816. බෝ මැඩ වැඩ සිටියේ ඇයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුන් වහන්සේ බෝ ගහ මුල වැඩ හිදිමින් ඇත්තටම සිදු කළේ කුමක්ද? භාවනා කිරීමද?, තමා තුළ සිදුවන්නේ කුමක්ද යන්න ගැන සොයාබැලීමක්ද? අනෙකක්ද? පහදා දෙන්න. තෙරුවන් සරණයි...!!!

["බොධිමණ්ඩ.න - බොධිසඞ්ඛ්‍යාත ඥානයාගේ සැරසීම හෝ ප්‍ර‍සන්නය ඇතිවූ ස්ථානය, බෝමැඩ."]

A / R. "සියලු ම බෝධි සත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදී ය. සිද්ධාර්ථ කුමාරයන් මවුකුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟිණ. එය පැන නැඟුණේ උන්වහන්සේට ලොවුතුරා බුදුවීමට ආධාර වීම සඳහා ය. ඒ අනුව සියලු ම මහා බෝධිසත්ත්වයන්ට උපදින දිනයේ ම බෝධිය පැන නඟින බව සිතිය යුතු ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගස ය. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොයෙක් වර්ගවල ගස් පැන නඟී.

දීපංකර බුදුරදුන් බුදු වූයේ පුලිල ගසක් මුල ය. කොණ්ඩඤ්ඤ බුදුරදුන් බුදු වූයේ ශාල කල්‍යාණි නම් ගසක් මුල ය. මංගල බුදුරදුන් බුදු වූයේ නා ගසක් මුල ය. සුමන, රේවත, සෝභිත බුදුවරුන් බුදු වූයේ ද නාගස මුල ය. අනෝමදස්සී බුදුරදුන් බුදුවූයේ කුඹුක් ගස මුල ය පදුම, නාරද යන බුදුවරුන් බුදු වූයේ මහාසෝණ නම් ගසමුල ය. පදුමුත්තර බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුල ය. සුමේධ බුදුරදුන් බුදු වූයේ බක් මී ගසක් මුල ය. සුජාත බුදුරදුන් බුදු වූයේ හුණ ගසක් මුල ය. පියදස්සී බුදුරදුන් බුදු වූයේ කුඹුක් ගසක් මුල ය. අත්ථදස්සී බුදුරදුන් බුදු වූයේ සපු ගසක් මුල ය. ධම්මදස්සී බුදුරදුන් බුදු වූයේ රත්කරව් ගසක් මුල ය. සිද්ධත්ථ බුදුරදුන් බුදු වූයේ කිණිහිරිය ගසක් මුලය. තිස්ස බුදුරදුන් බුදු වූයේ පියාගසක් මුල ය. ඵුස්ස බුදුරදුන් බුදු වූයේ නෙල්ලි ගසක් මුල ය. විපස්සී බුදුරදුන් බුදු වූයේ පළොල් ගසක් මුල ය. සිඛී බුදුරදුන් බුදු වූයේ ඇටඹ ගසක් මුල ය. වෙස්සභු බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුල ය. කකුසඳ බුදුරදුන් බුදු වූයේ මහරි ගසක් මුල ය. කෝණාගමන බුදුරදුන් බුදු වූයේ දිවුල් ගසක් මුල ය. කස්සප බුදුරදුන් බුදු වූයේ නුග ගසක් මුල ය.

සවසක් දුෂ්කර තපසක් කළා වූ අප මහ බෝසතාණන් වහන්සේ එක් වෙසක් මස පුණු පොහෝ දිනයක අජපාල නම් නුග රුකක් මුල වැඩහිඳ සුජාතා නම් සිටුදුව විසින් පිළිගන්වන ලද කිරි බතක් වළඳා සමීපයෙහි වූ සල් වනයෙහි නොයෙක් සමවත්වලට සමවදිමින් සමවත් සුවයෙන් කල් ගෙවා සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙළ කරන ලද මඟින් බෝධිය කරා වැඩම කළහ. පෙරමඟ ආවා වූ තණ ගෙන යන සොත්ථිය නමැත්තෙක් උන් වහන්සේට කුඩා තණ මිටි අටක් පිළිගැන්වීය. ඒවා ගවයන්ට කැවීමට ගෙන යන තණ නොව මෙට්ටයක් වශයෙන් ගුදිරියක් වශයේ බිම අතුරා හිඳීමට හා සැතපීමට පාවිච්චි කරන වියළි තණ ය. සොත්ථිය බමුණා බෝසතාණන් වහන්සේට ඒවා පිළිගැන්වූයේ ද බිම අතුරා ඒවා මත වැඩ සිටීම සඳහා ය. දඹදිව තවුසන් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ තණ ඇතිරි ය. බෝසතාණන් වහන්සේ ඒ තණ ගෙන ගොස් බෝධීන් වහන්සේ ගේ නැගෙනහිර පැත්තේ බිම සැලූහ. ඒවායින් තුදුස් රියන් අසුනක් සැදිණ. උන් වහන්සේ බෝධියට පිට දී නැගෙනහිර දිසාවට මුහුණ ලා වැඩ සිටියහ. උන් වහන්සේට බාධා කිරීමට පැමිණි වසවත් මරු හිර බැසීමට කලින් ම පැරදී පලා ගියේ ය.

ඉක්බිති මහ බෝසතාණන් වහන්සේ එහි ම වැඩ සිට භාවනා කොට රාත්‍රියේ පළමුවන කොටසෙහි තමන් වහන්සේගේ අතීත ජාති පිළිවෙළ දැකීමට සමත් පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය උපදවාගත් සේක. රාත්‍රියේ මැද කොටසෙහි ලෝකයෙහි ඒ ඒ තැන මැරෙන උපදින සත්ත්වයන් දක්නට සමත් දිව්‍යචක්ෂුඥානය උපදවා ගත් සේක. දොළොස් පදයක් ඇති ප්‍රතීත්‍ය සමුත්පාදයට ඥානය මෙහෙයා එය අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් මෙනෙහි කොට ඉක්බිති සංස්කාරයන් විදර්ශනා කොට ඇරුණෝද්ගමනයේ දී මාර්ග ඵල පිළිබඳ සකල ක්ලේශයන් ප්‍ර‍හාණය කිරීමට සමත් අර්හත් මාර්ගඥානය උපදවා ගත්හ. එය සමග ම සියල්ල දැන ගැනීමට සමත් සර්‍වඥතාඥානය හා දශබල ඥානාදි සකල බුද්ධ ගුණයන් උපදවා ගත්හ. ඒ මහ බෝසතාණන් වහන්සේගේ බුදුවීම ය. ලෝකෝත්තර මාර්ගඥාන සතර හා සර්‍වඥතාඥානය ඥානයන් අතුරෙන් සියල්ලට උසස් ඥානයෝ ය. එබැවින් ඒවා බෝධි නම් වෙයි. ඒවා ලබා ගත්, ඇති කර ගත් උත්තම පුද්ගලයා ද ඥානයන් නිසා ලෝකයෙහි අග්‍ර‍ පුද්ගලයා වෙයි. දෙවියන් සහිත ලෝකයා විසින් ගරු බුහුමන් වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෙක් වෙයි. එහෙයින් උන් වහන්සේට දේව බ්‍ර‍හ්මයෝ ද වැඳුම් පිදුම් කරති.

බෝධි වෘක්‍ෂවල සර්‍වඥවරයන්ට ඒ තත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නො ලබා බුදු විය නො හැකි ය. මහ බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධිමූලයන්ට එළඹෙන්නේ ඒ නිසා ය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණෙකි. එයින් ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුවරුන් පරිභෝග කළ වස්තූහු ද වැඳුම් පිදුම් කිරීමට සුදුසු ය. තථාගතයන් වහන්සේ බුදු වූ විගස ම ඒ අසුනෙන් නො නැඟී බෝධියට පිට දී සතියක් ම එතැන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසා ද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්‍ෂවලින් සියල්ලට උසස් වෘක්‍ෂය වන බැවින් ඒ වෘක්‍ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින් ද ශක්‍ර‍ බ්‍ර‍හ්මාදි මහත් වූ පුද්ගලයන්ගෙන් පුද ලබන බැවින් ද මහා බෝධි නම් විය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll