231. චුති සිත? / භවාංග සිත?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1) චුති සිත යන වචනය පැහැදිලි කරන්න.
2) භවාංග සිත යන වචනය පැහැදිලි කරන්න.

(වැඩිදුර මෙය ද කියවන්න - https://dhamma.lk.ingreesi.com/2020/07/778.html > මරණාසන්න වීථිවල චිත්තක්ෂණ කීයක් තිබේද?)

A / R. 1. "... ච්‍යුති චිත්ත නම් වූ වර්තමාන භවයේ අන්තිම සිත නිරුද්ධ වනු සමග ම මරණාසන්නයේ වැටහුණු දෙය අරමුණු කරමින් අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය අපාය භූමියේ පහළ වේ. ඒ සිත පහළ වීම ම ඒ සත්ත්වයා අපායෙහි ඉපදීම ය. අපායට යාම ය. ච්‍යුති චිත්තයට අනතුරුව ම මැරෙන සත්ත්වයාගේ සිත් වැලටම අයත් ව උපන්නා වූ ඒ චිත්තය නිසා අතීත භවය හා වර්තමාන අපාය භවයත් සම්බන්ධ වේ. එබැවින් ඒ සිතට ප්‍ර‍තිසන්ධි සිත යයි කියනු ලැබේ. ඒ සත්ත්වයාට ඉන් පසු ප්‍ර‍තිසන්ධියේ දී ඇති වූ ඒ උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය ඒ අපාය භවයට අයත් සිත් පරම්පරාව නො සිඳී යන පරිදි නැවත නැවත ඇති වන්නට පටන් ගනී. එසේ ඇති වන කල්හි එයට භවාඞ්ග චිත්තය යි කියනු ලැබේ. භවයේ අන්තිම සිත වශයෙන් ඇති වන්නේ ද ඒ සිත ම ය. මෙසේ අපාය භූමියෙහි උපදනා සත්ත්වයනට අකුශල විපාකෝපේක්ෂාසහගත සන්තීරණ චිත්තය ප්‍ර‍තිසන්ධි - භවාඞ්ග - ච්‍යුති වශයෙන් පවතී. එක් සත්ත්වයකුට එක් භවයක දී ප්‍ර‍තිසන්ධිය වන්නේත් භවාඞ්ග චිත්තය වන්නේත් ච්‍යුති චිත්තය වන්නේත් එක ම සිතකි."

A / R. මූල චිත්තය.

සත්ත්වයාට මරණාසන්නයේ දී ඔහු කළ කර්මයක් හෝ සිහි වෙයි. කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙයි. මරණාසන්නයේ දී සිතට වැටහුණු දෙය අරමුණු කොට දෙවන ජාතියේ පළමු වන සිත පහළ වේ. එයට “ප්‍ර‍තිසන්ධි චිත්තය” යි කියනු ලැබේ. ස්වභාව ධර්මය පරිදි ඒ ප්‍ර‍තිසන්ධි චිත්තය නිරුද්ධ වූ පසුත් ඒ සන්තානයේ මරණාසන්න චිත්තයට අරමුණු වූ දෙය අරමුණු කරන ප්‍ර‍තිසන්ධි චිත්තයට සමාන සිතක් මරණය තෙක් ම නැවත නැවත ඇති වේ. සිත් පරම්පරාව නො සිඳී සත්ත්වයා ජීවත් වන්නේ ඒ සිත් පරම්පරාව නිසා ය. භවයාගේ පැවැත්මට කාරණය වන බැවින් ඒ සිත්වලට ‘භවාඞ්ග සිත්ය යි කියනු ලැබේ. භවාඞ්ග චිත්තය අන් සිතක් නැති සෑම වේලේ ම සත්ත්වයන් කෙරෙහි ඇති වන නමුත් එබඳු සිතක් ඇති වන බව අපට නොදැනේ. ඒ භවාඞ්ග චිත්තය සත්ත්වයාගේ මූල චිත්තය ය. අලුත් අලුත් අරමුණු ගන්නා වීථි පහළ වන්නේ භවාඞ්ග සිත් පරම්පරාවේ අගිනි.

Q. මට කියන්න ඇස අනිත්‍ය රූප අනිත්‍ය චක්කුවිඤාණය අනිත්‍ය එන පිලිවෙල අනුව කොහොමද කලින්ම භාවංග සිතක් හටගන්නේ...? විථිවල?

A. “මෙසේ භවයෙහි පිළිසිඳ ගන්නා සත්ත්වයනට ප්‍ර‍තිසන්ධි චිත්තය නිරුද්ධ වීමෙන් පසු ඒ සිත ම ඒ අරමුණ ම අරමුණු කරමින් ඒ ජීවිත කාලය මුළුල්ලෙහි ම අන් සිතක් නැති සැම වේලේ ම නැවත නැවත උපදින්නේ ය. සත්ත්වයා ජීවත් වන්නේ, ඔහුගේ සිත් පරම්පරාව නො සිඳෙන්නේ, ඒ සිත නැවත නැවත උපදින නිසා ය. භවය පැවතීමට උපකාර භාවයෙන් ඇති වන්නක් නිසා ඒ සිතට භවාඞ්ගය යි කියනු ලැබේ. භවයේ අවසාන සිත වන්නේත් ඒ සිත ම ය. අවසාන සිත වශයෙන් ඇති වන කල්හි එයට ච්‍යුති චිත්තය යි කියනු ලැබේ.

[මෙසේ මේ වර්තමාන භවයෙහි ප්‍ර‍තිසන්ධි භවාඞ්ග සිත් හා වීති සිත් ද ච්‍යුතිය ද ඇති වන්නාක් මෙන් මතු භවවලදී ද ප්‍ර‍තිසන්ධ්‍යාදිය ඇති වීම් වශයෙන් මේ චිත්ත පරම්පරාව නිවනට පැමිණෙන තෙක් එක් පරම්පරාවක් වශයෙන් පෙරළෙමින් පවත්නේ ය.

මෙසේ සිත් පරම්පරාව නො සිඳී පැවැත්ම නිසා නැවත නැවත මැරෙන්නට උපදින්නට සිදුවීමේ නපුර දුටු නුවණැත්තෝ සම්‍යක් ප්‍ර‍තිපදාවෙන් මාර්ග ඵල ලබා තෘෂ්ණා බන්ධනය සිඳ මැරීමක් ඉපදීමක් නැත්තා වූ නිර්වාණයට යන්නා හ.]”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll