536. හරි උපාසකයා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුද්ධ සාසනයේ "උපාසක" වීමට අවශ්‍ය "අවම" සුදුසුකම් මොනවාද? සරණගමනය පමණද? පංච ශීලය ආර්යකාන්තව රැකිය යුතුමද?

A / R. “ස්වාමීනි, කොපමණකින් උපාසකයෙක් වෙයිදැයි” (ඇසීය.)“මහානාමය, යම් වේලාවක පටන් බුදුන් සරණ ගියේ වෙයිද, ධර්මය සරණ ගියේ වෙයිද, සංඝායා සරණ ගියේ වෙයිද මහානාම, එතැන් පටන් උපාසකයෙක් වේයයි” (වදාළහ.)

“වහන්ස, කොපමණකින් වනාහි උපාසක තෙම සීලයෙන් යුක්ත වෙයිද?”
“මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම, මෙපමණකින් උපාසක තෙම සිල්වතෙක් වෙයි.”

“වහන්ස, කොපමණකින් උපාසකතෙම සැදැහැවතෙක් වෙයිද?”
“මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම මේ මේ කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්‍ය්‍ය සත්‍යය අවබොධ කළසේක. භාග්‍යවත්හ යනුවෙන් සැදැහැ ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුදුබව අදහයිද, මහානාම, මෙපමණකින් උපාසකතෙම සැදැහැයෙන් යුක්තවූවෙක් වෙයි”

“වහන්ස, කොපමණකින් උපාසක තෙමේ ත්‍යාගයෙන් යුක්තවූවෙක් වෙයිද?”
“මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම ත්‍යාගය පිණිස මුදනලද සිත් ඇත්තේ පිරිසිදු කරනලද අත් ඇත්තේ දීමෙහි ඇලුනේ ඉල්වීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ පහවූ මසුරුමල ඇති සිතින් ගිහි ගෙයි වාසය කරන්නේද මහානාමය, මෙපමණකින් උපාසක තෙම ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයි.”

“වහන්ස, කොපමණකින් වනාහි උපාසකතෙම නුවණ ඇත්තෙක් වූයේ වෙයිද?”
“මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම තියුණු අවබෝධයෙන් යුත් මනාකොට සියලු දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම නැතිවීම දක්නා නුවණින් යුක්තවූ නැණවතෙක් වෙයිද, මහානාම, මෙපමණකින්ම උපාසක තෙම නුවණින් යුක්තවූවෙක් වේයයි” වදාළේය.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll