232. හිතූ පමණින් ම පිං අනුමෝදන් වේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. හිතූ පමණින් පිං අනුමෝදන් කළ හැකි ද?
2. පිං අනුමෝදන් වෙන්නෙ කවද්ද? කවුද?

A. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකවාසී දායකයෝ දන් දී තමන්ගේ මිය පරලොව ගියා වූ, ඥාතිප්‍රෙතයන්ට ‘මේ දානයෙහි පින්පෙත් ඒ අපගේ ඥාතිප්‍රෙතයන්ට පැමිණේව’ යි කියා පින් දෙන්නාහු ය. කිමෙක් ද, ඒ පින් දුන් කාරණයෙන් මදක් වුවත් විපාකයක් ඒ ඥාතිප්‍රෙතයෝ ලබන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සමහර ප්‍රෙත කෙනෙක් ලබති, සමහර ප්‍රෙත කෙනෙක් නො ලබන්නාහු ය” යි වදාළසේක. “ස්වාමීන් වහන්ස, කවර කෙනෙක් ලබන්නාහු ද? කවර කෙනෙක් නො ලබන්නාහු දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, එක්සිය සතිස් මහනරකයෙහි උපන්නා වූ නිරිසත්වයෝ පින්පෙත් හා දුන් බත් නො ලබති. ස්වර්ගලොකයට පැමිණියා වූ දෙවියෝත් නො ලබන්නාහ. තිරශ්චීන යොනිගතසත්වයෝත් නො ලබන්නාහු ය. ප්‍රෙතයොනිගත වූ චතුර්විධප්‍රෙතයන්ගෙන් අනෙකවර්ෂශතසහස්‍රයෙහි මහදුක් අනුභව කෙරෙමින් ඒ ඒ තන්හි වමන ගර්භමාලාදිය අනුභව කෙරෙමින් වසන්නා වූ වන්තාසික නම් ප්‍රෙතයෝ ද, අනෙකබුද්ධාන්තරයෙහිත් යැපෙන ආහාර පානයක් නොලදින් සාපිපාසායෙන් පෙළෙන්නා වූ ඛුප්පිපාසික ප්‍රෙතයෝ ද, ජීර්ණ වූ රුක්සිදුරු ඇවිළ ගත් ගිනි සෙයින් ඇතුළු කුක්ෂියෙහි ඇවිළ දවන්නා වූ වහ්නිජ්වාලාවෙන් දැවී (373) මහදුක් අනුභව කරන්නා වූ නිජ්ඣාමතණ්හික නම් ප්‍රෙතයෝ ද යන මේ ත්‍රිවිධ වූ ප්‍රෙතයෝත් ඒ පින් පෙත් නො ලබති. ඥාතිමිත්‍රාදීන් විසින් දුන් දෙයින් යැපෙන්නා වූ ප්‍රෙතයෝ ඒ පින්පෙත් ලබති. ඒ පරදත්තූපජීවී වූ ප්‍රෙතයෝ ද සිහි කරන්නාහු ම ලබන්නාහු ය” යි වදාළසේක. (ඥාතිප්‍රෙත පින්පෙත් ප්‍ර‍ශ්නය.)"

A. “ ‘අත්‌තනො සන්‌තානෙ නිබ්‌බත්‌තා පත්‌ති දීයති එතෙනාති පත්‌තිදානං’ යනු නිර්වචන හෙයින් තමාගේ සන්තානයෙහි හටගන්තා වූ කුශලය පැමිණවීම් වශයෙන් මෙරමා හට හෙවත් මිය පරලොව ගියවුනට දීම පත්තිදාන – පින්දීම – නම් වේ.

පත්තිදානයෙහි ආනිසංස.
මේ ජන්මයෙහි ම සත්පුරුෂයෙක් ය, කෙළෙහි ගුණ දන්නෙක් ය යන ආදි වශයෙන් සත්පුරුෂ ප්‍රශංසා ලැබීම ය, තමනට අයත් යුතුකමක් සිදු කිරීමෙන් ලැබෙන නිරාමිෂ ප්‍රීතිය ය, මරණින් මතු සුගති සම්පත් ලැබීමට හේතුවීම ය, උපනුපන් තන්හි ආයුෂ, වර්ණ සුඛ, බල, ප්‍රඥා යන කරුණුවලින් උසස් වීම ය යන ආදීහු පත්ති දානයෙහි ආනිසංසයෝ වෙති.”

1. “… තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. …”

(http://pitaka.lk/books/rc/Bauddhayage_Athpotha.htm...)

“ ‘පත්‌තිං අනුමොදති එතායාති පත්‌තානුමොදනා’ යනු නිර්වචනය හෙයින් තමන් වෙතට පැමිණ වූ පින් කොටස අනුමෝදන් වේ යනුු යි පත්තානුමෝදනා නම් වේ. අනුමෝදනා නම් අනුව සතුටු වීමයි. කවුරුන් විසින් හෝ කරන ලද පිනක් තමන් වෙතට පැමිණ වූ විට හෙවත් දැන ගත් විට “සාදු සාදු” (-අනේ හොඳා හොඳා) කියමින් ඒ අනුව සතුටු වෙමින් තමන් ගේ සන්තානයෙහි ද පින් සිත් පහළ කර ගැනීම පුණ්‍යානුමෝදනා නම් වේ.
පරමාර්ථ වශයෙන් කියත හොත් මෙරමා විසින් දෙන ලද්දා වූ හෝ නැත්තා වූ හෝ පිනක් ඊර්ෂ්‍යා මාත්සර්ය්‍යාදියෙන් තොර ව පිරිසිදු සිතින් “සාදු සාදු” යි සතුටින් අනුමෝදන් වීම් වශයෙන් පැවැත්තා වූ චේතනාවෝ පත්තානුමෝදනා නම් වෙති.

පත්තානුමෝදනයෙහි ආනිසංස.
මේ ජන්මයෙහි ම ඊර්ෂ්‍යා මාත්සර්ය්‍ය මානාහංකාර අඩු වූවකු වීම ය, නිරාමිෂ ප්‍රීතියෙන් ප්‍රීති වන්නකු වීම ය, මරණින් මතු සුගති සම්පත් ලැබීම ය, උපනූපන් තන්හි ආයුෂ, වර්ෂ, සුඛ, බල, ප්‍රඥා යන මොවුන් ගෙන් සම්පූර්ණ වීම ය යන ආදීහු පින් අනුමෝදන් වීමෙහි අනුසස් වෙති.”

2. “ … එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන්(ට) සුදුසු අවස්ථාවල දී ලැබේ. ...”

(http://pitaka.lk/books/rc/Bauddhayage_Athpotha.htm...)

[පිං දීම (පිං අනුමෝදන් කිරීම) හා පිං ලබා ගැනීම (පිං අනුමෝදන් වීම) යන ක්‍රියා දෙකම “පිං” (පුණ්‍යක්‍රියා) බව වටහා ගැනීම හා එහි කර්ම ඵල (ආනිශංස) අදහා/දැන ගැනීම තුළින් සතුටින් එම ක්‍රියාවල යෙදීම ම බෙහෙවින්ම ප්‍රමාණවත් ය.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll