941. ICU එකේ මැෂින් ඉවත් කළොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. වර්තමානයේ දක්නට ලැබෙන දෙයක් සම්බන්දව...

හදිසි අනතුරු වලට භාජනය වන සමහර අය icu වල මැශින්වලින් ජිවත් වනවයි කියනවා... එම මැශින් ඉවත් කලහොත් ඔවුන් මිය යනවා.., මේයට නිදසුනක් ලෙස මෑතකදි මැශින් මගින් ජිවත් වූ තරුණ මල්ලී කෙනෙකුගෙ අවයව එලෙස මැශින් ඉවත් කර අනික් අයට බද්දකලා... (දෙමාපියන්ගේ කැමැත්ත මත).

1. මෙහිදි එම මැශින් ඉවත් කිරිමට අනුබල දීම ප්‍රාණගාත අකුසලයක්ද?

2. බැරිවෙලාවත් ළමයෙකුට එලෙස තම දෙමාපියන්ගේ මැශින් ඉවත් කිරිමට සිදු වුවහොත් ඔහුට ආනන්තරිය පාපකර්මයක් සිදුවෙනවාද?

A.  2. මා පියන් මැරීම

මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ. සමහර කෙනකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකි ය. මනුෂ්‍ය ජාතික දරුවා විසින් ඒ තිරශ්චීන මව හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු නොවේ. තිරිසන් දරුවකුට මනුෂ්‍ය වූ ම හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. එයින් ඔහුට බරපතල අකුශලයක් පමණක් වේ. මනුෂ්‍යයකු විසින් නො දැන ස්වකීය මව හෝ පියා හෝ මැරුයේ ද, ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. මේ කරුණ පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය ය, චෞර චතුෂ්ක ය ය, සංග්‍රාම චතුෂ්කය ය, පලාල චතුෂ්කය ය යන චතුෂ්ක සතර දක්වා තිබේ.

යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි. මව හෝ පියා මරන්නට සිතා රාත්‍රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මයක් නොවේ. මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මේ ඒලක චතුෂ්කය යි.

රාත්‍රී කාලයේ දී සොරෙකැ යි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මේ චෞර චතුෂ්කය යි.

යුද්ධයක දී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්‍යයන්ට පහර දුන් කල්හි පියා පලායෙති’ යි සිතා අන්‍යයන්ට පහර දෙන කල්හි, පියාට පහර වැදී මළේ ද එයින් ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි. සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරකුට විද්ද කල්හි, හීය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්‍ය්‍ය කර්මය වේ.

ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. යම් කිසිවකු පිදුරු යට සැඟ වී සිටින බව දැන ඔහු මරමි යි පිදුරු ගොඩට ඇන්න කල්හි පියා හෝ මව එහි සිට මළේ වේ නම් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු වේ.


1. "දුකින් මිදවීමට මැරීම

සමහරු දුක් විඳින සතුන් දුකින් මිදවීමට ය කියා මරා දමත්. එයින් පවක් නො වෙතියි ද ඔවුහු සිතති. අවීචි මහා නරකයෙහි දුක් විඳින සත්ත්වයෝ පවා මරණයට බිය වෙති. සත්ත්වයාහට ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැත. ඔහුට එය නැතිවීමට වඩා මහත් අන් දුකක් ද නැත. එ බැවින් නිදහස් කිරීමටය කියා සතකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කර දීමකි. එ බැවින් එය පාපයකි. දුකින් නිදහස් කිරීමට සතුන් මරන්නෝ අසරණ සතුන් ම මරනු මිස, කොතෙක් දුක් වින්දත් ඔවුන්ගේ මවක හෝ පියකු හෝ සහෝදරයකු හෝ දරුවකු හෝ නො මරති. ඔවුන්ගේ අදහස සාධාරණ එකක් නො වන බව එයින් ම ඔප්පු වේ. මිනිසුන්ට එසේ නො කරනවා නම් තිරිසනුන්ට පමණක් එසේ කිරීම කෙසේ යුක්තියක් වේ ද? නො වේ ම ය. කරුණා සහගත සිතින් කිසි කලෙක සත්ත්වයකු මැරිය හැකි නො වේ. දුඃඛිත සත්ත්වයන් මරන්නන් තුළ ඒ සතුන් ගැන කරුණාවක් ඇතිවන බව සත්‍යයකි. එහෙත් කරුණා සහගත සිතින් සතකු නො මැරිය හැකි ය. සත්ත්වයකු මැරිය හැක්කේ ද්වේෂ සහගත සිතකින් ම ය. ද්වේෂ සහගත සිත සැම කල්හි ම අකුශලයෙකි. මෙ බඳු අවස්ථාවල දී වධක චිත්තය ඇතිවනුයේ කරුණා මුහුණුවර ඇත්තා වූ මන්ද ද්වේෂයෙන් හා බලවත් මෝහයෙන් ද යුක්තව ය. චිත්ත චෛතසික ධර්මයන්ගේ විශේෂ විභාග හා ලක්ෂණ නො දන්නවුන්ට වැටහෙන්නේ ඒ ද්වේෂ සහගත සිත කරුණා සහගත සිතක් සේ ය. දුක් විඳින නිසා හෝ වේවා අන් කරුණක් නිසා හෝ වේවා ප්‍රාණවධයක් කිරීම අකුශලයක් ම බව දත යුතු ය.

සිය පණ නසා ගැනීම ද්වේෂ සහගත සිතින් කළ හොත් පාපයකි. එහෙත් එය දශ අකුශල කර්මපථයට අයත් වූ ප්‍රාණඝාත කර්මය නො වේ. තමාගෙන් අන්‍ය සත්ත්වයකු මැරීමෙන් ම ප්‍රාණඝාත කර්මය වේ. විනයේ සැටියට මිනිසකු මැරුවහොත් භික්ෂුව පාරාජිකාවට පැමිණේ. සිය පණ හානි කර ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකට ය. සිය පණ හානි කර ගැනීම ය, පර පණ හානි කිරීම ය යන දෙකේ මහත් වෙනසක් ඇති බව එයින් ද දත හැකි ය."


T. බොහෝ කල් දුක් විඳින්නට සිදුවී ඇති සත්ත්වයන් දුකින් මුදවනු පිණිස කරුණාවෙන් මරා දැමීමෙන් වන්නේ පිනක් ද? පවක් ද?

දුකට පත් සත්ත්වයන් දුකින් මිදවීමටය කියා මරා දැමීම ඇතැම් බෞද්ධයන් ගේ වැඩකි. ඔවුන් එසේ කරුණා කරන්නේ අසරණ තිරිසන් සතුන්ට පමණෙකි. ඔවුන් ගේ අඹුදරු ආදීන්ගෙන් එකකු අවුරුදු බොහෝ ගණනක් දුක්විඳ මැරෙන තත්ත්වයට පැමිණියත් මැරෙන තුරු ඔහුට උපකාර කරනවා මිස, දුකින් මුදවන්නටය දුක් කෙටි කිරීමටය කියා කලින් මරා දැමීමක් නො කරති. දුකට පත් තිරිසන් සතුන් දුකින් මිදවීමටය කියා මරන තැනැත්තා, ‘කලක් දුක් විඳින්නට වන තත්ත්වයකට පත්වුවහොත් ඔහුගේ මව වුවත් පියා වුවත් භාර්‍ය්‍යාව වුවත් සහෝදරයකු දරුවකු වුවත් මරා දමනවා නම් කරුණාවටය කියා සතුන් මරා දැමීම යුක්ති සහගත කරුණක් ය’යි කිය හැකි ය. එසේ නො කරන බැවින් අසරණ තිරිසනුන් මරාදැමීම යුක්ති සහගත ක්‍රියාවක් නො වන බව කිය යුතු ය.

මොනව කරුණක් නිසාවත් සතකු මරා දැමීම සුදුසු බවක් බුදු දහමෙහි කොතැනකවත් සඳහන් කර නැත. බෝධිසත්ත්වයන් වහන්සේ තරම් මහා කරුණාව ඇති අනිකෙක් ලොව නැත්තේ ය. බෝසතාණන් වහන්සේ විසින් දුකින් මිදවීමට ය. කියා කවදාවත් කොතැනකදීවත් සතකු මැරූ බව බෝසත් චරිතයෙහි ද සඳහන් වී නැත. දුකින් පෙළෙන සත්ත්වයකු මරාදැමීම ගිනි ගොඩකට වැටී ඉන්නා එකෙකුට පිහියෙන් ඇනීම වැනි දරුණු ක්‍රියාවෙකි. පරමාර්ථධර්‍ම විභාග නො දන්නෝ කරුණාවෙන් සතුන් මැරීම කළ හැකිය යි සිතති. එය වැරදි අදහසෙකි. ද්වේෂයෙන් තොරව සතකු මැරීම නො කළ හැකි ය. සැම කල්හි ම ප්‍රාණඝාත කර්‍මය සිදුවන්නේ සියුම් වූ හෝ රෞද්‍ර‍ වූ හෝ ද්වේෂයෙන් යුක්තවන සිතකිනි. කරුණාවය ද්වේෂයය යන මේ දෙක ආලෝකයත් අඳුරත් සේ අන්‍යොන්‍ය විරුද්ධ චෛතසික ධර්‍ම දෙකකි. එබැවින් ඒ දෙක කවදාවත් එක සිතක නූපදී. දුඃඛිත සත්ත්වයකු දක්නා කල්හි ඒ සත්ත්වයා කෙරෙහි කරුණාවක් උපදී. ධර්‍මය නො දන්නා වූ පුද්ගලයා හට ඒ කරුණාව හේතු කොට ඒ සතා මරා දැමීම හොඳය යන ද්වේෂ සහගත අදහස ඇති වේ. ඉන් පසු ඔහු ද්වේෂ සහගත චිත්තයෙන් ම ඒ සත්ත්වයා මරා දමයි. සතා මැරූ චිත්තය ද්වේෂ සහගත වන බැවින් අකුශලයක් වේ. ඒ සිත හා සම්ප්‍ර‍යුක්ත වධක චේතනාව ද ද්වේෂ සහගත බැවින් අකුශල චේතනාවෙකි. දුඃඛිත සත්ත්වයකු ගැන මුලින් ඇති වන කරුණාව නම් කුශලයකි. කුශලය නිසා ඇති වූවාට වධක චේතනාව කුශලයක් නො වේ. කරුණාව හේතු කොට වන්නා වූ ඒ වධක චේතනාව ද අනිකුත් වධක චේතනා මෙන් මරණින් මතු අපායට පැමිණවීමේ ශක්තිය ඇති අකුශල කර්මයක් බව දත යුතු ය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll