"සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්‍ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුන පසු ඇති නො වේ. එමෙන් ඇතැම් හේතූන් ගේ ඵලය හේතුව විද්‍යමාන කාලයෙහි ම මිස හේතුව නැති වූ පසු ඇති නො වේ. ඒ න්‍යාය අනුව නම් “නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇති වන්නේ කෙසේ ද?” යන ප්‍රශ්නය නැගිය යුතු ය. අඹ ඇටයක් රෝපණය කළ කල්හි අඹ ඵල ඇති වන්නේ රෝපණය කළ අඹ ඇටය දිරා විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුව ය. විද්‍යමාන අඹ ඇටයකින් කිසි කලෙක අඹ ඵලයක් හට නො ගනී. එමෙන් ඇතැම් හේතූන්ගෙන් ඵලය ඇති වන්නේ හේතුව නිරුද්ධ වී බොහෝ කලක් ගත වූ පසු ය. කර්මයත් ඒ ගණයට අයත් හේතුවකි. සියලු ම කර්මයන් තම තමන් ගේ විපාකය ඇති කරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුව ය. විද්‍යමාන කර්මයකින් කවර කලෙක වත් ඵලයක් ඇති නො වේ. විද්‍යමාන ක්ෂණයෙහි ඵලය ඇති නො කිරීම කර්මවල ස්වභාවය ය.
නිරුද්ධ වූ කුශලාකුශල කර්‍මවලින් බොහෝ කල් ගත වී ඵල හට ගැනීම ඉතා ගැඹුරු කරුණෙකි. කෙනකු අනිකකුගෙන් ණයක් ගන්නා කල්හි ණය ගැනීම වූ ක්‍රියාව අනිකා දෙන දෙය අතට ගන්නවාත් සමග කෙළවර වේ. ඉන් පසු ණය ගැනීම් ක්‍රියාව නැත. එහෙත් ණය ගත් නිසා ගත්තා වූ තැනැත්තා කෙරෙහි ණය ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ඉතිරි වේ. එබැවින් ණය ගත් තැනැත්තා එය ගෙවන තුරු ම ණයකාරයෙක්ව සිටී. ඔහුට හිමිවී ඇති ඒ ණයකාර ස්වභාවය නැති වන්නේ ණය ගෙවූ පසු ය. ණයක් ගත් කල්හි නැවත ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ණය ගැතියා ගේ සන්තානයෙහි ඉතිරි වන්නාක් මෙන් ම කර්මය කළහොත් එය නිරුද්ධ වුව ද අනාගතයෙහි විපාක ඇති වීමට හේතු වන එක්තරා ස්වභාවයක් කර්මය කළ තැනැත්තා ගේ සන්තානයෙහි ඉතිරි වේ. සියලු ම කර්ම නිරුද්ධ වන්නේ කර්මකාරී පුද්ගලයා ගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට හේතුවන එක්තරා ස්වභාවයක් ඉතිරිකොට ය. ඒ ස්වභාවය ඉතිරි වී ඇති නිසා අවස්ථාවක් පැමිණි කල්හි ඒ ඒ කර්ම තමා ගේ විපාකය ඇති කෙරේ. විපාකය ඇති කළ හැකි එක්තරා ආකාරයකින් පැවැත්ම කර්මවල එක්තරා ස්වභාවයකි. ණය ගත් තැනැත්තාට හිමිවන ණයගැතිකම අසවල් තැන අසවල් ආකාරයෙන් තිබෙනවාය කියා නො දැක්විය හැකි ය. එහෙත් එය නැත්තේ නො වේ. එමෙන් නිරුද්ධ වූ කර්මවල මතු විපාක ඇති වීමට හේතුවන එක්තරා ස්වභාවයක් සත්ත්වසන්තානයෙහි ඉතිරි වී ඇතත් එය අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතය කියා නො දක්විය හැකි ය. කිය හැක්කේ ඇති බව පමණෙකි."