854. රූපය පෙණ පිඬක් වැනි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රූපය පෙණ පිඩක් වැනිය ලෙස දේශනා කලේ කුමක් නිසාද?

A. ‘‘ඵෙණපිණ්ඩූපමං රූපං, වෙදනා බුබ්බුළූපමා (බුබ්බුලූපමා (සී.), පුබ්බුළොපමා (ක.));
මරීචිකූපමා සඤ්ඤා, සඞ්ඛාරා කදලූපමා;
මායූපමඤ්ච විඤ්ඤාණං, දෙසිතාදිච්චබන්ධුනා.”

“මහණෙනි. යම්සේ වනාහි මේ ගංගානදී තොමෝ මහත් පෙණපිඩු ගෙන එන්නේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ පෙණපිඩු දකින්නේය, බලන්නේය, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නේය. ඒ පෙණපිඩු දක්නාවූ බලන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හර නැත්තක්වම වැටහෙන්නේය.”

“මහණෙනි, පෙණපිඩ පිළිබඳව කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, එපරිද්දෙන්ම තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උසස්වූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද යම් රූපයක් වේද, දුරෙහි හෝ සමීපයෙහි හෝ යම් රූපයක් වේද, මහණතෙම ඒ රූපය දකියි, බලයි. නුවණින් නැවත නැවත පරීක්‍ෂා කර බලයි. ඒ රූපය බලන්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්‍ෂා කරන්නාවූ ඔහුට හිස්වූවක්වම වැටහෙන්නේය, ශූන්‍යවූවක්ම වැටහෙන්නේය, හරනැති වූවක්ම වැටහෙන්නේය.

“මහණෙනි, රූපයෙහි කිනම් හරයක් වන්නේද?
“මහණෙනි, යම්සේ වනාහි සරත් කාලයෙහි මහවැසි පොද ඇති වැසි වසින කල්හි දිය බුබුලු උපදීද, නැතිවේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ දිය බුබුලු දක්නේද, බලන්නේද, නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නේද, ඒ දිය බුබුල දක්නාවූ බලන්නාවූ නුවණින් නැවත නැවත පරීක්ෂා කරන්නාවූ ඒ පුරුෂයාහට ඒ දිය බුබුල හිස්වූවකැයිම වැටහෙන්නේය, ශූන්‍යවූවකැයිම වැටහෙන්නේය, හර නැත්තකැයිම වැටහෙන්නේය.

“මහණෙනි, දිය බුබුලේ කිනම් හරෙක් වන්නේද?
“මහණෙනි, එසේම වනාහි තමා පිළිබඳවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ අතීත අනාගත-වර්තමානවූ යම් වේදනාවක් වේද, දුරවූ හෝ ලඟවූ හෝ යම් වේදනාවක් වේද, මහණතෙම ඒ වේදනාව දකියි. බලයි. නුවණින් නැවත නැවත පරීක්ෂාකර බලයි. ඒ වේදනාව දකින්නාවූ, සිතන්නාවූ, නුවණින් නැවත නැවත පරීක්ෂා කොට බලන්නාවූ, ඔහුට හිස්වූවක්ම වැටහෙන්නේය, ශූන්‍ය වූවක්වම වැටහෙන්නේය, නිස්සාරවූවක්වම වැටහෙන්නේය."
https://pitaka.lk/main?n=2310110

A.  “මහන්තං පෙණපිණ්ඩං” යනු පැනනැගි තැනේදී ඩෙබර ඇටයක් හා සමාන වී පසුව අනුශ්‍රෝත ගමනයෙන් අනුපිළිවෙලින් වර්ධනය වී පර්වත කූටයක් පමණ වූ. යම්තැනක ජල සර්පාදී නොයෙක් ප්‍රාණීහු වාසය කරත්ද එබඳු වූ මහත් පෙනපිඬක් “ආවහෙය්‍ය” යනු ගෙනෙන්නේය යනුයි. ඒ මේ පෙනපිඬද නැගි නැගි තැන්හි බිඳෙයි. මද දුරක් ගොස් බිඳෙයි. නැතිනම් යොදුනක් දෙකක් හෝ ගොස් බිඳෙයි. ඇතැම් පෙනපිඬු අතරතුරදී නොබිඳීම මහමුහුද වෙත ගොස්, එහි දී අනිවාර්යයෙන්ම බිඳේ. “නිජ්ඣායෙය්‍ය” යනු බලන්නේය. සිතන්නේය යනුයි. “යොනිසො උපපරික්ඛෙය්‍ය” යන කරුණු හේතු සහිතව පරික්‍ෂා කර බලන්නේය යනුයි. “කිං හි භික්ඛවෙ ඵෙණපිණ්ඩෙ සාරො” යනු මහණෙනි, පෙණපිඬ හරයක් වන්නේ කෙසේද යනුයි. එය වියලී විනාශ වන්නේම ය.

“එවමෙව ඛො” යම්සේ පෙනපිඬ නිස්සාර වූවක් වේද එසේම රූපය ද නිත්‍ය-සාර-ස්ථිර ආත්මසාර වශයෙන් ගත නොහැකි නිසරු වූවක් ම ය. යම්සේ ඔහුට මේ පෙනපිඬ, පාත්‍රයක් හෝ තලියක් හෝ සාදාගන්නෙමියි ගත නොහැක. ගත්ත ද එම ප්‍රයෝජනය ඉටුකර ගත නොහැක. පෙනපිඬ බිඳෙන්නේමය. එසේම රූපය ද නිත්‍යය. ස්ථිරය. මමය, මාගේය වශයෙන් ගත නොහැක. එසේ එය නොසිටියි. රූපය අනිත්‍යය. දුක්සහගතය. අනාත්මය. අසුභයක්ම වේ. මෙසේ රූපය පෙණපිඬක් හා සමාන ම වේ. යම්සේ පෙණපිඬ කුඩා මහත් සිදුරුවලින් යුතුව - නොයෙක් සන්‍ධිවලින් ගටනා ලදුව, බොහෝ ජලජ ජීවීන්ට වාසස්ථානයක්ව පවතී ද එසේම රූපයත් කුඩාමහත් සිදුරු සහිතව, නොයෙක් සන්‍ධිවලින් ගටනා ලදුයේ වේ. කුල වශයෙන් පමණක් මෙහි අසූවක් පණු වර්ග වාසය කරති. එසේම ඔවුන්ගේ වදන ගෙයද, වැසිකිළිය ද, රෝහලද, සුසානයද වනුයේ මේ ශරීරයමයි. රූපයමයි. ඔවුහු අන් තැනක ගොස් ගැබින් බිහිවීම් ආදිය සිදු නොකරති. මෙසේ පෙණපිඬක් හා සමානය.

යම්සේ පෙනපිඬ ආරම්භයේදී ඩෙබර ඇටයක් වී පසුව අනුපිළිවෙලින් පර්වත කුටයක් පමණ වනුයේද මෙසේ රූපයත් මුලදී කලලයක් පමණ වී, පසුව අනුපිළිවෙලින් ආහාර ලැබ, බඹයක් පමණ ද ගව-මීහරක්-ඇත් ආදීන්ගේ වශයෙන් පර්වත කුටයක් පමණ ද වේ. මත්ස්‍ය-කැසුබු ආදීන්ගේ ශරීරයෙන් නොයෙක් යොදුන් සිය ගණනක් විශාල වේ. මෙසේ ද පෙනපිඬ හා සමානය. යම්සේ පෙනපිඬ හටගත් කෙණෙහි හෝ බිඳෙයි. ටිකදුරක් ගොස් හෝ බිඳෙයි. ඉතා දුර ගොස් හෝ මුහුදට පැමිණ අනිවාර්යයෙන්ම බිඳෙයි. මේ අයුරින් රූපය ද කලල අවස්ථාවේ බිඳී වැනසෙයි. අබ්බුද ආදී අවස්ථාවකදී හෝ නැතිනම් පරමායුෂ වූ වර්ෂ සීයක් ගතකර හෝ අනිවාර්යයෙන්ම බිඳී වැනසී යයි. මරණයේදී සුණුවිසුණුව යයි. මෙසේද පෙනපිඬක් හා සමානය."

[ඵෙණ පිණ්ඩූපම සූත්‍ර වණ්ණනාව, අටුවාවේ විස්තර කරන ආකාරයයි.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll