11. භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. භික්ෂුණියක් ආරක්ෂා කළ යුතු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කවරේද?

A / T. "... 1.  යම් භික්ෂුවක් භික්ෂූන් පිළිබඳ අධිශීල ශික්ෂාවන්ට8 පැමිණියේ, උපසම්පදාව ප්‍ර‍තික්ෂේප නොකොට දුර්වල බව ද නොකියා, යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක් සමග ද මෙවුන්දම් සෙවී නම් පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වේ.

2.  යම්කිසි භික්ෂුවක් ගමින් හෝ අරණ්‍යයෙන් හෝ සොරකමට අයත් වූ නුදුන් වස්තුවක් පැහැරගනී නම්, එබඳු අන්සතු වස්තුවක් ගැනීමේදී රජවරු සොරුන් අල්වා මරත්ද, සිරකරත්ද, රටින් හෝ නෙරපා හරිත්ද, තෝ සොරෙක, බාලයෙක, මෝඩයෙක, සැඟවී සිටිය යුත්තකැයි නින්දා පරිභව කරත් ද, එබඳු දඬුවමකට තරම් වටිනාකම් ඇති අන් සතු දෙයක් පැහැරගන්නා වූ මහණතෙමේ පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වේ.

3.  යම්කිසි භික්ෂුවක් මනුෂ්‍ය ශරීරය ජීවිතේන්ද්‍රියයෙන් තොර කරයි නම්, මරණය සඳහා ආයුධ හෝ පිළියෙළ කොට තබයි නම්, මරණයෙහි අනුසස් හෝ ප්‍ර‍කාශකරයි නම් ඔබට මේ පවිටු වූ දුක්බර ජීවිතයෙන් කවර වැඩක් ද? ජීවත්වීමට වඩා ඔබේ මරණය උතුම් යයි මරණයෙහි ලා උත්සාහගන්වයි නම්, ඒ මරණු කැමති සිත් ඇතිව, කල්පනා ඇතිව, නොයෙක් අයුරෙන් මරණයෙහි ගුණවණන්නා වූ ද මරණය පිණිස උත්සාහ ගන්වන්නා වූ ද මහණ තෙමේ පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වේ.

4.  යම්කිසි භික්ෂුවක් සිය සතන්හි නූපන්නා වූ ආර්‍ය්‍ය මාර්ගඥාන දර්ශනය ඇති කරන සුළු උත්තරී මනුෂ්‍යධර්මය තමා කෙරෙහි ඇතැයි ද එය මේ කාරණයෙන් දනිමි. මේ කාරණයෙන් දකිමියි ද ප්‍ර‍කාශ කරයි. එපමණකින් ආපත්තියට පැමිණියා වූ ඒ භික්ෂුව නැවත පිරිසිදුබව කැමැතිව පසු කලෙක (අනිකකු විසින්) විචාරණ ලැබුව ද නොලැබුව ද, මම උතුරු මිනිස්දම් නොදැනම දනිමියි කීම් නම්, නොදැකම දකිමියි කීම් නම් එය නිස්සාරය, බොරු යයි කියා ද, අධිමානයෙන් තොරව කියන්නා වූ ඒ මහණ පරිජිවූයේ වෙයි. (පියවි මහණුන් සමග) සහවාසයට නුසුදුස්සෙක් ද වෙයි.

5.  යම් භික්ෂුණියක් රාගී අදහස් ඇත්තී එබඳු වූ පුරුෂයකු විසින් කරන ගෙලෙන් යට දණින් උඩ සිරුර ඇල්ලීම, පිරිමැදීම, අතින් ගැනීම, ස්පර්ශ කිරීම හා පෙළීම හෝ ඉවස ද ඇය පරිජි වූවා වෙයි. (පියවි මෙහෙණන් සමග) සහවාසයට නුසුදුසු තැනැත්තියක් ද වේ. මේ උබ්භජාණු මණ්ඩලික නම් පරිජි ඇවතයි.

6.  යම් භික්ෂුණියක් වෙනත් භික්ෂුණියක පරිජි ඇවතකට පැමිණි බව දැන දැනත් ඇයට චෝදනා නො කෙරේ, අනිකකුට ද නොදන්වයි. ඒ පරිජි අවන් මෙහෙණ ද සිවුරු හරී, නැතහොත් සිවුරෙහි හෝ සිටී. කළුරිය හෝ කෙරේ. එසේත් නැතහොත් තීර්ථකාරාමයකට හෝ යේ ද ඒ බව ද දත්තා වූ යට කී මෙහෙණ ආර්‍ය්‍යාවනි, මේ මෙහෙණ මෙබඳු තැනැත්තියක බව මම මුළදීම දනිමි. එහෙත් චෝදනා නො කෙළෙමි. කිසිවකුට ද නොදැන්වීමියි කියා නම් පරිජි වූවා වෙයි. (පියවි මෙහෙණන් සමග) සහවාසයට නුසුදුසු තැනැත්තියක් ද වේ. මේ වජ්ජපටිච්ඡාදික නම් පරිජි ඇවතයි.

7.  යම් භික්ෂුණියක්, සමගි සංඝයා විසින් දැහැමිව, විනයානුකූලව, ශාස්තෘ අනුශාසනය අනුව, උක්ෂේපනීය කර්මයෙන් බැහැර කරන ලද්දා වූ එහෙයින් අනාදර වූ, පිළියම් රහිත වූ, යහළුවන් නැත්තා වූ ද කිසියම් භික්ෂුවක් අනුව පවතීද, අවවාද හෝ පිළිගනීද, පියවි භික්ෂුණීන් විසින් ඒ මෙහෙණට මෙසේ කියයුත්තේය. නැගණියනි, මේ භික්ෂුව සමගි සංඝයා විසින් දැහැමිව, විනයානුකූලව, ශාස්තෘ අනුශාසනය නො ඉක්මවා, නෙරපන ලද්දෙකි. එහෙයින් සංඝකර්මයෙහි අනාදරය, පිළියම් රහිතය, සමාන සංවාසයක් ද නැත්තේය. නැගණියනි, ඔහු අනුව නො යව, අවවාද හෝ නො පිළිගනුවයි කියායි. මෙසේ කියනු ලබද්දීත් ඒ මෙහෙණ පෙර සේ ම දැඩිව සිටී නම් එය දුරු කිරීම පිණිස තෙවරක් ම කිය යුතුය. තෙවැනි වර දැඩි බව හළේ නම් මැනවි. නො හළේ නම් ඇය පරිජිවූවා වෙයි. (පියවි මෙහෙණන් සමග) සහවාසයට නුසුදුසු තැනැත්තියක් ද වේ. මේ උක්ඛිත්තානුවත්තක නම් පරිජි ඇවතයි.

8.  යම් භික්ෂුණියක් රාගී අදහස් ඇතිව එබඳු වූ ම පුරුෂයකුගේ i. අත හෝ ii. සිවුරු කෙළවර අල්වාගැනීම ඉවසා ද iii. සමීපයෙහි සිටී ද, iv. කථා කරයි ද v. කලින් සලකුණු කළ තැනකට හෝ යේ ද vi. පුරුෂයකුගේ ඊම හෝ බලාපොරොත්තු වේද vii. මුවහ වූ තැනකට හෝ වදී ද viii. අනාචාරය සේවනය පිණිස කය හෝ පුරුෂයාට එළවා ද ඇය පරිජිවූවා වෙයි. (පියවි මෙහෙණන් සමග) සහවාසයට නුසුදුසු තැනැත්තියක් ද වේ. (වෙන වෙන කරුණු අටකින් පරිජියට පැමිණිය හැකි හෙයින්) මේ අට්ඨවත්ථුක නම් පරිජි ඇවතයි. ..."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll