689. හිංසා, විහිංසා හා අවිහිංසා යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. හිංසා, විහිංසා හා අවිහිංසා සංකල්ප යනු මොනවාද ?

A. “අවිහිංසා සංකල්පය.
දුඃඛිත සත්ත්වයන් දුකින් මුදවනු කැමති බව වූ කරුණාව හා යුක්ත වූ කල්පනාව අවිහිංසා සංකල්ප නමි. මෙය අන්‍ය සත්ත්ව පුද්ගලයන්ට හිංසා කරන ස්වභාවය වූ ද්වේෂය හා යුක්ත වූ විහිංසා විතර්කයට ප්‍ර‍තිවිරුද්ධ වූවකි. මෙය උපදනා කල්හි තදංග වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ විහිංසා විතර්කයාගේ හේතුව නසමින් උපදනේ ය. මෙය දුඃඛිතයනට උපකාර කිරීම ය, කරුණා භාවනාවෙහි යෙදීම ය, විහිංසාවෙහි ආදීනව සැලකීම ය යනාදියෙන් සන්තානයෙහි නැවත නැවත උපදවා දියුණු කොට ලෝකෝත්තරත්වයට පමුණුවා ගත යුතු ය.”
https://pitaka.lk/books/chathurarya-sathya/12-3.html

“අවිහිංසා සංකල්පය :- යනු අන්‍යයන් දුකින් මිදවීම පිළිබඳ වූ කරුණා සහගත කල්පනාව ය. අන්‍යයන්ට දුක් දීම පිළිබඳ කල්පනාව විහිංසා විතර්ක නමි. අවිහිංසා සංකල්පය, විහිංසා විතර්කය දුරු කරන නසන විහිංසා විතර්කයට ප්‍ර‍තිපක්ෂ ධර්මයෙකි.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-2.html

“අවිහිංසා වේශයෙන් වඤ්චක ද්වේෂය.
කරුණාව හා කරුණා පූර්වභාවය අවිහිංසා නමි. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයකි. බලවතකු විසින් අයුතු අන්දමින් දුර්වලයකු පෙළනු දක්නා කල්හි සමහරවිට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. සර්පයකු විසින් මැඩියකු ගිලින කල්හි මැඩියා ගේ පක්ෂය ගෙන සර්පයාට පහර දෙනුයේ අවිහිංසා ප්‍ර‍තිරූපක ද්වේෂයෙනි. කාහට වුවත් පීඩාවක් කිරීම හිංසාව ම මිස අවිහිංසාව නොවේ. පක්ෂයක් ගෙන තවත් පක්ෂයකට පීඩා කරන ස්වභාවය ඇතැම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්නා ලැබෙන ස්වභාවයෙකි. ඔවුහු සතුන්ගේ පක්ෂය ගෙන මරන්නා වූ ද මස් කන්නා වූ ද මිනිසුන්ට නොයෙක් අයුරින් නින්දා කරමින් හිංසාවක් ම කරති. එයත් පක්ෂයකට කරන හිංසාවක් බව ඔවුනට නො වැටහේ. ඔවුන්ගේ අදහස එය ඔවුන් ගේ අවිහිංසාව ම ය කියා ය. සමහරු අති දුඃඛිත සත්ත්වයන් දුටු කල්හි දුකින් මුදවන්නටය කියා ඒ සතුන් මරා දමති. එද කරුණා ප්‍ර‍තිරූපක ද්වේෂයෙන් කරන වැඩෙකි. ද්වේෂයෙන් තොර ව ප්‍රාණ ඝාතය සිදු කළ නො හැකිය. අන්‍යයන්ට ගර්හා කරනු කැමති සමහරුන් කෙරෙහි ද කරුණා රූපයෙන් ද්වේෂය පහළ වේ. ඔවුහු කරුණාව නිසා කරන වැඩක් ලෙස අන්‍යයන්ට ගර්හා කරති.”
https://pitaka.lk/books/wanchaka-dharma/5-2.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll