871. “අනිත්‍ය” හා “අනිත්‍ය ලක්ෂණය” යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දොරටු 6ට අරමුණුවෙන සිතුවිලි අනිත්‍ය ලෙස බැලීමෙන් නිර්වාණ මාර්ගයේ ගමන් කළ හැකිද? තෙරුවන් සරණයි!

A. දොරටු 6ට අරමුණුවෙන “අරමුණු” හා ඒවා පිළිබඳ “සිත් / සිතුවිලි” අනිත්‍ය ලෙස බැලීමෙන් නිර්වාණ මාර්ගයේ ගමන් කළ හැකියි - නමුදු, නිවැරදි ලෙස ම “අනිත්‍ය” හා “අනිත්‍ය ලක්ෂණය” නුවණින් බැලීමෙන්.

“අනිත්‍ය, දුඃඛය, අනාත්මය යන මේ වචන නිතර අසා පුරුදු බැවින් අනිත්‍යාදි ලක්ෂණත්‍රය නො ගැඹුරු දෙයක් සේ වැටහිය හැකිය. එය නො ගැඹුරු දෙයක් නොව ගැඹුරු දෙයකි. ජීවත්වන සත්ත්වයන් කවරදා නමුත් මැරෙන බවත් අන්‍ය වස්තූන් ද කවරදා හෝ විනාශ වන බවත් සැම දෙනම දනිති. කා හටත් ඇති ඒ අනිත්‍යතා දර්ශනය විදර්ශනා භාවනාවට ප්‍රමාණ වන අනිත්‍යතා දර්ශනයෙක් නොවේ. ඒ දැනුම මාර්ගයට ඵලයට පැමිණීමට ප්‍රමාණ වන දැනුමක් නොවේ. මාර්ග ඵල ප්‍රතිලාභය සඳහා යෝගාවචරයකු විසින් දැන ගත යුතු සොයා ගත යුතු භාවනා කළ යුතු අනිත්‍ය ලක්ෂණය, එයට වඩා බොහෝ සියුම් වූ ද, ගැඹුරු වූ ද දෙයකි. සාගින්න පිපාසය හිසරදය කන් කැක්කුම බඩේ කැක්කුම යනාදිය දුක් බව හැම දෙනම දනිති. දුක් පිළිබඳ වූ ඒ දැනීම විදර්ශනාවට ප්‍රමාණ වන්නේ නොවේ. විදර්ශනා කරන යෝගාවචරයා විසින් සොයා ගත යුතු සංස්කාරයන්ගේ දුඃඛ තත්ත්වය එයට වඩා සියුම් ද ගැඹුරු වූ ද දෙයකි.

සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණ තුන පහසුවෙන් නො පෙනෙන දෙයක් ගැඹුරු දෙයක් වී තිබෙන්නේ එය සමූහ, සංස්ථාන, සන්තති, ප්‍රඥප්තීන් ගෙන් වැසී තිබෙන බැවිනි. අනිත්‍යාදි ලක්ෂණත්‍රය නුවණට හසු කර ගත හැකි වන්නේ, අවබෝධ කර ගත හැකි වනුයේ, සමූහාදි ප්‍රඥප්ති තුන නුවණින් බිඳ පියා ශුද්ධ පරමාර්ථය සොයාගත් කල්හිය. එය නො සොයා ගෙන ප්‍රඥප්ති විෂයෙහි සෙවීමට ගියාට අනිච්ඡාදි ලක්ෂණත්‍රය නො දැකිය හැකිය. >>> ....

වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේ ම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන් ගෙන් ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය.

සංස්කාරයන් ගේ ඒ වහා නිරුද්ධ වන්නා වූ ස්වභාවය බිඳෙන්නා වූ ස්වභාවය අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ලක්ෂණ ඇති සංස්කාරයෝ අනිත්‍යයෝ ය. සංස්කාරයන්ගේ බිඳෙන බව ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය යි. දිරන බව, කෘෂවන බව, ඉදිමෙන බව, මෝරන බව, වියළෙන බව, සිදුරුවන බව, පැලෙන බව, කැපෙන බව, කැඩෙන බව, කැටිවන බව, දියවන බව, පිළුණු වන බව, කුණු වන බව, ඇඟ රැලි වැටෙන බව, කුදු ගැසෙන බව, අත් පා දරදඩුවන බව, වක්වන බව, කෙස් ලොම් පැසෙන බව, අන්ධ වන බව, බිහිරි වන බව, තවත් නොයෙක් රෝග හට ගන්නා බව, මැරෙන බව යන මේවා සංස්කාරයන්ගේ භංගය වූ ප්‍රධාන අනිත්‍ය ලක්ෂණය නිසා පෙනෙන අනිත්‍ය ලක්ෂණයෝය. ...” >>> (පහත ලින්ක් එකෙන් ගොස් දිගට ම කියවන්න!)

https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/10.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll