Q. 1. රූපය කියන්නේ මොකක් ද? 2. වර්ණ රූපය හා 3. ඕජා රූපය එකක් ද?
A / 1. "රූපය
රූප යනු නොයෙක් අර්ථයන්හි වැටෙන නාමයකි. බොහෝ සෙයින් රූප යන නම ව්‍යවහාර කරනුයේ ශරීරවලට ය. ශරීර යන නම ද ලෙව්හි බොහෝ සෙයින් ව්‍යවහාර කරනුයේ දෙව් මිනිස් ආදි ජීවීන්ගේ ශරීරවලට ය. මෙහි ශරීරය යි කියනුයේ දික් බව, කෙටි බව, වට බව, සතරැස් බව ආදි සටහන් ඇත්තා වූ ද, කුඩා බැව් මහත් බැව් ආදි ප්‍රමාණ ඇත්තා වූ ද, පැහැයක් ඇත්තාවූ ද, සත්ත්ව වූද, සත්ත්ව නොවූ ද, සියල්ලට ම ය. දෙවියා ගේ මිනිසාගේ තිරිසනා ගේ කය ද ශරීරයකි. ගලත් ගසත් වැලත් කොළයත් ගෙඩියත් ශරීරයෝ ම ය. ගින්නත් දියත් සුළඟත් අව්වත් ශරීරයෝ ම ය. චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියා මාත්‍ර ම වන බැවින් හා සමූහ වී සටහනක් නො දක්වන්නවුන් බැවින් ශරීර නැත්තෝ ය, චිත්ත චෛතසිකයන් ශරීර නැතියවුන් බව:
“දුරංගමං එකචරං - අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා”
යන තථාගත වචනයෙන් ද දැක්වේ. රූප පරමාර්ථ වූ පෘථිව්‍යාදීහු ක්‍රියා වුව ද බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම්කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් ද්‍රව්‍යයක් ඇති සේ දක්වන්නෝ ය. ලෝකයෙහි ද්‍රව්‍ය වශයෙන් හෙවත් ශරීර වශයෙන් සලකන සියල්ල ම පෘථිව්‍යාදි ධාතූන් ගේ සමූහයෝ ය. ද්‍රව්‍ය හෙවත් ශරීරය පරමාර්ථ වශයෙන් ඇතියක් නො වේ. ඇති සැටියට පෙනෙන ද්‍රව්‍යයක තතු සොයන්නකුට ඒවායින් සත්‍ය වශයෙන් ඇති දෙය සැටියට ලැබෙනුයේ පෘථිව්‍යාදි ධාතු සමූහයකි. ඒවා ද්‍රව්‍ය නො වතුදු ශරීර නො වතු දු ශරීරයන් සේ පෙනෙන බැවින් ශරීරයන් හැඳින්වීමට ව්‍යවහාර කරන රූප යන නාමය ඒවාට ද කියනු ලැබේ.
පරමාර්ථ ධර්මයෝ නාම රූප වශයෙන් දෙවැදෑරුම් වෙති. ඒවායින් ශරීර සංඛ්‍යාත රූපයක් නො ලැබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නො දත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන් ම දත යුතු වන බැවින් නාමය යි කියනු ලැබේ. බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට රූපය යි කියනු ලැබේ. කොටින් කියත හොත් සමූහ වී ශරීර සංඛ්‍යාත රූපයක් දක්වන්නා වූ පරමාර්ථ ධර්ම කොටස රූපයෝ ය. මේ එක්තරා ක්‍රමයකින් රූප පරමාර්ථය හැඳින්වීමකි.
තථාගතයන් වහන්සේ විසින් රූපය හඳුන්වා තිබෙන්නේ, රූප යන වචනය විස්තර කර තිබෙන්නේ ගැඹුරු ක්‍රමයකිනි. “රුප්පතීති ඛො භික්ඛවෙ! තස්මා රූපන්ති වච්චති” යනු තථාගතයන් වහන්සේ විසින් රූපය වර්ණනා කළ ආකාරයයි. “මහණෙනි, රුප්පනය වන බැවින් රූප නම් වේය” යනු එහි තේරුම යි. දැන් දත යුත්තේ රුප්පනය යනු කුමක් ද කියා ය. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ “රුප්පති” යන තථාගත වචනය කාමසූත්‍රය වර්ණනා කිරීමේ දී වර්ණනා කර තිබෙනුයේ “කුප්පති ඝට්ටීයති පීලියති” යන වචනවලිනි. ඒ වචනවල තේරුම “කිපේය, විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබා ය, විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබා ය” යනුයි. එහි සැටියට රූපය කවරෙක් දැ යි කියත හොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියා ය.
එහි විරුද්ධ ප්‍රත්‍යය නම් ශීතෝෂ්ණාදිය ය. රූපයා ගේ කිපීම වනාහි නයාගේ කිපීම, කොටියාගේ කිපීම, රජුගේ කිපීම වැන්නක් නොව සෙම කිපුණේය, වාතය කිපුණේය, පිත කිපුණේය යනාදීන් හි කියැවෙන කිපීම බඳු කිපීමකි. ඒ කිපීම විරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලැබීමේ හා පෙළනු ලැබීමේ ඵලයකි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් හා අන්‍ය ධර්මයකගේ ප්‍රහාරයට ලක් වීමට තරම් කාලයක් නො පවත්නා බැවින් ද ඒවායේ රුප්පනයක් නැත. රූපයාගේ ජීවන කාලය ජීවන කාලයට වඩා සොළොස් ගුණයක් දික් බැවින් විරුද්ධ ප්‍රත්‍යයා ගේ ප්‍රහාරයට ඒවා ලක් වේ. එබැවින් රුප්පනයක් ඇත්තේ රූපයන්හි පමණෙකි.
රූප උපදිනුයේ කලාප හෙවත් සමූහ වශයෙනි. තමන් නිරුද්ධ වන්නට මත්තෙන් තමන්ගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීම බොහෝ රූප කලාපයන්ගේ ස්වභාවයකි. විරුද්ධ ප්‍රත්‍යයාගේ ප්‍රහාරයට ලක් වූ රූපකලාපයෝ තමන්ගේ පරම්පරාවට තමන් හා සමාන රූප කලාප ඉපදවීමට අසමත් වෙති. ඉටිපන්දමක රූප කලාපයන්ට උණුසුම නමැති විරුද්ධ ප්‍රත්‍යය සැපුණ හොත් ඒවා තමන් හා සමාන කැටි වූ රූප කලාප ඉපදවීමට අසමත් වේ. එබැවින් උණුසුම ස්පර්ශ වීමෙන් පසු ඒවාට ඉපදවිය හැකි වන්නේ තමන් හා සම නොවූ දියාරු රූප කලාපයෝ ය. මෙහි කිපීම යයි කියන ලදුයේ ඒ තමන් හා සමාන රූප ඉපදවීමට අසමත් බවට පැමිණීමට ය. කලින් කැටිව තිබූ ඉටිවල දියාරු බවට පැමිණීමට නො වේ. ඉටි දියාරු බවට පැමිණීම කලින් කැටිව තිබූ ඉටිවල රුප්පනයේ ඵලයකි. රුප්පනය රූපයා ගේ අවස්ථාන්තරයකට පැමිණීම යයි ගැනීම ධර්ම විරෝධ ය. පරමාර්ථ ධර්මයකට ඇත්තේ උත්පාදය, ස්ථිතිය, භංගය කියා අවස්ථා තුනකි. සතර වන අවස්ථාවක් ඒවාට නැත. ශීතෝෂ්ණාදියේ ස්පර්ශයෙන් තිබෙන රූපයක් අන්‍යාකාරයකට අන්‍යාවස්ථාවකට පැමිණේ යයි කියත හොත් එය රූපයාගේ සතර වන අවස්ථාවක් ඇති බව කීම ය. එ බන්දක් නො ලැබෙන බැවින් එසේ නො ගත යුතුය. මෙය තේරුම් ගැනීම තරමකට අමාරු ගැඹුරු කරුණෙකි. මෙය මෙ පමණ දිගට කියන ලදුයේ බොහෝ පොත්වල ද අවුල් කර තිබෙන බැවිනි. මෙය නැවත නැවත කියවා හොඳින් කාරණය තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා."
A / 2. මෙහි රූපය යි කියනුයේ චක්ෂුඃ ප්‍රසාදයෙහි සැපෙන එයට හසු වන පැහැයට ය. එයට වර්ණ රූපය යි ද කියනු ලැබේ. චක්ෂුඃ ප්‍රසාදයෙහි ගැටෙන්නේ එයට හසු වන්නේ මේ වර්ණ රූපය පමණෙකි. වර්ණය හැර අතට හසු වන වස්තූන් ඇසට නො පෙනේ. “රූපස්කන්ධය” යි කියන තැන රූප යන වචනයෙන් කියැවෙන්නේ රූප විසි අට ය. මේ වර්ණ රූපයත් ඒ විසි අටට අයත් එක් රූපයෙකි. ගෝචර රූප කියන තැන දී රූප යන වචනයෙන් කියැවෙන්නේ වර්ණ ධාතුව පමණෙකි. රූප සියල්ලට ම රූප යන නම කියනුයේ ශීතෝෂ්ණාදියෙන් විකාරයට පැමිණෙන දෙයය යන අර්ථයෙනි. වර්ණ ධාතුවට රූප යන නම කියන්නේ පෙනෙන දෙය ය යන අර්ථයෙනි. රූප විසි අටෙන් ඇසට පෙනෙන්නේ මේ වර්ණ රූපය පමණෙකි. අනික් රූප ඇසට නො පෙනේ.
"මහාභූත ධාතූහු ඇසට නො පෙනෙති. ඔවුනොවුන් ගිලගෙන වැලඳගෙන මහාභූත සතර ඇතිවන කල්හි ඇසට හසු වන්නා වූ එක්තරා ස්වභාවයක් ඇති වේ. එනම් වර්ණ ධාතුව ය. (පැහැය ය) ඒ වර්ණ ධාතුව මහා ධාතු සතර නිසා ඇති වන්නකි. එය වෙන් වශයෙන් යම් කිසි එක් ධාතුවකට අයත් වන්නක් නො වේ. මෙතන්හි රූපය යි කියනුයේ ඒ වර්ණ ධාතුවට ය. ඇසට විෂය වන ස්වභාවය එහි ලක්ෂණය ය. ධාතු සතර ඇති වුවහොත් සෑම කල්හි ම, සෑම තැන ම වර්ණ ධාතුව හෙවත් රූපය ඇති වේ. එහෙත් ඇතැම් ධාතු පිණ්ඩයක ඇති වර්ණය ඉතා මඳ බැවින් ඇසට නො පෙනේ. සුළඟෙහි ඇත්තේ එබඳු වර්ණයෙකි. අප සුළඟෙහි ගැලී සිටින බැවින් එහි වර්ණය පෙනෙන සේ අපේ ඇස පිහිටියේ නම් සුළඟේ වර්ණයෙන් අපට ලෝකය වැසී යන්නේ ය. එබැවින් සුළඟ නො පෙනෙන සැටියට ඇස සැදී තිබේ.
සුදු කළු නිල් රතු කහ යන එකිනෙකට වෙනස් වර්ණයන්, ඇතිවන්නේ, සංයෝග වන්නා වූ භූත රූපයන් ගේ වෙනස් කමිනි. ලොව ඇති නොයෙක් වර්ණයන් අතුරෙන් එක් රූප කලාපයක ඇත්තේ එක් වර්ණයෙකි. රූප කලාපයන්හි ඇත්තා වූ වර්ණයෝ සත්‍ය වශයෙන් ඇත්තා වූ ප්‍රකෘති වර්ණයෝ ය. ලෝකයා විසින් ඇති සැටියට සලකන වර්ණ සියල්ල ම සත්‍ය වශයෙන් ඇති වර්ණ නො වේ. රතු පැහැය ඇති කුඩක් හා නිල් පැහැය ඇති කුඩක් සමාන ව ගෙන මිශ්‍ර කළ හොත් රතු කුඩු අතරට නිල් කුඩු ද නිල් කුඩු අතරට රතු කුඩු ද පැමිණ දෙවර්ගය ඔවුනොවුන් විසින් ගිලගෙන ඔවුනොවුන් වැළඳගෙන වෙන් වෙන් ව තිබේ. එසේ මිශ්‍ර ව තිබෙන කුඩුවල ඇති නිල් රතු පැහැය දෙක වෙන් වෙන් වශයෙන් ගැනීමට ද ඇස හා චක්ෂුර්විඥානය සමත් නො වේ. නිල් රතු දෙවර්ගය මිශ්‍ර වීමෙන් සෑදෙන වර්ණය දම් පාට ය. එය සත්‍ය වශයෙන් ඇති වර්ණයක් නොව, මිශ්‍රණය නිසා ඇති සේ පෙනෙන වර්ණයෙකි. මිශ්‍ර කර තිබෙන නිල් රතු පැහැති කුඩු ගොඩ චක්ෂුඃ ප්‍රසාදයෙහි ගැටුණු කල්හි එහි ඇති වර්ණ දෙක වෙන් වශයෙන් ගැනීමට නො සමත් වූ චක්ෂුර්විඥාය, සමූහය එක් කොට ප්‍රකෘති වර්ණ දෙකින් ම වෙනස් දම් පාටක් සැටියට ගනී. දම් පාටක් හැටියට දකී. ලොව ඇති සියලු වස්තූහු නා නා වර්ණවත් රූප කපාටයන් ගේ පිණ්ඩයෝ ය. එබැවින් ඒවායේ සත්‍ය වර්ණයක් සිතට හසු නො වන බැවින් අප විසින් ඇති සැටියට සලකන වර්ණයන්ගෙන් බොහෝවක් ම ඒ ඒ වස්තුවල නැති, සිතින් ගන්නා ආකාරයෝ ය. රූප කලාපය ඉතා කුඩා බැවින් වෙන් වී තිබෙන රූප කලාපයක වර්ණය නො දැකිය හැකි ය. වස්තුවල පෙනෙන්නට තිබෙන වර්ණය ඒ වස්තු රූප කලාප වලට හෝ ඉතා ම කුඩා කොටස් වලට හෝ ගෙන බැලුවහොත් කලින් දුටු වර්ණය නො දැකිය හැකිය. අභිධර්මයේ පරමාර්ථ ධර්මයන් සැටියට උගන්වන මේ වර්ණය ඇතැම් විද්‍යාඥයන් නැති දෙයක් සැටියට සම්පූර්ණ අසත්‍යයක් සැටියට ගෙන තිබෙන්නේ කුඩා කොටස්වලට වෙන් කළ කල්හි නොපෙනී යන බැවිනැ යි සිතිය හැකිය."
A / 3. “අනුභව කරන ආහාරය කුසට පිවිසි කල්හි එයින් කොටසක් ආමාශය ඇසුරු කොට වෙසෙන පණුවෝ කති. එක් කොටසක් පාචකාග්නියෙන් දැවී යයි. එක් කොටසක් මළ වෙයි. එක් කොටසක් මුත්‍ර වෙයි. ආහාරයෙහි හොඳම කොටස රස ධාතුව වී ආහාර ගෙන යන නහර දිගේ ගමන් කොට ශරීරය සැම තැනම පැතිරේ. ඒ ආහාරයේ ප්‍රධාන කොටසට ආහාර රූපය යි ද, ඕජා රූපය යි ද කියනු ලැබේ.”
ඕජාරූප ඇත්තේ අනුභව කරන ආහාරයෙහි ම නො වේ. ශරීරයේ පිහිටි ලේ මස් ආදි සියල්ලෙහිත් ඒවා ඇත්තේ ය. ශරීරයෙහි ඇති ඕජාරූප ඒ ඒ තැන ම තිබෙනවා මිස අනුභව කරන ආහාරයේ ඕජාව මෙන් ශරීරයේ ගමන් නො කරයි. එහෙත් සත්ත්ව ශරීරයට ආහාරයෙන් කෙරෙන උපකාරය ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ ශරීරයෙහි ඇති ඕජා රූපවලිනි. පිටතින් ශරීරයට පැමිණෙන ඕජාරූපයන් ගෙන් ලැබෙන උපස්ථම්භනයෙන් ශාරීරික ඕජාරූප බලවත් වී ඒවායින් ආහාරජ රූප නම් වූ රූප කොට්ඨාශයක් උපදවනු ලැබේ. ශරීරය පවත්වන්නේත් මලානික නො වී තිබෙන්නේත් බලවත් වන්නේත් වැඩෙන්නේත් ඒ ආහාරජ රූපවල උපස්ථම්භනයෙනි."