790. ජෝතිෂ්‍ය ඇත්තක් ද? බොරුවක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජානන් වහන්සේ ජ්‍යෝතිශ්‍ය පිලිබදව දැක්වූ මතය කුමක්ද?
එවැනි දේ විශ්වාස කරන්න එපා කියලද උන්වහන්සේ දේශනා කලේ?

A / R. "සත්ත්වයන් ගේ නානත්වයට හා ඔවුන් ලබන සැප දුක්වලට හේතුව කර්‍ම බලය ද? ග්‍ර‍හ බලය ද?

මන්දායුෂ්කයන් වීම, දීර්ඝායුෂ්කයන් වීම, රෝග බහුලයන් වීම, නීරෝගීන් වීම, විරූපීන් වීම, රූමතුන් වීම, අල්පේසාක්‍යයන් වීම, මහේසාක්‍යයන් වීම, ධනවතුන් වීම, දිළින්දන් වීම, කුලවතුන් වීම, කුලහීනයන් වීම, නුවණැතියන් වීම, මෝඩයන් වීම යනාදීන් සත්ත්වයන් භේදයට පැමිණීමේ හේතුව අතීත කර්මය බව තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. උපන් සත්ත්වයනට කලින් කල - වරින් වර නොයෙක් ආකාර සැප සම්පත් හා දුක් - විපත් ද කර්මය හේතු කොට ලැබෙන බව බුදු දහමෙහි දැක්වේ.

රජුන් වීම, යුවරජුන් වීම, සෙන්පතියන් වීම, ඇමතියන් වීම, සිටුවරුන් වීම, වෙළඳුන් වීම, ගොවියන් වීම, කම්කරුවන් වීම, පැවිද්දන් වීම, උගතුන් වීම, නූගතුන් වීම, නුවණැතියන් වීම, මෝඩයන් වීම, වෛද්‍යයන් වීම, දෛවඥයන් වීම, නළුවන් වීම, ගත් කතුවරුන් වීම, ශාස්ත්‍ර‍ නිපදවන්නන් වීම, මෙත් කුළුණු ඇතියවුන් වීම, නපුරන් වීම, ධනවතුන් වීම, ඉඩම් හිමියන් වීම, රථවාහන හිමියන් වීම, යාචකයන් වීම, භාර්‍ය්‍යා ඇතියන් වීම, භාර්‍ය්‍යා නැතියන් වීම, දරු ඇතියන් වීම, දරු නැතියන් වීම, ප්‍රාණඝාතකයන් වීම, සොරුන් වීම, පාරදාරිකයන් වීම, බොරුකාරයන් වීම, සුරාසොඬුන් වීම, ස්ත්‍රීන් වීම, පුරුෂයන් වීම, නපුංසකයන් වීම, අංගවිකලයන් වීම, උම්මත්තකයන් වීම, කුෂ්ඨරෝගීන් වීම, දන් පින් කරන්නවුන් වීම, මසුරන් වීම යනාදීන් සත්ත්වයන් අනේකාකාරයෙන් ප්‍රභේදයට පැමිණීමේ හේතුව ග්‍ර‍හබලය බව ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ දැක්වේ. කලින් කලට සත්ත්වයාට නොයෙක් ආකාර සැප දුක් ලැබීමේ හේතුවත්, සත්ත්වයා විසින් හොඳ නරක නොයෙක් වැඩ කරන්නට පටන් ගැනීමේ හේතුවත් ග්‍ර‍හ බලය ම බව ද ජ්‍යෝතිශ්ශාස්ත්‍රයේ දක්වයි.

හොඳින් වැවී ඇති ගොයකමක් ගැන කථා කිරීමේ දී ඒ ගොයම හොඳින් වර්ෂාව ලැබීම නිසා එසේ වැවී ඇත්තේය යි ද කිය හැකි ය. ගොවියා ගේ හොඳින් වැඩ කිරීම නිසා එසේ වැවී ඇත්තේය යි ද කිය හැකි ය. බිමෙහි සරු බව නිසා එසේ වැවී ඇත්තේය යි ද කිය හැකි ය. ඒ කරුණු තුනෙන් එකක්වත් ප්‍ර‍තික්ෂේප නො කළ හැකි ය. එමෙන් සත්ත්වයන් ගැන කථා කිරීමේ දී අතීත කර්මය සත්ත්වයන් ගේ නානත්වයට හේතුව වශයෙන් ද කිය හැකි ය. ග්‍ර‍හබලය සත්ත්වයන් ගේ නානත්ත්වයට හේතුව වශයෙන් ද කිය හැකි ය. ඒ දෙකින් එකකදු ප්‍ර‍තික්ෂේප නො කළ හැකි ය.

ගොයම වැඩීමට හේතු වන වැස්සත් අපට පෙනෙන්නේ ය. ගොවියා වැඩ කරනවාත් අපට පෙනෙන්නේ ය. බිමේ සරුබවත් අපට දැකිය හැකිය. එබැවින් ඒ කරුණු තුන ම ගොයම වැඩීමේ හේතු වශයෙන් අපට ලෙහෙසියෙන් ම තේරුම් ගත හැකි ය. කර්‍මබලය හා ග්‍ර‍හබලය එසේ නො වේ. සත්ත්වයකු ගේ අතීත කර්‍ම අපට පෙනෙන්නේ නො වේ. ග්‍ර‍හයන් පෙනෙතත් ග්‍ර‍හබලයෙන් යම් කිසිවක් සිදුවන බවක් අපට පෙනෙන්නේ නො වේ. එබැවින් ඒ කරුණු දෙක ම ගැඹුරු කරුණු දෙකකි.

ලෝකයෙහි මනුෂ්‍යයන්ට සැප දුක් ඇති කරන ඇසට නො පෙනෙන ‘කොහි තිබෙනවා ද කෙසේ තිබෙනවා ද’ කියා දැන ගත නොහෙන හේතු කොටසකුත් ඇති බව නුවණින් ලෝතතු සලකා බලන්නකුට දත හැකි ය. පරෙස්සම් නො වීම රෝග හට ගැනීමේ හේතුවක් බව කවුරුත් දනිති. සමහර කෙනකුට කෙසේ පරෙස්සම් වුවත් නිරෝගීව වාසය කරන්නට නො ලැබෙන බවත්, සමහර කෙනකුට කිසිම පරෙස්සමක් නැතිව නිරෝගීව බොහෝ කලක් ජීවත් විය හැකි බවත්, නුවණින් ලෝකය දෙස බලත හොත් දැකිය හැකි වනු ඇත. ලබා ගත් මිල මුදල් ආදි දේවල් සමහර කෙනකුට කොහොමවත් පරෙස්සම් කරගත නො හැකි බවත්, සමහර කෙනකුට අයත් දේවල් පරෙස්සම් නො කළත් රැකෙන බවත් දත හැකි වනු ඇත. සමහර කෙනකුන් වරද නො කර කෙසේ පරෙස්සම් වී සිටියත් අපකීර්තියට පත් වන බවත්, එබඳු අය ගේ නිවරද පවා වරද වශයෙන් ගෙන අන්‍යයන් ගර්හා කරන බවත්, සමහර දෙනකුන් නොයෙක් පව්කම් කරමින් ම කීර්තිමත්ව වෙසෙන බවත්, එබඳු අය කරන පව් පවා ලෝකයා හොඳ සැටියට සලකන බවත් නුවණින් ලෝකය දෙස බලතහොත් දැකිය හැකි වනු ඇත.

මාපියන් විසින් බොහෝ වියදම් කොට පාසල් යැවූ නමුත් මොනම දැන උගත්කමක්වත් නැතිව මෝඩයන් ලෙස ඉන්නා අයත්, උපකාර කාරයන් නැතිකමින් විද්‍යාස්ථානයකට ඇතුළුව උගෙනීමක් නො ලබා ම මහ පඬිවරයන් වී ඉන්නා අයත් ලෝකයෙහි ඇත්තාහ. මාපියාදීන්ගෙන් බොහෝ වස්තුව ලබා ද දිළිඳුව ඉන්නා අයත්, කිසිවකුගෙන් කිසිම උදව්වක් නො ලබා ම මහ දනිසුරන් වී ඉන්නා අයත් ලොව ඇත්තාහ. උත්සාහය ධනවත් වීමේ හේතුවක් ලෙස සැම දෙනා ම පිළිගන්නාහ. සමහරු ධනවත් වීමට බොහෝ උත්සාහ කෙරෙති. එහෙත් ඔවුනට ඒ අදහස මුදුන්පත් කරගත හැකි නො වේ. මහත්වූ උත්සාහයෙන් යමක් ලබා ගත්තත් එය කවරාකාරයකින් හෝ ඔවුන්ගෙන් නැති වන්නේ ය. අනිකකු විසින් ධනය දුන්නත් එය ඔවුන් වෙත නො රැඳේ. සමහරු උත්සාහයක් නැතිව ම ධනවත් වෙති. මේ ආදි කරුණු ගැන සලකා බලතහොත් මනුෂ්‍යයන් හට සැප දුක් ලබා දෙන නො පෙනෙන හේතු කොටසකුත් ඇති බව තේරුම් ගත හැකි ය. කර්‍මබලය - ග්‍ර‍හබලය යන දෙක ම ඒ නො පෙනෙන හේතුවලට අයත් ය. සත්ත්වයන් ගේ නානත්වයට හා ඔවුන් ලබන සැප දුක්වලට හේතු සෙවූ බුද්ධාදීහු කර්‍මබලය පැවසූහ. එය ගැන සෙවූ ඇතැම් සෘෂීහු ග්‍ර‍හ බලය දුටහ.

‘කර්‍මය කුමක් ද’ යන බව මෙහි කලින් කියා ඇත. ග්‍ර‍හබලය ගැන මෙහි විස්තරයක් කලින් කර නැත. මේ ප්‍ර‍ශ්නය විසඳීමේ දී ‘ග්‍ර‍හබලය යනු කුමක් ද’ යන බව දැක්විය යුතු ය. රවි - චන්ද්‍ර‍ - කුජ - බුධ - ගුරු - ශුක්‍ර‍ - ශනි කියා ග්‍ර‍හ නාමයෙන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි හඳුන්වන අහසෙහි හැසිරෙන වස්තු සතක් ඇත්තේ ය. නැකත් නාමයෙන් හඳුන්වන තවත් තාරකා සමූහයක් ද ඇත්තේ ය. රාශි නාමයෙන් හඳුන්වන තවත් කුඩා තාරකා මහත් සමූහයක් ද ඇත්තේ ය. ඒ සියල්ලෙහි ම ඇති බලයට සාමාන්‍යයෙන් ග්‍ර‍හ බලය යි කියනු ලැබේ. අහසෙහි හැසිරෙන්නා වූ ඒ වස්තූන්ගෙන් නික්මෙන ආලෝක ධාරා පොළොවට වැටෙන්නේ ය. ඒ ආකාශ වස්තූන් ගේ හැසිරීම අනුව ඒවායේ රශ්මි ධාරා පොළොවට නොයෙක් ආකාරයෙන් වැටෙන්නේ ය. ග්‍ර‍හයන්ගෙන් ද, නැකත්වලින් ද, රාශි තාරකාවලින් ද පොළොවට එන රැස්වල එකිනෙකට වෙනස් නොයෙක් ගුණ ඇත්තේ ය. ඒවායේ සංයෝගයෙන් තවත් නොයෙක් ගුණ ඇති වන්නේ ය. ග්‍ර‍හරශ්මි සංයෝගයෙන් වන ගුණයන් අනුව ඒ ඒ ගුණ ඇති කාලයන්හි පොළොවෙහි උපදින තැනැත්තා රජෙක් ද වන්නේ ය. සෙන්පතියෙක් ද වන්නේ ය. සිටුවරයෙක් ද වන්නේ ය. පැවිද්දෙක් ද වන්නේ ය. ශාස්ත්‍ර‍ඥයෙක් ද වන්නේ ය. මෝඩයෙක් ද වන්නේ ය. අන්ධයෙක් ගොළුවෙක් බිහිරෙක් කොරෙක් කුදෙක් ද වන්නේ ය. තවත් නොයෙක් ආකාර ද වන්නේ ය. මෙය සත්‍යයක් බව ඒ ඒ අයගේ කේන්ද්‍ර‍ පරීක්‍ෂා කිරීමෙන් දත හැකි ය. ග්‍ර‍හයන් ගමන් කිරීමේ දී වෙනස් වෙනස් වී පොළොවට වැටෙන ග්‍ර‍හරශ්මිවල සැටියට කලින් කල පුද්ගලයා වෙනස් වෙනස් ලෙස සැපදුක් ලබන්නකු වන බව ද, හොඳ නරක වැඩ කරන්නකු වන බව ද කේන්ද්‍ර‍ පරීක්‍ෂා කිරීමෙන් දත හැකි ය.

ග්‍ර‍හබලය සත්ත්වයන් ගේ නානත්ත්වයට හා සැප දුක්වලට හේතු වේ නම්, බුදුන් වහන්සේ “කම්මස්සකා මානව සත්තා කම්මදායාද කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණා කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණිතතාය” යි “කර්මය සත්ත්වයන් ගේ නානත්වයට හේතුව” බව වදාළේ මක්නිසාද? යන ප්‍ර‍ශ්නය මෙහි දී නඟින්නේ ය. බුදුන් වහන්සේ එසේ වදාළේ ඒ බල දෙකින් කර්ම බලය ම ප්‍ර‍ධාන වන බැවිනි. බීජය - පස - වතුර - පෝර යන මේ සියල්ල ම ගස ඇතිවීමේ හේතු ය. එහෙත් පස - වතුර - පෝර යන මේවාට බීජයක් නොමැති නම් ගසක් ඇති නො කළ හැකි බැවින් ගස ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව බීජය බව කිය යුතු ය. එබැවින් බීජයෙන් ගස ඇති වන්නේය’ යි කියනු ලැබේ. එමෙන් රාජාදි නොයෙක් ආකාර පුද්ගලයන් උපදනා ග්‍ර‍හ යෝග කොතෙක් ඇති වුවත් කර්මයක් නො මැතිව ග්‍ර‍හ බලය ම පුද්ගලයකු ඉපදවීමට සමත් නො වේ. කර්මානුරූපව උපදනා සත්ත්වයන් නැති කල්හි උසස් පහත් පුද්ගලයන් ඉපදීමට සුදුසු ග්‍ර‍හයෝග කොතෙක් යෙදුනත් පුද්ගලයකුගේ ඉපදීමක් සිදු නො වීම ඒවා ඉක්ම යන්නේ ය. එබැවින් කර්මය ම සත්ත්වයන් ඉපදීමේ ප්‍ර‍ධාන හේතුව බව කිය යුතු ය. බුදුන් වහන්සේ කර්මය සත්ත්වයන් ගේ නානත්වයට හේතුව බව වදාළේ එහෙයිනි.

බීජයට ගසක් ඇති කිරීමට පස වතුර පෝර යන මේවායේ උපකාරය වුවමනා වන්නාක් මෙන් ම කර්‍මයට ද රාජාදි පුද්ගලයන් ඇති කිරීමට ග්‍ර‍හයෝගවල උපකාරය වුවමනා ය. එබැවින් රජකමක් ලබා දෙන කර්මයෙන් ඒ කර්මය කළ තැනැත්තා රජුන් ඉපදීමට සුදුසු ග්‍ර‍හයෝග ඇති වේලාවක දී උපදවනු ලැබේ. ඇමතියන් සෙන්පතියන් හේවායන් ධනවතුන් දුප්පතුන් නුවණැතියන් මෝඩයන් රූ ඇතියන් විරූපීන් උපදවන කර්මවලින් ද ඒ ඒ කර්ම කළ අය ඒ ඒ ග්‍ර‍හයෝග ඇති කාලවල දීම උපදවනු ලබන්නාහ. උපන් සත්ත්වයාහට වරින් වර ලැබෙන සැපදුක් වලටත් කර්මය - ග්‍ර‍හබලය යන දෙක ම හේතු වේ. හොඳ ග්‍ර‍හ යෝග යෙදෙන කාලවල දී කුශල කර්මයෝ විපාක දෙති. එයින් සැප ලැබේ. නරක ග්‍ර‍හයෝග ඇති කාලවල දී අකුශල කර්මයෝ විපාක දෙති. එයින් දුක ලැබේ. ඇතැම් ග්‍ර‍හයෝග නිසා සත්ත්වයා ගේ පවට නැමී පව්කම් කරන්නට පටන් ගනී. ඇතැම් ග්‍ර‍හයෝග නිසා සත්ත්වයා ගේ සිත පිනට නැමී පින් කරන්නට පටන් ගනී. මිනිසා කලින් කල පව් කරන්නට පටන් ගන්නේ මේ ග්‍ර‍හයෝග නිසා ය. මෙසේ කීමෙන් “මිනිසුන් විසින් පින් පව් කිරීමේ හේතුව ග්‍ර‍හ බලය ම ය” යි ද නො ගත යුතු ය. යෝනිසෝ මනස්කාර අයෝනිසෝ මනස්කාර සත්පුරුෂ සේවන අසත්පුරුෂ සේවන සද්ධර්මශ්‍ර‍වණ පාපධර්මශ්‍ර‍වණාදි පින් පව් කිරීමේ තවත් බොහෝ හේතු ඇත්තේ ය. කර්මබල ග්‍ර‍හබල දෙක ගැන දත යුතු තවත් බොහෝ කරුණු ඇත්තේ ය. ලිපිය දික්වන බැවින් මෙතෙකින් නවත්වන ලදි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll