347. දසබල ඤාණ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුරජාණන්වහන්සේ සතුව ඇති දසබල ඤාණ මොනවාද?

A / R. (https://pitaka.lk/main?n=35121)
මහණෙනි, යම්බදු බලයෙකින් සමන්වාගත තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද අට පිරිස්හි සිංහනාද කෙරෙත් ද විශිෂ්ට ධර්‍මචක්‍ර‍ය පවත්වත් ද තථාගතයන්ගේ එබඳු වූ මේ බලයෝ දශ දෙනෙක. කවර දශ කෙනෙක යත්:

1. මහණෙනි, මෙලොව්හි තථාගතයෝ කාරණය කාරණ වශයෙන් ද අස්ථානය අස්ථානය විසින් ද යථාභූතව දන්නාහ: මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ස්ථානය ස්ථාන වශයෙන් ද අස්ථානය අස්ථාන වශයෙන් ද යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම්බඳු බලයෙකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍ර‍තිඥා කෙරෙත් ද, අට පිරිස්හි සිංහ නාද කරත් ද, බ්‍ර‍හ්ම චක්‍ර‍ය පවත්වත් ද, තථාගතයන්ගේ මේ ද තථාගතබල යි.

2. තවද මහණෙනි, තථාගතයෝ අතීත, අනාගත, ප්‍ර‍ත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ප්‍ර‍ත්‍යය විසින් හේතු විසින් දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ අතීතානාගත ප්‍ර‍ත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත ව ප්‍ර‍ත්‍යය විසින් හේතු විසින් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.

3. තවද මහණෙනි, යථාභූත වූ සර්‍වත්‍ර‍ගාමිනීප්‍ර‍තිපද් දන්නාහ. මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ යථාභූතයෙන් සර්‍වත්‍ර‍ගාමිනීප්‍ර‍තිපද් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළින කරත් ද, පර්ෂද්හි සිංහනාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.

4. තවද මහණෙනි, තථාගතයෝ යථාභූත වූ (කාමධාතු ඈ) බහුධාතුක (විලක්ෂණ විසින්) නානාධාතුක ස්කන්‍ධලොකය දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ අනෙකධාතු නානාධාතු ලොකය ඇති සැටියෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.

5. තවද මහණෙනි, තථාගතයෝ සත්ත්‍වයන්ගේ (හීනාදි) නානාධිමුක්තික භාවය වූ යථාභූතය දන්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ සත්ත්‍වයන්ගේ යථාභූත කොට නානාධිමුක්තික භාවය දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිනකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.

6. තවද මහණෙනි, තථාගතයෝ ප්‍ර‍ධාන සත්ත්‍වයන්ගේ හා හීනසත්ත්‍වයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ ප්‍ර‍ධානාප්‍ර‍ධාන සත්ත්‍වයන්ගේ ඉන්ද්‍රිය පරාවරතාව යථාභූත කොට දනිත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය පිළින කරත් ද, පිරිස්හි සිංහනාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.

7. තවද මහණෙනි, තථාගතයෝ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි සමාපත්තීන්ගේ (හානභාගිය ධර්‍මසඞ්ඛ්‍යාත) සංක්ලේශයත් (විශේෂ භාගිය ධර්‍ම සඞ්ඛ්‍යාත) ව්‍යවදානයත් ප්‍ර‍ගුණධ්‍යාන හා භවාඞ්ග (ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත) ව්‍යුත්‍ථානයත් යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථාන යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍ර‍තිඥාකරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, ධර්‍මචක්‍රය පවත්වත් ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.

8. තවද මහණෙනි, තථාගතයෝ අනෙකවිධ පූර්‍වනිවාසානු ස්මෘතිය, එනම් එක්ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දශයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සංවර්‍ත කල්පයනුදු නොයෙක් විවර්ත කල්පයනුදු නොයෙක් සංවර්ත විවර්ත කල්පයනුදු සිහි කරත්: “මෙසේ නම් ඇතියෙම්, මෙසේ ගොත්‍ර‍ ඇතියෙම්, මෙසේ වර්‍ණ ඇතියෙම්, මෙසේ ආහාර ඇතියෙම්, මෙසේ සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙසේ ආයුපරියන්ත ඇතියෙම් අසෝතන්හි වීමි. හේ මම් එයින් සැව අසෝ තැන්හි උපන්මි. එහිදු මෙසේ නමැතියෙම් මෙසේ ගොත්‍ර‍ ඇතියෙම් මෙසේ වර්‍ණ ඇතියෙම් මේ ආහාර ඇතියෙම් මෙසේ සුව දුක් විඳුනෙම් මෙසේ ආපිරියත් ඇතියෙම් වීමි. හෙ මම ඉන් ච්‍යුතවූයෙම් මෙහි උපන්මි”යි මෙසේ ආකාර සහිත, උද්දේශ සහිත අනෙකවිධ පූර්‍වානිවාසානු ස්මෘතිය සිහිකරත්. මහණෙනි, යම් හෙයෙකින් අනෙකවිධ පූර්‍වනිවාසය එ නම් එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ... සිහිකරත්, ... මෙසේ ආකාර සහිත උද්දේශ සහිත අනෙකවිහිත පූර්‍වනිවාසය සිහිකරත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍ර‍තිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වන්නාහු ද, තථාගතයන්ගේ මෙ ද තථාගතබල යි.

9. තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්‍යචක්ෂුසින් ච්‍යුතවන්නා වූ ද උපදනාවූද හීන වූ ද ප්‍ර‍ණීත වූ සුවර්‍ණ වූ දුර්‍වර්‍ණ වූ ද සුගත වූ ද දුර්‍ගත වූ ද සත්ත්‍වයන් දක්නාහ. කම් වු පරිදි යන සත්ත්‍වයන් දක්නාහ. එකතින් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගතහ. වාක්දුශ්චරිතයෙන් සමන්වාගතහ. මනෝදුශ්චරිතයෙන් සමන්වාගතහ. ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහ. මිසදිටු ඇතියහ, මිථ්‍යාදෘෂ්ටික කර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත නම් වූ නිරයට (ප්‍ර‍තිසන්ධි විසින්) පැමිණියාහු වෙති. මේ භවත්සත්ත්‍වයෝ ද කායසුචරිතයෙන් සමන්වාගත වූවාහු වාක්සුචරිතයෙන් සමන්වාගත වූවා මනස්සුචරිතයෙන් සමන්වාගත වූවාහු වෙති. ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහ, සම්දිටු ඇතියහ, සම්‍යක් දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. උහු කාබුන් මරණින් සුගති නම් වූ ස්වර්‍ග ලොකයට (ප්‍ර‍තිසන්ධි විසින්) පැමිණියහ. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ පවත්නා දිවැසින් ච්‍යුතවන්නා වූත් උපදනාවූත් හීනවූත් ප්‍ර‍ණීත වූත් සුවර්‍ණ වූත් දුර්‍වර්‍ණ වූත් සුගත වූත් දුර්‍ගත වූත් සත්ත්‍වයන් දක්නාහ. යථා කර්‍මොපග සත්ත්‍වයන් දක්නාහ. මහණෙනි, යම්හෙයකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ච්‍යුතවන උපදනා, හීන ප්‍ර‍ණීත, සුවර්‍ණ දුර්‍වර්‍ණ සත්ත්‍වයන් දක්නාහු ද, යථාකර්‍මොපග සත්ත්‍වයන් දක්නාහු ද, මහණෙනි, යම් හෙයෙකිනුදු තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගියා වූ දිවැසින් ... යථාකර්‍මොපග සත්ත්‍වයන් දක්නාහු නම්, මහණෙනි, යම්බලයකට පැමිණ ඍෂ්භස්ථානය ප්‍ර‍තිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.

10. තවද මහණෙනි, තථාගතයෝ ආස්‍ර‍වක්ෂයයෙන් අනාස්‍ර‍ව චිත්ත විමුක්තිය ප්‍ර‍ඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමු විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට පැමිණ වෙසෙත්. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ආස්‍ර‍වක්ෂයයෙන් අනාස්‍ර‍ව චිත්ත විමුක්තිය ප්‍ර‍ඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තුමු විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ඍෂ්භස්ථානය ප්‍ර‍තිඥා කරත් ද, පර්‍ෂද්හි ශ්‍රේෂ්ඨ නාද කරත් ද, බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල යි.

මහණෙනි, යම් බඳු බලයන්ගෙන් සමන්විත වූවාහු තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍ර‍තිඥා කරත් ද, පර්‍ෂද්හි සිංහනාද කරත් ද, (ධර්‍ම) බ්‍ර‍හ්මචක්‍රය පවත්වත් ද, මේ ඒ දශබල යි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll