178. "බුද්ධ පූජාව" අස්කිරිමෙන් පසු ඵය සතුන්ට දීමෙන් පවක් වෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුද්ධ පූජාව අස්කිරිමෙන් පසු ඵය සතුන්ට දීම - ඒකෙන් අපිට පවක් අකුසලයක් වෙනවා ද?

A. ඔබේ ඒ ක්‍රියාව පූජාසනය/මලසුන පිරිසිදු කිරීමේ අදහසින් ම හා ඉවත ලන දෙය නිකරුනේ විනාශ වීන්මෙන් වලක්වා සතුන්ට අහාර දීමෙන් ලැබෙන පිං අත්කර ගැනීමේ අදහසින්ම දිගටම කරගෙන යන්න.

ඇතැමුන් මෙය කිරීම වරදක් බව කසිභාරද්වාජ සූත්‍රය ගුරුකොට ගනිමින් දක්වතත්, ඉන් අදහස් වනුයේ තථාගතයන් වහන්සේ විසින් කරුණු-කාරණා ඇතිව ප්‍රතික්ෂේප කරන ලද දානය [පූජාව(න්)] වෙනත් කෙනෙකුට නොදිය යුතු බවක් හා මැනවින් ජීරණය නොවන නිසාවෙන් විය යුතුය.
"... තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් ගාථා කී නිසා කසීභාරද්වාජ බ්‍රාහ්මණයා පිළිගැන්වූ භෝජනය ද නො පිළිගත් සේක."
කසීභාරද්‌වාජ සූත්‍රය තුළ අදාළ කොටස - ‘‘අථ කස්‌ස චාහං, භො ගොතම, ඉමං පායසං දම්‌මී’’ති?
භවත් ගෞතමයන් වහන්ස, එසේ වත් ම මෙ පායාසය මම් කවරකුහට දෙම් දැ? යි.
‘‘න ඛ්‌වාහං තං, බ්‍රාහ්‌මණ, පස්‌සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්‌මකෙ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය, යස්‌ස සො පායසො භුත්‌තො සම්‌මා පරිණාමං ගච්‌ඡෙය්‍ය, අඤ්‌ඤත්‍ර තථාගතස්‌ස වා තථාගතසාවකස්‌ස වා. තෙන හි ත්‌වං, බ්‍රාහ්‌මණ, තං පායසං අප්‌පහරිතෙ වා ඡඩ්‌ඩෙහි අප්‌පාණකෙ වා උදකෙ ඔපිලාපෙහී’’ති.
බමුණ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ දෙවිමිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍ර‍ජායෙහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හො විනා යමකු විසින් ඒ පායාසය වළදන ලද්දේ මොනොවට පරිණාමයට යේ නම්, එබන්දකු නො දක්මි. බමුණ, එකරුණින් තෝ ඒ පායාසය නිල්තණ නැති බිමෙක් හෝ දමව. (එයින් නැසෙන) ප්‍රාණීන් රහිත දියෙහි හෝ උල්පවාලවයි."

A. "විහාරාදියෙහි බුදුන් වහන්සේ උදෙසා පූජාකර ඇති ආහාරපානාදියට කුමක් කළ යුතු ද?

තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු උභතෝ සංඝයා ගේ මධ්‍යයෙහි සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා ප්‍ර‍තිමා වහන්සේ ඉදිරිපිට පාත්‍ර‍යක් තබා පළමුවෙන් සියල්ල තථාගතයන් වහන්සේට පුදා සංඝයාහට දන් දීම් වශයෙන් පළමුවන සාංඝික දානය දිය හැකි බව දක්වා එහිදී බුදුන් වහන්සේ උදෙසා පිදූ ආහාර පානාදියට කළ යුතු දෙය දක්‍ෂිණා විභංග සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ විස්තර කර තිබේ.

තත්ථ යං සත්ථු දින්නං තං කිං කාතබ්බන්ති? යො සත්ථාරං පටිජග්ගතිවත්ත සම්පන්නො භික්ඛු තස්ස දාතබ්බං. පිතුසන්තකං හි පුත්තස්ස පාපුණාති භික්ඛුසංඝස්ස දාතුම්පි වට්ටති. සප්පි තෙලානි පන ගහෙත්වා දීපා ජාලිතබ්බා. සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බාති.

“එහි බුදුන් වහන්සේට යමක් පුදන ලද නම් එයට කුමක් කළ යුතුද? යම් වත්තසම්පන්න භික්ෂුවක් බුදුන් වහන්සේට උපස්ථාන කෙරේ නම් ඒ භික්ෂුවට දිය යුතු ය. පියාට අයිති දෙය පුත්‍ර‍යාට පැමිණෙන බැවින් භික්ෂු සංඝයාහට දෙන්නට ද වටනේ ය. තෙල් හා ගිතෙල් ගෙන පහන් දැල්විය යුතු ය. වස්ත්‍ර‍ ගෙන කොඩි එසවිය යුතුය” යනු එහි තේරුම ය.

විහාරාදියට ගෙන ගොස් පුදා ඇති ආහාර පානාදිය ගැන පිළිපැදිය යුතු සැටි ද මේ අටුවා පාඨය අනුව කිය යුතු ය. විහාරයෙහි වත් කරන භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. නිබඳ වත් කරන භික්ෂුවක් එහි නැති නම් පැමිණි භික්ෂුවක් විසින් වත් කොට ඒවා ගත යුතු ය. වත් කොට ගැනීමට කල් මඳ නම් ගෙන පසුව වත් කළ යුතු ය. වත් කරන අයට ඒවා වුවමනා නැති නම් පියා සතු දෙය පුතුන්ට හිමි බව සලකා කැමති භික්ෂුවක් විසින් ඒවා ගත යුතු ය. ගන්නා භික්ෂුවක් නැති කල්හි වත් කරන ගිහියකුට වුව ද ගැනීමෙන් වරදක් නො විය හැකි ය.

පූජාසන පවිත්‍ර‍ කරනු පිණිස පිදූ ආහාරපාන ඒ තැන්වලින් ඉවත් කළ යුතු ම ය. අහක දැමිය යුතු වන ඒ ආහාර පානයන් වත් කරන්නවුන් නො ගනිත් නම් කවරකු විසින් වුව ද ගැනීමෙන් පාපයක් නො විය හැකි ය. ඉවත ලද බුද්ධ පූජාව අනුභව කරන දුගී මගී යාචකාදීන්ට එයින් පාපයක් නො වේ. විහාරයෙහි චෛත්‍යයෙහි බෝධියෙහි ප්‍රයෝජනයට යෙදිය හැකි යමක් වේ නම්, ඒ සඳහා ම යෙදිය යුතු ය. වත් කරන්නවුන් විසින් වුව ද නො ගත යුතු ය. බුද්ධ සන්තක වස්තුව සොරකම් කිරීම ඉමහත් පාපයෙකි.

විහාරාදියෙහි වත් කරන්නවුන්ට බුදුන් වහන්සේ උදෙසා පුදන ආහාර පාන ගැනීමෙන් වරදක් නැතත් ඒවා නො ගෙන වත් කිරීම ම ප්‍ර‍ශංසනීය ය. බුදුනට ලැබෙන ප්‍ර‍ත්‍යය භුක්ති විඳීමෙන් වත් කිරීමෙහි එතරම් වටිනාකමක් නැත. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිපස් වසක් ම තථාගතයන් වහන්සේට උපස්ථාන කළහ. උන් වහන්සේ බුදුනට ලැබෙන කිසිම ආමිෂයක් නො පිළිගත්හ. උන්වහන්සේ උපස්ථායක තනතුර පිළිගත්තේ ද බුදුන් වහන්සේට ලැබෙන ප්‍ර‍ණීත චීවර පිණ්ඩපාත නො පිළිගැනීමේ වරය බුදුන් වහන්සේගෙන් ලබා ගෙන ම ය. විහාරාදියෙහි වත් කරන ඒවා රැක බලාගෙන ඉන්නා භික්ෂූන් වහන්සේලා ආනන්ද ස්ථවිරයන් ගේ චරිතය ආදර්ශයට ගනිත්වා!

බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන ප්‍ර‍ත්‍යය බුද්ධ පුත්‍ර‍යන් වශයෙන් භික්ෂූන්ට හිමි වතුදු “ධම්ම දායාද මේ භික්ඛවෙ, භවථ. මා ආමිස දායාද” යනුවෙන් භික්ෂූන් තථාගතයන් වහන්සේ ගේ ආමිෂයට උරුමක්කාරයන් නො වී ධර්‍මයට උරුමක්කාරයන් වීම යහපත් බව තථාගතයන් වහන්සේ විසින් ධර්‍මදායාද සූත්‍රයෙහි වදාරා ඇති බැවින් ද, ඒ සූත්‍රයෙහි ම තථාගතයන් වහන්සේ දන් වළඳා අවසානයෙහි ඉතිරි වී ඉවත ලන්නට තිබෙන ආහාර වළඳා සාගින්න නිවාගෙන ඒ දිනයෙහි මහණ දම් පුරන භික්ෂුව ය, එය නො වළඳා ඒ දවස නිරාහාරයෙන් වෙසෙන භික්ෂුවය යන දෙනම ගෙන් තථාගතයන් වහන්සේ ගේ භුක්තාවශේෂය නො වළඳා ඉන්නා භික්ෂුව ප්‍ර‍ශංසනීය බව වදාරා ඇති බැවින් ද සියලු භික්ෂූන් විසින් බුදුනට ලැබෙන ප්‍ර‍ත්‍යය භුක්ති විඳීමෙන් වැළකී දිවි පවත්වා ගැනීම ම යහපත් බව කිව යුතු ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll