862. වයසට යනවා දකිනකොට දුකයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනිත්‍ය ගැන හිතලා කොතරම් හිත හදාගන්න උත්සහ කලත්, මම හෝ අම්මා අප්පච්චි වගේ ළඟ අය දිනෙන් දින වයසට යනකොට ලෙඩ වෙනවා දකිනකොට ඒක දරාගන්න අමාරුයි...

මේ සඳහා ගත හැකි විසදුමක් වේ නම් මැනවි. මේ සමූහයේ ඉන්න ස්වාමින් වහන්සේ නමක් හෝ විද්වත් කෙනෙක් උපදෙසක් දෙන්නෙ නම් මැනවි!

A. 1. “වෙනස් කළ හැක්ක වෙනස් කිරීමටත්, වෙනස් කළ නොහැක්ක එසේ ම භාර ගැනීමටත්, ත්‍රිවිධ රත්නයේ මහානුභාවයෙන් මාගේ සිතට ශක්තිය ධෛර්ය ලැබේවා! ලැබෙනවා ම යි” - යන මේ ප්‍රාර්ථනාව / ස්වයං යෝජනාව / ස්ථිරසාර ප්‍රකාශය ද ඒ ඒ අදාළ අවස්ථාවේ දී / නිතර භාවිතා කිරීමට ද යෝජනා කරමි.

A. 2. මම හෝ ඔබ හෝ දෙමාපියන් හෝ වෙනත් කෙනෙකු වයසට යාම, මට හෝ ඔබට හෝ දෙමාපියන්ට හෝ වෙනත් කෙනෙකුට නතර කිරීමට, පාලනය කිරීමට, වැළක්වීමට නොහැකි බව නිතර නිතර සිහි කරන්න.
[මෙය “අනාත්ම භාවනාව”කි - එනම් නොයෙක් ආකාරයෙන් “අනාත්ම භාවනාව” වඩන්න!]

A. 3. තව ද, මදක් ගැඹුරින් සිතූ කළ - මම, මගේ, සත්වයකුගේ, පුගලයකුගේ, කෙනෙකුගේ වයසට යාමක් නැතත් / නොවෙතත්, අප එසේ සිතනා බැවින් මම - මාගේ හෝ වෙනත් කෙනෙකු වයසට යන විට භය / දුක උපදින බැවින් පහත සූත්‍ර මුළුමනින්ම කියවා, මැනවින් තේරුම් ගෙන, ඒ අනුව නිතර නිතර සිතන්න.

“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තොපට මමය මාගේයයි ගැනීමෙන් වන භයද මමය මාගේයයි නොගැනීමෙන් වන භය දුරුවීමද දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්, මෙනෙහි කරව්, කියන්නෙමි.” ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනි” භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි, කෙසේ නම් මමය මාගේයයි ගැනීමෙන් වන භය ඇතිවේද?

“මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ, ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙම රූපස්කන්ධය මමයයි දකී. රූපසහිතවූවක් හෝ මම යයි දකී. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි දකී. රූපස්කන්ධය කෙරෙහි හෝ මා ඇතැයි දකී. ඔහුගේ ඒ රූපස්කන්ධය වෙනස්වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ රූපය වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොට ගෙන රූපය පෙරළීමට අනුව පෙරලුණු විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ රූපස්කන්ධය වෙනස්වීම නිසා වෙනස්වූ විඤ්ඤාණයයෙන් උපන් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොට ගෙන භය සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙයි. අල්ලාගෙන සිටිති. වේදනාව මමයයි දකියි. වේදනා සහිතවූවක් හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි දකියි. වේදනාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. වේදනාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම හේතුකොටගෙන ඔහුගේ සිතද වේදනා පරිවර්තනයට අනුව පරිවර්තනයවෙයි. වේදනාවට අනුව පරිවර්තනයවූ සිතින් හට ගත් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුශල චිත්තයාගේ මැඩපැවැත්වීම හේතු කොටගෙන භය සහිත වූයේද වෙයි. දුක්සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තාෂ්ණාවෙන් ගැනීම නිසා භය වන්නේය.”

“සංඥාව මමයයි දකියි. සංඥා සහිතවූවක් හෝ මමයයි දකියි මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි දකියි. සංඥාවෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. සංඥාව වෙනස්වීම අන්අයුරකට පැමිණීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංඥාවට අනුව පරිවර්තනයවූ, විඤ්ඤාණයෙන් හටගත් තණ්හා සහ භය යන අකුසලධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල චිත්තයාගේ මැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිතවූයේද වෙයි. දුක්සහිතවූයේද වෙයි. ආලය සතිතවූයේද වෙයි. තණ්හාවෙන් ගැනීම හේතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.

“සංස්කාරයන් මමයයි දකියි සංස්කාර ඇත්තක්හු හෝ මමයයි දකියි. සංස්කාර මාකෙරෙහි ඇතැයි හෝ දකියි. සංස්කාරයන්හි මම ඇතැයි හෝ දකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. අන් අයුරකට පැමිණෙත් සංස්කාරයන්ගේ වෙනස්වීම අන් අයුරකට පැමිණීම හේතු කොටගෙන සංස්කාරයන්ගේ වෙනස්වීම අනුව විඤ්ඤාණයද වෙනස්වේ. සංස්කාරයන්ගේ වෙනස්වීමට අනුව වෙනස්වූ විඤ්ඤාණයෙන් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි. ආලය සහිත වූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම හේතුකොටගෙන භයට පැමිණෙන්නේද වෙයි.

“විඥානය මමයයි දකියි. විඥානය ඇත්තහු හෝ මමයයි දකියි. මා කෙරෙහි හෝ විඥානය ඇතැයි දකියි. විඥානයෙහි හෝ මම ඇතැයි දකියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. විඥානයාගේ වෙනස්වීම පෙරළීම නිසා ඔහුගේ සිතද විඥානය අනුව පෙරළෙන්නේ වෙයි. විඤ්ඤාණයාගේ පෙරලීමට අනුව පෙරලුණු සිතින් උපන් තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන සිටිත්. කුසල් සිත මැඩපැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද වෙයි. දුක් සහිත වූයේද වෙයි ආලය සහිතවූයේද වෙයි. තෘෂ්ණාවෙන් ගැනීම නිසා භයට පැමිණෙන්නේද වෙයි.

“මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් ගැනීම නිසා වන භය ඇතිවෙයි. මහණෙනි, කෙසේ නම් තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇති නොවන්නේද? මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ ආර්‍ය්‍ය ධර්මයෙහි හික්මුනාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ බහුශ්‍රැතවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපස්කන්ධය මමයයි නොදකියි. රූපස්කන්ධය ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ රූපස්කන්ධය ඇතැයි නොදකියි. රූපස්කන්ධය කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ රූපය විනාශවෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ රූපය වෙනස්වීම හේතුකොට ඔහුගේ විඤ්ඤාණයද රූපය වෙනස් වීමට අනුව වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත මැඩ නොපැවැත්වීම නිසා භය සහිත වන්නේ නොවෙයි. දුක් සහිත වන්නේ නොවෙයි. ආලය සහිත වන්නේ නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේය.

“වේදනාව මමයයි නොදකියි. වේදනා ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ වේදනාව ඇතැයි නොදකියි. වේදනාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරලෙයි. ඔහුගේ වේදනාව වෙනස්වීම පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද වේදනාවට අනුව වෙනස් නොවෙයි. වේදනාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණා භයවන අකුශල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක්සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.

“සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. සංඥාව ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංඥාව ඇතැයි නොදකියි. සංඥාව කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරලෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීම, පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද සංඥාව අනුව වෙනස් නොවෙයි. ඔහුගේ සංඥාව වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තණ්හා භය වන අකුසල ධර්මයෝ කුසල් සිත නොමැඩ පවත්වයි. කුසල් සිත නොමැඩ පැවැත්වීම නිසා භය සහිත වන්නේද නොවෙයි. දුක් සහිත වන්නේද නොවෙයි. ආලය සහිත වන්නේද නොවෙයි. තණ්හාවෙන් නොගැනීම නිසා භය නැත්තේද වෙයි.

“සංස්කාරයන් මමයයි නොදකියි. සංස්කාර ඇත්තහු හෝ මමයයි නොදකියි. මා කෙරෙහි හෝ සංස්කාර ඇතැයි නොදකියි. සංස්කාරයන් කෙරෙහි හෝ මම ඇතැයි නොදකියි. ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ ඒ සංස්කාර වෙනස්වීම් අන් ආකාරයකට පෙරලීම හේතුකොටගෙන විඤ්ඤාණයද සංස්කාරයන්ගේ පෙරලීමට අනුව පෙරලෙන්නේ නොවේ. සංස්කාරයන් පෙරලීමට අනුව වෙනස් වීමෙන් හටගත් තෘෂ්ණා භය වන අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිත වූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිත වූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට නොපැමිණෙන්නේද වෙයි.

“විඥානය මමයයි නොගනියි. මා කෙරෙහි හෝ විඥානය නොවේයයි නොදකියි. විඥානයෙහි හෝ මම ඇතැයි නොදනියි. ඔහුගේ ඒ විඥානය වෙනස්වෙයි. අන්අයුරකට පැමිණෙයි. ඔහුගේ විඥානය වෙනස්වීම අන්අයුරකට පැමිණීම හේතුකොටගෙන විඤ්ඤාණය වෙනස්වීමට අනුව සිත වෙනස් නොවෙයි. විඤ්ඤාණය වෙනස්වීමට අනුව වෙනස්වීමෙන් උපදනා තෘෂ්ණාව භය අකුශල ධර්මයෝ ඔහුගේ කුසල් සිත මැඩගෙන නොසිටිත්. කුසල් සිත නොමැඩ පැවැත්වීම හේතුකොටගෙන භය සහිතවූයේද නොවෙයි. දුක් සහිතවූයේද නොවෙයි. ආලය සහිතවූයේද නොවෙයි. තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භයට පැමිණෙන්නේද නොවෙයි. මහණෙනි, මෙසේ වනාහි තෘෂ්ණාවෙන් නොගැනීම නිසා භය ඇතිවන්නේ නොවෙයි.”

https://pitaka.lk/main?n=231022

““මහණෙනි, තොපට දැඩිසේ ගැනීමෙන් තණ්හාවෙන් වෙන භයද, දැඩිසේ නොගැනීමෙන් වන නිර්භයද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි.

“මහණෙනි, කෙසේනම් දැඩිසේ ගැනීමෙන් වන භයවේද? මහණෙනි, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ මේ රූපය මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි රූපය දකියිද ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. අන් ආකාරයකට පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම නිසා සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ වේදනාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි වේදනාව දකියිද, ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. පෙරලෙයි. ඕහට වේදනාව වෙනස්වීම පෙරලීම හේතුකොට ගෙන ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ සංඥාව මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි. සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස් වෙයි. පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීම, පෙරලීම හේතු කොට ගෙන සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ සංස්කාරයෝ මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි සංස්කාරයන් දකියිද, ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස් වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මේ විඥානයෝ මගේය මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි විඥානය දකියිද, ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන් පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ උපදිත්.

“මහණෙනි, මෙසේ වනාහි ගැනීම හේතුකොටගෙන භය ඇතිවෙයි, මහණෙනි, කෙසේනම් දැඩිව නොගැනීම හේතු කොට ගෙන නිර්භය වේද, මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ මෙය මාගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේ යයි රූපය දකියි ඔහුගේ ඒ රූපය වෙනස්වෙයි. පෙරළෙයි. ඕහට රූපයාගේ වෙනස්වීමෙන් පෙරලීමෙන් සෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවේය මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි වේදනාව දකියිද ඔහුගේ ඒ වේදනාව වෙනස්වෙයි. පෙරළෙයි. ඔහුට වේදනාවගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංඥාව දකියිද, ඔහුගේ ඒ සංඥාව වෙනස්වෙයි පෙරළෙයි. ඔහුට සංඥාවේ වෙනස්වීමෙන් පෙරලීමෙන් ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි සංස්කාරයන් දකියිද? ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස්වෙත්. පෙරළෙත්. ඕහට සංස්කාරයන්ගේ වෙනස්වීමෙන්, පෙරලීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්.

“මෙය මගේ නොවෙයි මෙය මම නොවෙමි මෙය මාගේ ආත්මය නොවේයයි විඥානය දකියිද ඔහුගේ ඒ විඥානය වෙනස් වෙයි. පෙරළෙයි. ඕහට විඥානයාගේ වෙනස්වීමෙන්, පෙරළීමෙන් සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නූපදිත්. මහණෙනි, මෙසේ වනාහි දැඩිව නොගැනීමෙන් නිර්භය ඇතිවේයයි” වදාළ සේක.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll