේ ඉපදීමට ද දුෂ්කර ය. දූෂිත වූ සිතින් කාලක්‍රියා කරන පුද්ගලයා ගේ දෙවන උපත ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.

“ඉමම්හි වායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො;

නිරයං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං.

යථා හරිත්වා නික්ඛිපෙය්‍ය එව මෙව තථා විධො;

චෙතො පදොස හෙතූ හි සත්තා ගච්ඡන්ති දුග්ගතිං”

(ඉති වුත්තක පාලි)

“සිත දූෂ්‍ය වී ඇති මේ වේලාවේ දී මේ තැනැත්තා කාලක්‍රියා කෙළේ නම් ඔහු නරකයෙහි උපදනේ ය. මක් නිසා ද? ඔහු ගේ සිත දූෂ්‍ය වී ඇති බැවිනි.

එබඳු පුද්ගලයා මළ පසු ගෙන ගොස් දැමුවාක් මෙන් නරකයට වැටෙන්නේ ය. සිත දූෂ්‍ය වීම හේතු කොට සත්ත්වයෝ දුර්ගතියට යෙති” මේ ගාථා දෙක්හි තේරුම ය.

මේ දේශනාව අනුව කිය යුත්තේ පැමිණි අලාභ හානි ආදිය නිසා සිත දූෂ්‍ය කර ගැනීමෙන් දිවි නසා ගන්නා අය මරණින් මතු නරකයෙහි උපදනා බව ය. මෙය සාමාන්‍ය දේශනාවෙකි. එබැවින් දූෂ්‍ය වූ සිතින් මැරෙන අය ප්‍රේත බවටත්, තිරිසන් බවටත් පැමිණිය හැකි බව කිය යුතු ය. දිවි නසා ගැනීම තමාට වූ පාඩුවක් පිරිමසා ගැනීමට කළ යුතු ප්‍ර‍තික්‍රියාවක් නොවේ. එය අනුවණකමෙකි. තමන් ගේ දෙලොව ම නසා ගැනීමකි.

යම් කිසි උසස් අර්ථයක් සඳහා ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට සමත් වන තරමට නුවණ දියුණු කර ගෙන ඇත්තා වූ වීර පුරුෂයෝ සමහර විට උසස් අර්ථයන් සඳහා තමන් ගේ ජීවිතයත් පරිත්‍යාග කෙරෙති. බ්‍ර‍හ්මසෘෂි නම් තාපස කාලයේ දී අප මහ බෝසතාණන් වහන්සේ අන් අහරක් නො ලැබීමෙන් සිය දරුවන් කා දමන්නට තැත් කරන ව්‍යාඝ්‍රධේනුව ගේ ඉදිරියට පිනූහ. සිරිසඟබෝ රජතුමා තමා ගේ හිස සියතින් ම සිඳ දුගියෙකුට දුන්නේ ය. උසස් අර්ථයක් සඳහා කරන එබඳු දිවි නසා ගැනීම් නිරවද්‍ය දිවි නසා ගැනීම් ය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ගෝධික තෙරුන් වහන්සේ සියතින් බොටුව සිඳ දිවි නසා ගත්හ. එයත් උසස් අර්ථයක් උදෙසා කළ නිරවද්‍ය දිවි නසා ගැනීමකි.

ආයුෂ්මත් ගෝධික ස්ථවිරයන් වහන්සේ ඉසගිලි පර්‍වතයේ එක් පසෙක විසූහ. උන් වහන්සේ බොහෝ උත්සාහ කොට ලෞකික ධ්‍යානයක් උපදවා ගත්හ. ලෞකික ධ්‍යානය වනාහි ලැබූ තැනැත්තා විසින් එය අත් නො හැර නැවත නැවත සමවැදීම් වශයෙන් ආරක්‍ෂා කර ගත යුතු ය. එසේ නො කොට අන් කටයුතුවල යෙදුන හොත් ධ්‍යානය නැති වන්නේ ය. ධ්‍යානයෙන් පිරිහෙන්නේ ය. ගෝධික තෙරුන් වහන්සේ රෝග බහුල කෙනෙක. එබැවින් උන්වහන්සේට ධ්‍යානය පවත්වා ගත නො හැකි විය. ධ්‍යානයෙන් පිරිහුණාහ. උන් වහන්සේ දෙවන වරද උත්සාහ කොට නැවත ධ්‍යානය උපදවා ගත්හ. එහෙත් රෝග නිසා දෙවන වරත් ධ්‍යානයෙන් පිරිහුණහ. මෙසේ තුනවන සතරවන පස්වන වරද උපදවා ගත් ධ්‍යානයෙන් පිරිහුණහ. සවන වාරයේ ධ්‍යානය ලබාගත් පසු උන්වහන්සේ සිතන්නාහු ධ්‍යානයෙන් පිරිහී ඉන්නා අවස්ථාවක මරණය වුවහොත් මතු උපත අනියත ය. ධ්‍යානය තිබිය දී මරණය වුවහොත් බඹලොව ඉපදීම නියත ය. එබැවින් දැන් ධ්‍යානය තිබෙන වේලාවේ දී දිවි නසා ගනිමි යි සිතූහ. උන්වහන්සේ කරන්නට යන දෙය දුටු මාරයා සිතනුයේ ගෙළ සිඳ ගැනීම ශරීරය කෙරෙහිත් ජීවිතය කෙරෙහිත් ආශාව නැතියකුට මිස අනිකකුට නො කළ හැකි දෙයක. කාය ජීවිත දෙක්හි ආලය නැති මුන් වහන්සේ එසේ කිරීමේ දී කමටහන සිහිකොට රහත් වන්නට ද බැරි නැත. මෙය මා විසින් වැළැක්විය යුතුය යි සිතා මෙය බුදුන් වහන්සේට සැලකර උන් වහන්සේ ලවා වළක්වමි යි ඒ බව බුදුන් වහන්සේට සැල කළේ ය. එකෙණෙහි ම ගෝධික තෙරුන් වහන්සේ සිය ගෙළ සිඳ ගත්හ. එයින් උන්වහන්සේට බොහෝ වේදනා ඇති විය. උන්වහන්සේ වේදනා යටපත් කොට සිහියෙන් යුක්ත වී ඒ වේදනාව ම අනිත්‍යා දී වශයෙන් මෙනෙහි කොට සියලු කෙලෙසුන් නසා රහත්ව පිරිනිවන් පා වදාළ සේක. මාරයාට පිළිතුරු වශයෙන් තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

“එවං හි ධීරා කුබ්බන්ති නාවකංඛන්ති ජීවිතං,

සමූලං තණ්හං අබ්බුය්හ ගෝධිකො පරිනිබ්බුතො”

එහි තේරුම “නුවණැත්තෝ මෙසේ කෙරෙත්. ජීවිතයට ඇළුම් නො කෙරෙත්. මුල්සහිත තණ්හාව උපුටා දමා ගෝධිය පිරිනිවීය” යනුයි. ඡන්න තෙරුන් වහන්සේ ද දිවි නසා ගෙන රහත් ව පිරිනිවන් පෑ කෙනෙකි. මේ කථා දෙක ම සංයුක්ත නිකායේ සඳහන් වී ඇත්තේ ය. යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගැනීම පාපක්‍රියාවක් නම් දිවි නසා ගන්නා වේලාවේ දී ඒ ඒ තෙරුන් වහන්සේලාට රහත් විය නො හැකි ය. මේ කරුණු අනුව යම් කිසි උසස් අර්ථයක් සඳහා දිවි නසා ගන්නවුන්ට එයින් පාපයක් නො වන බව පිළිගත යුතු ය."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll