210. සත්පුරුෂයා කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සත්පුරුශයකුගේ ලක්ශන සඳහන් වන සූත්‍ර දේශනා මොනවාද?

A / R. ’’මහණෙනි, සත්පුරුෂයා කවරේද?
’’ප්‍රාණඝාත නොකරන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ වේද, කාමයන්හි වරදවා හැසිරීමෙන් දුරුවූයේ වේද, බොරුකීමෙන් වැළකුනේ වේද, රහමෙර බීමෙන් වැළැකුණේද,
’’මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් .තමන්ද සතුන් මැරීමෙන් වෙන් වූයේ අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් නුදුන් දෙය ගැනීමෙන් වෙන් වූයේ වේ. අනුන් නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ. අනුන් කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන් බොරු කීමෙන් වෙන් වූයේ වේ. අන්‍යයන් බොරු කීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. තමන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන් වූයේ වේ. අනුන්ද මදයට හා ප්‍රමාදයට කාරණවූ රහමෙර පීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි.
’’මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායි.’’ - අංගුත්තර නිකාය, (21) සප්පුරිස වග්ගයේ සූත්‍ර කිවවා බලන්න .

A / R"මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ සත්පුරුෂයෙකැයි දතයුතු. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම අනුන්ගේ යම් නුගුණයක් ඇද්ද, එය ඇසූයේ නමුත් ප්‍රකාශ නොකරයිද, නොවිචාරණ ලද්ද කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්‍ණයෙන්, විස්තර නැතිව අනුන්ගේ නුගුණ කියන ලද්දේ වේද, මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දතයුතුයි.
’’මහණෙනි, නැවත අනිකක් කියනු ලැබේ. සත්පුරුෂ තෙමේ, අනුන්ගේ යම් ගුණයක් ඇද්ද, එය නොවිචාරණ ලද්දේ පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, අසම්පූර්‍ණ නොකොට විස්තර වශයෙන් අනුන්ගේ ගුණය කියයි. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි කියනු ලැබේ.
’’මහණෙනි, නැවතද අනිකක් කියමි. සත්පුරුෂ තෙම යමක් තමන්ගේ නුගුණයක් වේද, එය නොවිචාරණ ලද්දේද පහළ කරයි. විචාරණ ලද්දේ කියනුම කවරේද? විචාරණ ලද්දේ වනාහි ප්‍රශ්නයට නඟන ලද්දේ අඩු නොකොට, ඉතුරු නොකොට, සම්පූර්‍ණයෙන්, විස්තර වශයෙන් තමාගේ අගුණය කියන ලද්දේ වේද, මේ පින්වත් තෙමේ සත්පුරුෂයයි දත යුතුයි.
’’මහණෙනි, නැවතද අනිකක් කියමි. යමක් තමන්ගේ ගුණයක් වේද, එය අසන ලද්දේද, පහළ නොකරයි. නොවිචාරණ දේ ගැන කියනුම කවරේද? අසන ලද්දේ වනාහි ප්‍රශ්න කරණ ලද්දේ අඩුකොට, ඉතුරුකොට, අසම්පූර්‍ණයෙන්, විස්තර නැතිව තමාගේ ගුණය කියන ලද්දේ වේ. මහණෙනි, මේ පින්වත් තෙමේ සත්පුරුෂ යයි දත යුතුයි. මහණෙනි, මේ සතර ධර්‍මයන්ගෙන් යුක්තවූ සත්පුරුෂයා දත යුතුයි."

A / R.“මහණෙනි, සත්පුරුෂතෙම කුසල ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි. සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි. සත්පුරුෂ කථා ඇත්තේ වෙයි. සත්පුරුෂ වචන ඇත්තේ වෙයි. සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. සත්පුරුෂ දාන දෙන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම කුශල ධර්මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂතෙම ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. පවට ලජ්ජා ඇත්තේ වෙයි. පවට බිය ඇත්තේ වෙයි. බහුශ්‍රැත වෙයි. පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එළඹසිටි සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත් පුරුෂතෙම කුශල ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂයන් සේවනය ඇත්තේ වේද? මහණෙනි, මේ ලොකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව ඇත්තාහු, පවට ලජ්ජා ඇත්තාහු, පවට භය ඇත්තාහු, බහුශ්‍රැත වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, එළඹසිටි සිහි ඇත්තාහු, ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, ඔව්හු ඔහුගේ මිත්‍රයෝ වෙත්. ඔව්හු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ සේවනය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම තමහට දුක් පිණිස නොසිතයි. අන්‍යයන්හට දුක් පිණිස නොසිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිස නොසිතයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ කථා ඇත්තේ වේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම තමහට දුක් පිණිස කථා නොකරයි. අන්‍යයාහට දුක් පිණිස කථා නොකරයි. තමහට හා අනුන්ට දුක් පිණිස කථා නොකරයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ කථා ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ වචන ඇත්තේ වේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු වචන කීමෙන් වැළකුනේ වෙයි. ප්‍රලාප කීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ වචන ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂතෙම සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ කර්මාන්ත ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. දුන් දෙයෙහි විපාක ඇත්තේය. රැකී සිල්හි විපාක ඇත්තේය. කළ පූජායෙහි විපාක ඇත්තේය. කරනලද හොඳ කරන කර්මයන්හි ඵල විපාක ඇත්තේය. මෙලොව ඇත. පරලොව ඇත. මවට කළ හොඳ නරක දෙකෙහි, පියාට කළ හොඳ නරක දෙකෙහි විපාක ඇත. පරලොව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මේ ලොකයද පරලොකයද තෙමේ විශිෂ්ට ඥානයෙන් (මනා නුවණින්) දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද? එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ මහණ බමුණෝ ලොකයෙහි ඇත්තාහයි ගනියි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම සත්පුරුෂ දාන දේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂතෙම සකස් කොට දන් දෙයි. සියතින් දන් දෙයි. සිතින් ආදරකොට දන් දෙයි. පිරිසිදුව දන් දෙයි. විපාක සලකමින් දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ තෙම සත්පුරුෂ දාන දෙයි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll