280. උපදිනකොට ම සිත ප්‍රභාශ්වර ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ළදරුවකු උපදින විට ප්‍රභාෂ්වර සිතක් ඇතැයි පැවසේ.
පෙර භවයන් හී අධික ලෙස අකුසල් කල, මස් මරන්නෙකු (Butcher) වැනි අයෙකුට ද එසේ ප්‍රභාෂ්වර සිතක් සහිතව ඊලඟ භවයේදී උපදීද?

A. "පදුට්ඨෙන යනු ආගන්තුකව පැමිණි අහිධ්‍යාදී දොස්වලින් අතිශයින් දූෂ්‍යවු සිතයි. ප්‍රකෘති මනස නම් භවාංග විත්තයයි. එය අප්‍රදුෂ්‍යයි. පිරිසිදුයි. යම්සේ පැහැදිලි ජලය ආගන්තුකව පැමිණෙන නීලවර්ණාදියෙන් කිලිටිවු කල නිල්දිය ආදි භේදවලට පැමිණේද, ඉන්පසු එය අලුත් ජලයක් නොවුණත් පෙර පැවති ජලයද නොවේ. ඒ ආකාරයෙන් සිතද ආගන්තුකවු අහිධ්‍යාදී දොස්වලින් ප්‍රදූෂ්‍ය වන්නේවෙයි. ඉන්පසු එය අලුත් සිතක්ම හෝ පෙර තිබුණු සිත හෝ නොවෙයි. මේද භවාංග සිතමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙට්ඨෙහි උපක්කිලෙසං’ මහණෙනි මේ සිත ඉතා ප්‍රභාස්වරයි නමුත් එය ආගන්තුක උපක්කිලෙස නිසා කිලිටිවුයේ වෙයි. ‘මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොතිවා’ යනු පුද්ගලයා කථා කරන විට චතුර්විධ වාග් දුශ්චරිතයම කරයි. එසේ සිටින විට ඒ අහිධ්‍යාදී ප්‍රදූෂ්‍යවූ මනසක් ඇති නිසා ත්‍රිවිධ මනෝදුශ්චරිත පුරයි. මෙසේ ඔහුට දසඅකුසල කර්මපථ සම්පුර්ණ වේ.


[පදුට‍්ඨෙනාති ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨෙන. පකතිමනො හි භවඞ‍්ගචිත‍්තං, තං අපදුට‍්ඨං. යථා හි පසන‍්නං උදකං ආගන‍්තුකෙහි නීලාදීහි උපක‍්කිලිට‍්ඨං නීලොදකාදිභෙදං හොති, න ච නවං උදකං, නාපි පුරිමං පසන‍්නඋදකමෙව, තථා තම‍්පි ආගන‍්තුකෙහි අභිජ‍්ඣාදීහි දොසෙහි පදුට‍්ඨං හොති, න ච නවං චිත‍්තං, නාපි පුරිමං භවඞ‍්ගචිත‍්තමෙව, තෙනාහ භගවා – “පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.49). එවං මනසා චෙ පදුට‍්ඨෙන, භාසති වා කරොති වා සො භාසමානො චතුබ‍්බිධං වචීදුච‍්චරිතමෙව භාසති, කරොන‍්තො තිවිධං කායදුච‍්චරිතමෙව කරොති, අභාසන‍්තො අකරොන‍්තො තාය අභිජ‍්ඣාදීහි පදුට‍්ඨමානසතාය තිවිධං මනොදුච‍්චරිතං පූරෙති. එවමස‍්ස දස අකුසලකම‍්මපථා පාරිපූරිං ගච‍්ඡන‍්ති.]"

A / R. “පෘථග්ජන පුද්ගලයන් සතර දෙනා නම්: දුර්ගති අහේතුක පුද්ගලයා ය, සුගති අහේතුක පුද්ගලයා ය, ද්විහේතුක පුද්ගලයා ය, ත්‍රිහේතුක පුද්ගලයා ය යන මොවුහු ය.

මේ පුද්ගලයන් භේදයට පැමිණෙන්නේ ප්‍ර‍තිසන්ධි චිත්තයෙනි. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝ ය. කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ සුගති අහේතුකයෝ ය. මහා විපාක ඤාණ විප්පයුත්ත සිත් සතරෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ද්විහේතුකයෝ ය. මහා විපාක ඥාන සම්ප්‍ර‍යුක්ත සතර ය, මහග්ගත විපාක නවය ය යන සිත් දහතුනෙන් ප්‍ර‍තිසන්ධිය ලැබුවෝ ත්‍රිහේතුකයෝ ය.”

R. "චිත්තයාගේ ආයුෂය ඉතා කෙටි බැවින් එය සැණෙකින් බිඳෙන්නේ ය. එක පිට එක පිහිටි වස්තු සමූහයක යටි දෙය ඇද ගතහොත් එය මත තිබෙන දෙය එතැනට වහා පැමිණෙන්නාක් මෙන් ප්‍ර‍තිසන්ධි සිත නිරුද්ධ වනු සමග ම චිත්ත පරම්පරාවේ අතරක් නො දැනෙන ලෙස ඒ ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් ගත් අරමුණ ම ගෙන ප්‍ර‍තිසන්ධි චිත්තය හා සර්වාකාරයෙන් සමාන වූ සිතක් ඉපදීම් වශයෙන් එතැනට පැමිණේ. එය නිරුද්ධ වනු සමග ම ඒ ජාතියේ ම තවත් සිතක් එතැනට පැමිණේ. මෙසේ ඒ සිත් පරම්පරාව අන් සිතක් උපදනා සෑම අවස්ථාවකදී ම පවත්නේ ය. භවය යනු ද සත්ත්වයා යනු ද පුද්ගලයා යනු ද එසේ එකින් එකට පෙර පසුවී උපදනා නාමරූප ධර්ම පරම්පරාවන්ට කියන නාමයෝ ය. ඒ නාමරූප ධර්ම පරම්පරාවන් ගේ නො සිඳී පැවැත්වීමට ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් පටන් ගත් ඒ චිත්ත පරම්පරාව අතිශයින් උපකාර වන බැවින් එයට භවාංග යන නම ව්‍යවහාර කරනු ලැබේ. අංග යනු අර්ථ කීපයක වැටෙන නාමයකි. භවාංග යන තන්හි අංග යන වචනය වැටෙන්නේ “හේතුව” යන අර්ථයෙහි ය. “භවාංග” චිත්ත යන වචනයේ තේරුම භවයාගේ පැවැත්මට ඉවහල් වන සිත ය යනුයි. රූපාදි නානාරම්මණයන් ගන්නා වූ ද, නා නා ක්‍රියාවන් සිදු කරන්නා වූ ද, ආගන්තුක චිත්ත පරම්පරාවෝ භවාංග චිත්ත පරම්පරාවෙන් ම නැඟ එන්නෝ ය. අන් කරුණක් පිළිබඳ වූ සිත් නූපදනා සෑම අවස්ථාවේ ම භවාංග චිත්ත පරම්පරාව නො සිඳී පවතී. ඒ භවාංග චිත්තයට මූල චිත්තය යි ද ප්‍ර‍කෘති චිත්තය යි ද කියනු ලැබේ. නොයෙක් කරුණු පිළිබඳ ව උපදනා වීථි චිත්තයන්ගේ උත්පත්තියට හේතු වන බැවින් එයට මනෝද්වාරය යි ද කියනු ලැබේ.

බුදුන් වහන්සේ විසින් “පභස්සරමිදං භික්ඛවෙ චිත්තං” යි සිත පැහැපත් දෙයකැයි වදාළේ ද මේ භවාංග චිත්තය ගැන ය. එහි පැහැපත් බව නම් පරිශුද්ධත්වය යි. ඒ පරිශුද්ධත්වය ඔපයක් වැනි ය. සමීපයේ ඇති දේවල ඡායා තමන් තුළට ගන්නා බව ඔපයේ ස්වභාවය ය. එබඳු ස්වභාවයක් භවාංග චිත්තයෙහි ඇත්තේ ය. රූප ශබ්දාදි සකලාරම්මණයන්ගේ ම ඡායා භවාංග චිත්තයෙහි ස්පර්ශ වන්නේ ය. ඒ අරමුණු චක්ෂුරාදියෙහි සැපුණේ වී නමුත් මනෝද්වාර සංඛ්‍යාත භවාංග චිත්තයෙහි නො සැපුනේ නම් දැකීම් ඇසීම් ආදි වශයෙන් පහළ වන සිත් පහළ නොවේ. සිත් පහළ වනුයේ භවාංග චිත්තයෙහි අරමුණු ගැටීමෙන් ය. භවාංග චිත්තයෙහි අරමුණු ගැටීම පඤ්චද්වාරානුසාරයෙන් ද වේ. පඤ්චද්වාර සම්බන්ධයක් නැතිව ද වේ. යම් කිසි අරමුනක් භවාංග චිත්තය නමැති ඔපයෙහි නො සැපුණ හොත් එතෙක් ඒ පුද්ගලයාගේ සන්තානයෙහි භවාංග සිත් ම මිස අනෙකක් පිළිබඳ සිතක් නූපදී. නිදන අවස්ථාව සත්ත්වයන් තුළ භවාංග සිත් පමණක් උපදනා අවස්ථාවෙකි. එහෙත් සිහින දැකීම වනුයේ භවාංගයෙහි අරමුණු ගැටී වීථි සිත් පහළ වීමෙනි."

“පභස්සරමිදං, භික්ඛවෙ, චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං”

T. "එවමෙව යනු උපමාව ඉදිරිපත් කිරීමයි. චිත්තෙ සංකිලිට්ඨෙ චිත්තයාගේ කිලිටි බවක් ඇති කල්හි කවර හෙයකින් භාග්‍යවතුන් වහන්සේ කිලිටි වස්ත්‍රයකින් උපමාව කළේද යත්, උත්සාහයාගේ ප්‍රතිඵලය දැක්වීම පිණිසයි. යම්සේ අමුතුවෙන් පැමිණි කිලිටිවලින් කිලිටි වූ වස්ත්‍රය පියොවින්ම පඬුවන් පැහැ ඇති බැවින්, නැවත සෝදන්නේද, පඬුවන් පැහැයම වේ. එහි උපතින්ම කළු වූ එළු ලොමෙහි මෙන් ව්‍යායාමය නිෂ්ඵල වූයේ නොවේද, එසේ සිතද, ආගන්තුක වූ කෙලෙසුන්ගෙන් කිලිටි වූයේ, ස්වභාවයෙන්ම එය සියලුම පටිසන්ධි භවාංග වාරයෙහි, පඬුවන් වූයේම වෙයි. වදාළේමය. පභස්සරමිදං භික්ඛවෙ, චිත්තං තඤ්චඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං (මහණෙනි, මේ භවාංග චිත්තය පිරිසිදුය. එය ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙයි.) එය පිරිසිදු කරනු ලබන්නේ පිරිසිදු කළ හැකිය. ඒ සඳහා වූ උත්සාහය නිෂ්ඵල නොවේ. මෙසේ උත්සාහයාගේ සඵල බව දැක්වීම පිණිස කිලිටි වස්ත්‍රයෙන් උපමාව කළේයයි දතයුතුයැ.


[එවමෙව ඛොති උපමාසම‍්පටිපාදනං. චිත‍්තෙ සංකිලිට‍්ඨෙති චිත‍්තම‍්හි සංකිලිට‍්ඨම‍්හි. කස‍්මා පන භගවා සංකිලිට‍්ඨවත්‍ථෙන ඔපම‍්මං අකාසීති චෙ, වායාමමහප‍්ඵලදස‍්සනත්‍ථං. යථා හි ආගන‍්තුකෙහි මලෙහි සංකිලිට‍්ඨං වත්‍ථං පකතියා පණ‍්ඩරත‍්තා පුන ධොවීයමානං පණ‍්ඩරං හොති, න තත්‍ථ ජාතිකාළකෙ විය එළකලොමෙ වායාමො නිප‍්ඵලො හොති, එවං චිත‍්තම‍්පි ආගන‍්තුකෙහි කිලෙසෙහි සංකිලිට‍්ඨං. පකතියා පන තං සකලෙපි පටිසන්‍ධිභවඞ‍්ගවාරෙ පණ‍්ඩරමෙව. යථාහ – “පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.51). තං විසොධීයමානං සක‍්කා පභස‍්සරතරං කාතුං, න තත්‍ථ වායාමො නිප‍්ඵලොති එවං වායාමමහප‍්ඵලදස‍්සනත්‍ථං සංකිලිට‍්ඨවත්‍ථෙන ඔපම‍්මං අකාසීති වෙදිතබ‍්බො.]"

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll