836. මොහොතකින් ලිංග විපර්යාස වෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අර රහතන් වහන්සෙ නමක් කෙරෙහි රාගය ඈති කරගෙන එ මොහොතෙම ලින්ගික විපර්යාසයක් උන කෙනා ගෑන කියවෙන කතාව තියෙන සූත්‍රය සහ ඒ කතව ගන පහදිලි කරන්න පුලුවන්ද?

A / R. "සෝරෙය්‍යක සිටු ගේ අද්භූත කර්මය

සෝරෙය්‍යක සිටු පුත්‍රයා දෙදරු පියෙකි. දිනක් යාළුවන් සමඟ නාන්න යන විට මහා කච්චායන මහ රහතන් වහන්සේ ගේ රන්වන් පාට දේහ සම්පත්තිය දැක රාග සිත් පහළ කොට මුන් වහන්සේ මාගේ බිරිඳ හෝ වන්නේ නම් මැනවි, නැත්නම් මාගේ බිරිඳ ගේ සිරුර, මුන් වහන්සේ ගේ සිරුරේ පැහැය වන්නේ නම් මැනවි යැ යි සිතීය. ඒ අඥාණ දූෂිත සිත සමඟ ම ඔහුගේ පුරුෂ නිමිති අතුරුදහන් වී ස්ත්‍රී නිමිති පහළ විය. පසුව ලැජ්ජාවෙන් තක්ෂිලා නුවරට පැන ගොස් එහි සිටු කෙනෙකු ගේ බිරිඳ වී දරු දෙන්නෙක් ද ලොවට බිහි කළා ය. පසු කාලයක මහා කච්චායන මහ රහතන් වහන්සේගෙන් සමාව ගත් පසු නැවත පුරුෂයෙක් විය. පසුව පැවිදිව රහත් විය. රහතුන් කෙරෙහි සිතන වැරදි සිතිවිල්ල ද දුකට පත් කරන බව මින් දත යුතු ය.

(ධම්මපද අට්ඨ කථා 201 පිට)"

A / R. "ලිංග පරිවර්තනය

සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති. “තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති, තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති” යි විනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි. බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නො දන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින් ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංගවිපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනකකර්මය (උප්පත්තියට හේතු වූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂභාව රූපයන් ඉපදවීමට නො සමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රීභාව රූප උපදවයි. කලින් පැවැත්තා වූ පුරුෂභාවරූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසු ව ඔහු ගේ සන්තානයෙහි ස්ත්‍රීභාවරූප ඇති කළා වූ ද කලින් පුරුෂභාව රූප ඇති කළා වූ ද කර්මය එකක් ම ය. එය ඔහුගේ උත්පත්තියට හේතු වූ කුශල කර්මය ම ය. මේ විර්‍ප්‍යාසයට දුරින් හේතු වන අකුශල කර්‍මය දැක්වීම පිණිස එය ප්‍ර‍ධාන කොට කතා කිරීමේ දී බලවත් අකුශලයෙන් පුරුෂලිංග අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වෙතැ යි කියනු ලැබේ. එය පර්‍ය්‍යාය කථාවෙකි. එය පිළිබඳ ව කිය යුතු දෑ බොහෝ ඇතත් ඒවා දක්වන්නට ගිය හොත් පරමාර්ථ ධර්ම ලක්ෂණයෙන් බැහැරට බොහෝ දුර යැවෙන බැවින් මෙය මෙතෙකින් නවත්වනු ලැබේ."

A / R. "3-9 නවවන සොරෙය්‍ය තෙරුන්ගේ වස්තුවයි.
න තං මාතා පිතා කයිරා, අඤ්ඤෙ වාපි ච ඤාතකා;

සම්මාපණිහිතං චිත්තං, සෙය්‍යසො නං තතො කරෙ.

ඒ කාරණය මවු නොකරන්නීය. පියාද නොකරන්නේය, අනික් නෑයෝද නොකරන්නාහුය. (දශකුශල කර්ම පථයෙහි) මනාකොට පිහිටුවන ලද සිත, ඒ හේතුවෙන් ඒ පුද්ගලයා අතිශයින් උත්තම කරන්නේය.

න තං මාතා පිතා කයිරා ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ සෝරෙය්‍යනගරයෙහි දී උපදවා සැවැත්නුවරදී නිමවන ලදහ. සම්මාසම්බුදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි සොරෙය්‍යනුවරෙහි සොරෙය්‍යසිටුපුත් තෙමේ එක් යහළුවකු සමග සුවපහසු යහනාවක හිඳගෙන මහත් පිරිවර සහිතව නෑම පිණිස නුවරින් නික්මුණේය. ඒ වේලාවෙහි මහාකච්චායන තෙරණුවෝ සොරෙය්‍ය නගරයෙහි පිඬු පිණිස හැසිරෙනු කැමැත්තෙන් නුවරින් පිටත සිට සංඝාටිය පෙරවන සේක. තෙරුන්ගේ සිරුර රන්වන්ය. සොරෙය්‍යසිටුපුත්‍ර‍යා ඒ සිරුර දැක, අනේ මේ තෙරණුවෝ මගේ භාර්යාව වන්නේ නම්, මගේම භාර්යාවගේ හෝ ශරීරවර්ණය මොහුගේ ශරීරවර්ණය මෙන් වන්නේ නම් කෙතරම් අගේදැයි සිතීය. ඔහු එසේ සිතනවාත් සමගම ඔහුගේ පුරුෂලිංගය අතුරුදහන් වී ස්ත්‍රීලිංගය පහළ විය. හෙතෙම ලැජ්ජාවට පත්ව යානයෙන් බැස පලාගියේය. පිරිවර ජනයෝ ඒ කිමෙක්දැයි නොදැන මේ කිමෙක් දැයි ඇසූහ. ඈ ගොස් තක්ෂශිලාමලට වැටුණාය. ඇගේ යාළුවාද ඔබ මොබ සොයා බැලුවත් නොදැක්කේය. සියලුදෙනාම වහා ගෙවල්වලට ගියහ. සිටුපුතා කොයිදැයි ඇසූ විට නාගෙන ආවේයයි අපි සිතුවෙමුයි පිළිතුරු දුන්හ.

ඉන්පසු ඔහුගේ මවුපියෝ එහි සොයා බලා නොදැක හඬා වැළපී මැරෙන්නට ඇතියි සිතා මතක දන් දුන්හ. ඈ තක්ෂශිලාවට යන එක් ගැල්රංචුවක් දැක ඒ ගැල් පසුපසින් ගියාය. ඉන්පසු මිනිස්සු තම ගැල් පිටුපසින් ඈ එනු දැක, මෑ කාගේ දැරියක්දැයි කථා කළහ. නුඹලා තමන්ගේ ගැල් දක්කාගෙන යන්න. මම පයින් එන්නෙමියි කියා ඇඟිලිමුදුව ගළවා දී එක් ගැළක අවකාශ ලබා ගත්තාය. මිනිස්සු මෙසේ සිතූහ. තක්ෂශිලාවේ අපේ සිටුපුත්‍ර‍යාට බිරියක් නැත. මෑ ගැන ඔහුට කියමු. අපට එය මහාලාභයක් වන්නේය. ඔවුහු සිටුදෙරට ගොස් ස්වාමීනි, ඔබට එක් ස්ත්‍රීරත්නයක් ගෙනාවෙමුයි කීවාහුය. සිටුපුත්‍ර‍යා ඒ අසා ඈත් ඔවුනුත් කැඳවා තමන්ගේ වයසට ගැළපෙන අභිරූපී ඈ දැක උපන් ස්නේහ ඇතිව සිය ගෙදර නවතා ගත්තේය.

සසරෙහි මිනිස්සු ගැහැණුන් බවටත්, ගැහැණු මිනිසුන් බවටත් පත්වීම නොවූ දෙයක් නොවේ. මිනිස්සු පරදාර සේවනය කොට මැරී ගොස් බොහෝ වර්ෂ සියදහස් ගණන් නිරයේ පැසී මිනිස්ජාතියෙහි ඉපදෙන විට ආත්මභාව සිය ගණන් ස්ත්‍රීභාවයට පත් වෙති. ආනන්ද තෙරණුවෝත් කල්ප ලක්ෂයක් පිරූ පාරමිතා ඇති ආර්යශ්‍රාවකයකු වූ නමුත් සසර සැරි සරා එන අතර එක් ආත්මභාවයකදී කඹුරු කුලයක ඉපදී පරදාර කර්මය කොට නිරයේ පැසී අවසානයෙහි තුදුස් ආත්මභාවයක් අනුන්ගේ පාදපරිචාරිකාවක්-ස්ත්‍රියක් වූවාය. ආත්මභාව සතක් බීජෝද්ධරණයට (ආණ්ඩකෝෂ ඉවත්කර දැමීමට) පත්විය.

ස්ත්‍රීහු වනාහි දානාදි පින්කම් කොට ස්ත්‍රීභාවයෙහි කැමැත්ත හැරදමා තමා කළ මේ පින පුරුෂාත්මභාවයක් ලබා ගැනීමට හේතුවේවායි ප්‍රාර්ථනා කොට මිය ගොස් පුරුෂාත්මභාව ලබා ගනිත්. සැමියා දෙවියකු හැටියට ගෙන සැමියා කෙරෙහි මනා ඇවතුම් පැවතුම් කිරීම් වශයෙනුදු පුරුෂාත්මභාව ලබන්නියෝද වෙති. මේ සිටුපුත්‍ර‍යා තෙරුන්වහන්සේ කෙරෙහි විකෘති සිහියක් උපදවා ගෙන මේ ආත්මභාවයේදීම ස්ත්‍රී භාවය ලැබීය. තක්ෂශිලාවේ සිටුපුත්‍ර‍යා සමග සංවාසයට පැමිණි ඇගේ කුසෙහි ගැබක් පිහිටියේය. ඈ දසමසක් ගෙවා පුතකු ලැබුවාය. ඒ දරුවා ඇවිදින වයසට පත්කාලයට තවත් පුතකු ලැබුවාය. මෙසේ ඇගේ කුසෙන් දරුවන් දෙදෙනකු ලැබුවාය. සොරෙය්‍ය නගරයෙහිදී, ඔහු පිරිමියකුව සිටි කාලයේ ඔහුට දාව ලැබූ දරුවන් දෙදෙනාත් සමග සිව්දෙනෙක් වූවාහුය.

එකල ඇගේ යහළුසිටුපුත්‍ර‍යා සොරෙය්‍යනගරයේ සිට ගැල්පන්සීයකින් තක්ෂශිලාවට ගොස් සැප යහනාවක හිඳ නුවරට ඇතුල් විය. ප්‍රාසාදයේ ඉහළමහලේ සිටි ඈ කවුළු හැර දමා ඇතුල්වීථිය බලන විට ඒ යහළු සිටු පුත්‍ර‍යා දැක හැඳින දාසියක් යවා ඔහු කැඳවා මහල්තලයෙහි වාඩි කරවා සත්කාර සම්මාන කළාය. සිටුපුත්‍ර‍යා ඈ අමතා, සොඳුර, ඔබ මින්පෙර අප දැක නැත. එසේ වුවත් ඔබ අපට මහත් සත්කාර කරන්නෙහිය. ඔබ අප ගැන දන්නෙහිදැයි ඇසීය. ස්වාමීනි, එසේය. මම ඔබ හඳුනමි. ඔබ සොරෙය්‍යනුවර වැසියෙක් නේද? සොඳුර, එසේය. ඈ තම මවුපියන්, බිරිය, සහ පුතුන්ගේ සුවදුක් විචාළාය. අනිත් තැනැත්තා. එසේය සොඳුර. ඒ සියල්ලෝ සුවසේය. ඔබ ඒ අය දන්නෙහිදැයි ඇසුවේය. එසේය ස්වාමීනි, මම ඔවුන් ගැන දනිමි. ඒ මවුපියන්ට එක් පුතෙක් ඇති. ඔහු දැන් කොහේදැයි ඇසුවාය. සොඳුර, ඔහු ගැන කථා නොකරව. මම දිනක් සැප යහනක හිඳ නාන්ට යන අතර, ඔහු ගිය තැනක් නොදනිමි. හැම තැනම බලා ඔහු නොදැක ඒ බව මවුපියන්ට දැන්වූවෙමි. ඔවුහුද ඔහු ගැන හඬා වැළපී මළේ යයි සිතා මළවුන් වෙනුවෙන් කළයුතු දේ කළහ.

ස්වාමීනි, ඒ සිටුපුතා නම් මම යයි ඈ කී විට, සොඳුර නිකම් සිටුව. නුඹ කුමක් කියන්නීද? මගේ යහළුවා දෙව්කුමරකු වැනි එක් පිරිමියෙකි. එය විය හැකියි හිමියනි, නමුත් ඒ කුමරා නම් මම යයි කීවාය. ඉතින් එය එසේ නම් දැන් මේ කුමක් සිදුවී තිබෙයිද?

එදින ඔබ මහාකච්චාන ආර්යයන්වහන්සේ දැක්කෙහිද, මම මහාකච්චානතෙරුන්ගේ රන්වන් සිරුර බලා අනේ මේ තෙරුන් මගේ භාර්යාව වන්නේ නම් හෝ මුන්වහන්සේගේ ශරීරවර්ණය මගේ භාර්යාවට ලැබෙන්නේ නම් හෝ ඉතා යෙහෙකැයි සිතීමි. එසේ සිතූ කෙණෙහිම මගේ පුරුෂලිංගය අතුරුදහන් විය. ස්ත්‍රීලිංගය පහළ විය. ඉන්පසු මම ලජ්ජාවෙන් කිසිවකුට ඒ බව දැන්වීමට නොහැකිව පලාගොස් මෙහි පැිමණියෙමියි කීවාය. අහෝ ඔබ බැරෑරුම් ක්‍රියාවක් කෙළෙහිය. මට නොදැන්නුවේ ඇයි? ඉතින් ඔබ තෙරුන්ගෙන් සමාව ගත්තෙහිද? ස්වාමීනි ක්ෂමා කරගත්තේ නැත. ඔබ ඒ තෙරුන් සිටින තැන දන්නෙහිද? උන්වහන්සේ මේ නගරය සමීපයෙහිම සිටිති. ඉදින් පිණ්ඩචර්යාවෙහි වඩින ගමන් මෙහි වැඩියොත් මම ආර්යයන් වහන්සේට භික්ෂාහාරය දෙන්නෙමි ස්වාමීනියි ඈ කීවාය. එසේනම් වහා සත්කාර කරව. අපේ ආර්යයන් ක්ෂමා කරවන්නෙමි.

තෙරුන් වෙසෙන තැනට ගොස් වැඳ එකත්පසෙක හිඳ ස්වාමීනි, හෙට මගේ භික්ෂා පිළිගනු මැනවැයි කීය. සිටුපුත, ඔබ මෙහි ආගන්තුකයෙක් නොවේ ද, ස්වාමීනි, අපේ ආගන්තුක බව නොවිචාරනු මැනවි. හෙට මගේ භික්ෂාව පිළිගනු මැනවි. තෙරණුවෝ ආරාධනය භාරගත්හ. සිටු ගෙදරද තෙරුන් උදෙසා මහා සත්කාරයක් පිළියෙල විය. තෙරණුවෝ දෙවෙනි දිනයේ ඒ ගෙදරට වැඩියහ. ඉන්පසු උන්වහන්සේ වඩා හිඳුවා ප්‍ර‍ණීත ආහාර වළඳවා සිටුපුත්‍ර‍යා ඒ ස්ත්‍රිය ගෙන තෙරුන් පාමුල හිඳුවා ස්වාමීනි, මගේ යෙහෙළිණියට සමාව දෙනු මැනවැයි ඉල්ලා සිටියේය. මේ මොකද? තෙරණුවෝ ඇසූහ. ස්වාමීනි, මෝතොමෝ පෙර මගේ ප්‍රිය යහළුවෙකි. ඔබවහන්සේගේ සිරුර දෙස බලා මෙබඳු සිතක් ඇතිකර ගත්තේය. ඉන්පසු ඔහුගේ පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රීලිංගය පහළ විය, අනේ ස්වාමීනි ඈට ක්ෂමාව දුන මැනවි. එසේනම් නැගිටින්න. මම තොපට සමාව දෙන්නෙමි.

තෙරුන්වහන්සේ, (ඛමාමි) සමාව දෙමියි කී හැටියේම ස්ත්‍රීලිංගය අතුරුදහන් විය. පුරුෂලිංගය පහළ විය. පුරුෂලිංගය පහළවූ හැටියේම ඔහුට තක්ෂශිලාවේ සිටුපුත්‍ර‍යා, යහළු සහායකය. මේ දරුවෝ දෙදෙන ඔබේ කුසෙන් පිළිසිඳගත් හෙයින් මා නිසා උපන් හෙයින් ඒ පුතුන් දෙදෙනා සමග මෙහිම වසමු. කලනොකිරෙනු මැනවියි කීවේය. යහළුව, මම එක් අත්බවකදීම පළමුව පුරුෂයෙක්ව යළි ස්ත්‍රියක වී නැවත පුරුෂයකු බවට පත් වී කලකිරුණෙමි. පළමුව මට දාව මේ පුතුන් දෙදෙනා උපන්හ. ඒ මම එකම ආත්මභාවයක ඇති විප්‍ර‍කාරයට පැමිණියෙමි. නැවත ගෙදර වසන්නැයි සංඥා නොකරව, මම ආර්යයන්වහන්සේ ළඟ මහණ වෙමි. මේ දරුවේ ඔබට භාරයි. මොවුන් රැකබලා ගන්නැයි පුතුන් සිපවැළඳ ඇඟ පිරිමැද පියාට භාර කොට නික්ම ගොස් තෙරුන් ළඟ පැවිදි විය.

තෙරණුවෝත් ඔහු පැවිදි කරවා උපසම්පදාව ලබාදී ඒ භික්ෂුව සමග චාරිකාවේ හැසිරෙමින් සැවැත්නුවරට වැඩියාහ. ඔහු සොරෙය්‍යස්ථවිර නමින් ප්‍ර‍කට විය. ජනපදවාසීහු එපුවත අසා කැළඹී කුතුහලයට පැමිණ අවුත් මෙසේ ඇසූහ.

ස්වාමීනි, මෙබඳු දෙයක් සිදුවිණිද, ඇවැත්නි එසේය. ස්වාමීනි, මෙබඳු කාරණාත් වෙයිද? ඔබේ කුසේ පුතුන් දෙදෙනෙක් උපන්නාහ. ඔබ නිසාත් පුතුන් දෙදෙනෙක් උපන්හ. ඉතින් දැන් ඔබේ බලවත් ස්නේහය මේ පුතුන්ගෙන් කාටද, ඇවැත්නි. මගේ කුසේ උපන් අයටයි. එන එන අය නිතර එයම ඇසූහ. තෙරණුවෝ තමන් කුස උපන් අයටම ස්නේහය බලවත්යයි කීය. පසුව මගේ ඒ කිසිවෙකුටත් ස්නේහයක් නැතැයි කීහ. භික්ෂූහු, මොහු බොරු කියන්නෙකි. පළමු දවසේ තම කුසෙහි උපන්නවුන්ටයයි කියා, දැන් ඒ කිසිවෙකුටත් ස්නේහයක් නැතැයි අනිකක්ම කියතියි ශාස්තෘන්වහන්සේට දැන්වූහ.

ශාස්තෘන්වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, මගේ පුතා අනිකක් නොකියයි. මැනවින් සිත පිහිටුවාගෙන මාර්ගදර්ශනය දුටුවේලේ පටන් කිසිවෙකු කෙරෙහි ස්නේහයක් නොවීය. යමෙකුට යම් යම් සම්පත් ලබාදීම මවුපියන් විසින් කළ හැක්කක් නොවෙයි. එය මේ සත්ත්වයන්ගේ අභ්‍යන්තරයෙහි පවත්නා සිත මනා ලෙස පිහිටුවා ගැනීම මත පවතී, ඒ මනා සිතින්ම ලබා දෙන්නේයයි වදාරා මේ ගාථාවද වදාළහ.

මනා ලෙස වැඩූ සිත

සගමොක් සුව ලබා දෙයි

ඒ සැපත ගෙන දීමට

මව පියා හෝ අනික් නෑයෝ

කිසිවිට සමත් නොවෙතී

මනා සිතමයි එය කරන්නේ

එහි න තං යනු එම කරුණ මව කර නොදෙයි, පියා හෝ අන් නෑයෝද කර නොදෙති. සම්මාපණිහිතං යනු දශකුශලකර්මපථයන්හි මනාකොට තබාගත් සිතයි. සෙය්‍යසො නං තතො කරෙ යනු ඒ කාරණයෙන් ශ්‍රේෂ්ඨතම වරතර උත්තරීතර ලෙස කරන්නේය. කරයි යන අර්ථයි. පුතුන්ට වස්තු සම්පත් දෙන මවුපියෝ එකම ආත්මභාවයක් වැඩ නොකර සැපසේ ජීවිතය පවත්වාගෙන යෑමට සෑහෙන ධනයක් දීමට සමත් වෙති. විශාඛාවගේ මවුපියෝත් එතරම් මහත්ධන මහා සම්පතුන් වුවද එකම ආත්මභාවයක් සැපසේ ජීවත්වීමට තරම් ධනයක් දුන්හ. චාතුර්මහාද්වීපවල සක්විති සැප ලබාදීමට සමත් මවුපියෝ දූපුතුන්ට හමු නොවෙති. පළමුකොටම දිව්‍ය සම්පත් හෝ ප්‍ර‍ථමධ්‍යානාදි සම්පත් හෝ ලෝකෝත්තර සම්පත් දීමේ කථාවක්ම නැත. මැනවින් පිහිටුවාගත් සිත මේ සියලු සම්පත් ලබාදීමට සමත් වෙයි. එහෙයින් සෙය්‍යසො නං තතො කරෙ යයි කියා තිබේ.

දේශනාවසානයෙහි බොහෝ අය සෝවාන් ආදි ඵලවලට පැමිණියහ. දේශනාව මහාජනයාට සාර්ථකවීය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll