66. "ඒකජ" හා "ද්වීජ" කියන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඒකජ හා ද්විජ කියන්නේ ඇයි?

A. බ්‍රාහ්මණ (බමුණු) මතය අනුව : බ්‍රාහ්මණයන් (බමුණන්) විසින් තමන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන් බවත්, එය (හෝ මව් කුසින් මෙලොව ඉපදීම) පළමු ඉපදීම/පළමුව උපන් තැනැත්තා හෙවත් “ඒකජ/ඒකජං” ලෙසත්, ‘ගායත්‍රී’ නම් ශ්ලෝකය කියමින් “පූන නුල” පැළඳවීමේ “උපනයනය” නමැති යාතු කර්මයෙන් පසු, බ්‍රාහ්මණයන්ගේ දෙවන උපත/දෙවනුව උපන් තැනැත්තා යන අරුතින් “ද්වීජ/ද්වීජං” ලෙසත් හැඳින්විය.

එහෙත්, (එකල) සමාජයේ පැවති නිරර්ථක පාරිභාෂික පද/ක්‍රියා/සංකල්ප ආදිය වෙනුවට අලුත් හා අර්ථ සම්පන්න ආදේශක යථාර්ථවාදීව (හැමකල්හිම) ඉදිරිපත්කළ බුදුන් වහන්සේ, “අණ්ඩජ” සත්වයන් “ද්වීජ/ද්වීජං” ලෙසද, අනෙක් තුන් කොටස “ඒකජ/ඒකජං” ලෙසද අර්ථපූර්ණව හා යුක්තියුක්තව (ඉහත බ්‍රාහ්මණ/බමුණු මතය බිඳ හෙළමින්) දේශනාකොට වදාළ සේක.

A. "එකජො යනු බිත්තරයකින් උපත ලබන්නන් හැර, ඉතිරි යොනිවලින් (වෙනත් ආකාරයට) ඉපදෙන්නන්, එය ද එක්වරක් ඉපදීමකි. ද්විජො යනු බිත්තරයකින් ඉපදෙන, මවුකුසින් ද බිජුවටින්දැයි දෙවරකට උපදී. ඒ එකජං වා ද්විජං වාපි වේ.

තත්‍ථ එකජොති ඨපෙත්‍වා අණ‍්ඩජං අවසෙසයොනිජො. සො හි එකදා එව ජායති. ද‍්විජොති අණ‍්ඩජො. සො හි මාතුකුච‍්ඡිතො අණ‍්ඩකොසතො චාති ද‍්වික‍්ඛත‍්තුං ජායති. තං එකජං වා ද‍්විජං වාපි."

[ “1. අණ්ඩජ, 2. ජලාබුජ, 3. සංසේදජ, 4. ඕපපාතික යන ක්‍රම සතරින් සත්ත්වයාගේ උපත සිදු වේ.

“අණ්ඩජ” යනු බිත්තර මගින් බිහිවන සත්වයින්ය - කුරුල්ලන්, හූනන් ආදී සතුන් එසේ බිහිවෙයි. ජලාබුජ යනු මව්කුසේදී දියතරලයකට මැදි වී පෝෂණය ලබා පසුව ජීවියකු ලෙසින්ම බිහිවීමයි - මනුෂ්‍යයා, ගවයා, බල්ලා, බළලා ආදී සතුන් එසේ බිහිවෙයි. සංසේදජ යනු කුණු රොඩු, දියසෙවල, ගල්තලා මතට වැටෙන කොළ ආදියෙන් හටගන්නා සමහර පණුවර්ග, කුඩා කෘමිසතුන් ය. ඕපපාතික යනු ඉබේ පහළ වීමකින් සිදුවන ඇතිවීමකි - දෙවියන්, බ්‍රහ්මයින්, පේ‍්‍රතයින් එසේ පහළ වෙයි.”]

("මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
එකජං ව ද‍්වීජං වාපි යොධ පාණානි හිංසති,
යස‍්ස පාණෙ දයා නත්‍ථි තං ජඤ‍්ඤා වසලො ඉති.")

{“විශුද්ධිමාර්ගය” තුළද ඒකජං හා ද්වීජං ආදී ලෙස (“පුන එකජං, ද්‌විජං, තිජං, චතුජං, නකුතොචිජාතන්‌ති ...”) එක්තරා බෙදීමක් ඇති අතර එය මෙතැනට අදාළ නොවේ.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll