629 - බුද්ධානුස්සතිය වඩන හැටි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තෙරුවන් සරනයි හැමොටම...
බුදු ගුන බාවනාව කරන්නෙ කොහොම්ද?

A. "බුද්ධානුස්මෘති භාවනාව

(මෙබඳු පොතක සියලු ම කර්මස්ථාන විස්තර කිරීම නුසුදුසු බැවින් සෑම දෙනාට ම ප්‍රයෝජන ගත හැකි ශමථ කර්මස්ථාන ගැන පමණක් විස්තරයක් කරනු ලැබේ.)

බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. ඉන් එකක් බුදුන් වහන්සේගේ රූපකය සිහි කිරීමය. එය කරන්නේ මෙසේ ය:- පළමුවෙන් ම තමාට ප්‍රිය කරන, හොඳය කියා සිතෙන බුදු රුවක් වෙත ගොස්, බුදු - රුව හොඳින් සිතේ ඇඳෙන සැටියට එය දෙස බලා සිටිය යුතු ය. හිසේ පටන් දෙපතුල දක්වා බුදු - රුවේ සෑම අවයවයක් ම වෙන වෙනම ද බලා සිතට ගත යුතු ය. බුදු - රුව දෙස හැකිතාක් ඇසි පිය නො හෙලා බලා සිටිය යුතු ය. දින කීපයක් එසේ කළා ම බුදු - රුව සිතේ ඇඳෙන්නේ ය. ඊට පසු විවේක ස්ථානයක හිඳ නෙත් පියා ගෙන බුදුරජාණන් වහන්සේ තමාගේ ඉදිරියේ වැඩ සිටින්නා සේ සිතාගෙන ඒ බුදුන් වහන්සේ ගේ ශරීරය සිහි කරන්න. සිහි කරන කල්හි සම්පූර්ණ බුදු - රුව සිහි කළ හැකි නම්, සිතට වැටහෙනවා නම්, එසේ සිහි කරන්න. සම්පූර්ණ බුදු රුව නො වැටහෙනවා නම් හිස - නළල - දෙ බැම - නෙත් යුවල - නාසය - තොල් - කම්මුල් - නිකට - ග්‍රීවය - උරහිස් දෙක - අත් දෙක - පපුව - උදරය - උකුල - දෙදන - දෙපතුල යන මේවා පිළිවෙළින් වෙන වෙන ම ද සිහි කරනු. සම්පූර්ණ රූපය ද සිහි කරනු. මෙසේ පුරුදු කරන කල්හි සමහරුන්ට ටික කලක දී බුදු - රුව පැහැදිලි ලෙස සිහි කළ හැකි වන්නේ ය. තමාගේ ඉදිරියේ බුදුන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පෙනෙන්නට වන්නේ ය. ඒ බුදුරුව කෙරෙහි සිත පිහිටවා ගැනීමෙන් එක්තරා සමාධියක් ලැබිය හැකිය. බුදු-රුව අරමුණු කිරීමෙන් ඉමහත් බුද්ධාලම්භන ප්‍රීතියක් ඇති කර ගත හැකි ය.

බුද්ධානුස්මෘති භාවනාව කිරීමේ අනික් ක්‍ර‍මය, බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම ය. බුදු ගුණ ඉතා බොහෝ ය. ඒ සියල්ල ම මෙනෙහි කිරීම නො කළ හැකි වැඩකි. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමැති තැනැත්තා විසින් තමාගේ සිතට හොඳින් වැටහෙන යම් කිසි එක් බුද්ධ ගුණයක් හේ තුන හතරක් හත අටක් හෝ තෝරා ගෙන ඒවා මෙනෙහි කිරීම් වශයෙන් භාවනා කළ යුතු ය. මේ භාවනාව කරනු කැමති තැනැත්තා විසින් විහාර ගෙයකට හෝ දාගැබක් සමීපයට හෝ බෝධියක් සමීපයට හෝ අන් විවේකස්ථානයකට හෝ එළඹ, වාඩි වී, ඇස් පියා ගෙන, ශරීරය නිශ්චලව තබා ගෙන, මතු දැක්වෙන පරිදි මෙනෙහි කරනු.

“මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් සියල්ල ම වැරදීමක් නැතිව ඇති සැටියට ම දැන වදාළ සේක. උන් වහන්සේ නො දන්නා දෙයක් නැත්තේ ය.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහ්නසේ මේ මේ හේතුවෙන් මේ මේ දෙය ඇති වන්නේ ය, සිදු වන්නේ ය කියා සියල්ලෙහි ම හේතූන් ද තත් වූ පරිද්දෙන් දැන වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වූ සේක. උන් වහන්සේ සිය පුත් රහල් කුමරුන්ට මෙන් ම නො වෙනස්ව දේවදත්තාදි පරම සතුරන්ටත් කරුණාවත් වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්ත්ව සමූහය දුකින් මිදවීම පිණිස චතුරසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි අපමණ දුක් ගත් සේක. මේ සත්ත්වයන් සසර දුකින් මුදවනු පිණිස උන් වහන්සේ නො කළ පරිත්‍යාගයක් නැත.

උන් වහන්සේ ලෝ වැසියන්ට දෙව් මිනිස් සැප හා නිවන් සැප ලැබීමේ මඟ දක්වා වදාළ සේක.

උන් වහන්සේ අර්හත් මාර්ග ඥානයෙන් සියලු කෙලෙසුන් නසා පිරිසිදුව වෙසෙන බැවින් ද දේව බ්‍ර‍හ්මයන්ගේ බලය පවා යට කරන මහත් වූ බුද්ධ බලයෙන් යුක්ත වන බැවින් ද, ලෝකයෙහි අග්‍ර‍ වූ සේක. ශීලයෙන් හා සෘද්ධි බලයෙන් ද උන් වහන්සේට සම වූවකු ලොව නැත්තේ ය.

“උන් වහන්සේ දෙවියන් සහිත සියලු ලෝ වැසියන්ගේ ම ගරු බුහුමන් ලැබීමට වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වූ සේක.”

මෙසේ බුදුගුණ මෙනෙහි කරනු. මෙහි දක්වන ලද්දේ පහසුවෙන් අවබෝධ කළ හැකි - තේරුම් ගත හැකි බුදුගුණ ස්වල්පයකි. තමා කැමති හැටියකින් කවර ආකාරයකින් වුව ද බුදුගුණ සිහි කිරීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුගුණ කියා පොත් පත්වල එන තමාට නො තේරෙන දේවල් පාඩම් කර ගෙන කීමෙන් බුද්ධානුස්මෘති භාවනාව සිදු නො වන බව දත යුතු යි."

https://pitaka.lk/books/abhidharma-margaya/10-7.html

"බුද්ධානුස්මෘති භාවනාව

බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ ය. ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේ. අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධෝ, භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍ර‍තිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍ර‍ය නිරවශේෂයෙන් දැන වදාළ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍ර‍ඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර‍ වූ සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍ර‍තිලාභය පිණිස ද අනුශාසනය කරන සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍ර‍මයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.
මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු ය. තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය. වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි “මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි.” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය.

බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරා ගත යුතු ය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම් වඩාත් හොඳ ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳ, කය සෘජුව තබා ගත යුතුය. එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය. එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකි. එය ස්ත්‍රීන්ට අයෝග්‍ය ය. ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය.

පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන :

“සා තාහි සහ ගන්ත්වාන - භික්ඛුනූපස්සයං සකං

අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ - නිසීදි පරමාසනෙ.”

යන ගාථාවෙන් පෙනේ. බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු ය. අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට “මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනු. සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනු. සිහියෙන් යුක්ත වනු."

https://pitaka.lk/books/abhidharma-margaya/10-7.html

භාවනාවේ පූර්වකෘත්‍ය
බුද්ධානුස්මෘති භාවනාවේ අනුසස්
නවගුණ භාවනා වාක්‍යය

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll