653 - නින්ද යන්නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. හොඳට නින්ද යන්නේ නැත්නම්?

A. "“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“කවර පසක්ද යත්? දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.
“මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
“කවර පසක්ද යත්? සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්."
මුට්ඨස්සතිසුත්තං - නිද්දොක්කමන සූත්‍රය.

"“මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්.
“කවර එකොළොසක්ද යත්, සුවසේ නිදයි. සුවසේ පුබුදියි. පවිටු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. දේවතාවෝ රක්‍ෂා කෙරෙත්. මොහුට ගින්න හෝ, විස හෝ, ආයුධයක් හෝ නොවදියි. වහා සිත එකඟ වෙයි. මුඛ වර්‍ණය තෙම විශේෂයෙන් ප්‍රසන්න වෙයි. මුළාවට නොපැමිණියේ කළුරිය කරයි. මත්තෙහි අර්හත් මාර්‍ග ප්‍රතිවේධය නොකරන්නේ, බඹලොව උපදින්නේ වෙයි. මහණෙනි, නිතර සේවනය කරණ ලද්දාවූ, වඩන ලද්දාවූ, නැවත, නැවත කරණ ලද, සුදුසු යානාවක් මෙන් කරණ ලද, වත්තක් මෙන් කරණ ලද, අධිෂ්ඨාන කරණ ලද, පුරුදු කරණ ලද, මනාකොට පටන් ගන්නා ලද, මෛත්‍රි සහගත චිත්ත විමුක්තිහුගේ ආනිශංස එකොළොසක් කැමති විය යුතු වෙත්."
මෙත්තාසුත්තං - මෙත්තානිසංස සූත්‍රය.

"“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
“කවර පස් දෙනෙක්ද යත්? මහණෙනි, පුරුෂයන් කෙරෙහි අදහස් ඇති ස්ත්‍රී තොමෝ
රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අදහස් ඇති පුරුෂ තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ගැනීමෙහි අදහස් ඇති චෞර තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, රජයෙහි කටයුතුවල යෙදුනාවූ රජතෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, විසංයෝගයෙහි හෙවත් නිවණෙහි අදහස් ඇත්තාවූ භික්‍ෂු තෙම රාත්‍රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි.
“මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්‍රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්."
අප්පංසුපතිසුත්තං - අප්පසුපන සූත්‍රය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll