Q. කායගතාසතිය පවත්වන විට (කායානුපස්සනාව / ඉරියාපථ භාවනාව කරන විට) "කරන ක්‍රියාව සම්බන්ධයෙන්" සිහිය පැවැත්වීමට, අප එම ක්‍රියා, වචනයෙන් මෙනෙහි කළ යුතුද? එසේ නැතිනම් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වන සමස්ත ශරීර ක්‍රියාවලිය ගැන දැනුවත්ව සිටීම පමණක් ප්‍රමාණවත්ද?
ප්‍රශ්නයට අදාළ නිමිත්ත:-
එක්තරා භාවනා දේශනයක උදාහරණයක් ගෙන හැර පෑවා, සක්මන් කරන විට වම් කකුල ඉස්සෙනවා, ටිකක් එහාට යනවා, කකුල බිම පතිත වෙනවා... දකුණු කකුල ඉස්සෙනවා එහාට යනවා පතිත වෙනවා ආකාරයෙන්, මනසින් වාක්‍ය වැලක් කිව යුතු ආකාරයක් ගැන..
මෙතැනදී පරහක් එනවා.... දානය වැළඳීමේ ක්‍රියාව සිහි කළ යුත්තේ, දානය වළඳනවා කියලද? කටේ හකු ඇරෙනවා, බත් ගුලියක් සහිත අත ඉස්සෙනවා, කටට බත් ගුලිය ඇතුල් වෙනවා, කට වැහෙනවා, දත් එකට ගැටෙනවා, කෑම තැලෙනවා, ආදියෙන්ද.........? එසේත් නැතිනම් කිසිදු වචන මෙනෙහි කිරීමකින් තොරව සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සාවධාන වීම ද නිවැරැදි ක්‍රමය?
A. 1. වචනයෙන් (සිතින්) මෙනෙහි කොට දැන ගැනීම ද අවශ්‍ය බව “මහා සතිපට්ඨාන සූත්‍රය” අනුව පෙනේ - සිත බාහිරට නොවිසිරීම, තැන්පත් වීම, සිහිය - වීර්ය - ප්‍රඥාව වැඩීම ද ඉන් අපේක්ෂිත ය.
2. වචනයෙන් (සිතින්) මෙනෙහි නොකොට, ක්‍රියාව / ක්‍රියා / සමස්ත ක්‍රියාවලිය දැන ගැනීම දක්වා ම සිහිය දියුණු වීම සිදුවන බව සිතේ.
3. වචනයෙන් (සිතින්) මෙනෙහි කොට හෝ නොකොට, දැන ගන්නා සෑම ක්‍රියාවක් ම “සත්ත්ව-පුද්ගල සංඥාව” දිය වී යන ආකාරයෙන් ප්‍රඥාවෙන් ම පැවැත්විය යුතු බව “මහා සතිපට්ඨාන සූත්‍ර අටුවාව” අනුව හා “දිට්ඨි විශුද්ධිය” අනුව පෙනේ.
{“ප්‍රධාන ක්‍රියා” පමණක් මෙනෙහි කිරීමට වඩා “අනු-ක්‍රියා” (ක්‍රියාවලිය) මෙනෙහි කිරීම තීක්ෂණ බව කිව හැකිය - සිහිය - වීර්ය - ප්‍රඥාව වැඩීම ද ඒ අනුව කිව යුතු ය - මෙය පුද්ගලානුබද්ධය (පුද්ගලයාගේ සිහිය - වීර්ය - ප්‍රඥාව අනුව වෙනස් විය හැක). එමෙන් ම භාවනාවේ කාලය / වැඩීම / වර්ධනය අනුව වෙනස් විය හැක.}
Q. සිහිය සියලු අර්ථය සිදුකර දෙන ධර්මතාවක් බව සඳහන් වන සූත්‍ර දේශනාවක් ත්‍රිපිටකය තුල තිබෙනවා ද?
A / S. “මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමති විය යුතු යයි මම කියමි යි.”
“සතිං ඛ‍්වාහං භික්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමීති”
“සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී.”
“තුන්වැන්නෙහි - සතිඤ්ච ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි - ලුණු දමා රසවත් කිරීම මෙන් සියලු තන්හි කැමති විය යුතුදෙය කියමි යන අරුතයි. යම්සේ වනාහී ලුණු දමා රසවත් කිරීම සියලුම ව්‍යඤ්ජනයන්හිදී සිදු කෙරේද, එසේම සියලු කටයුතු කරන ඇමතිවරයෙක් යුද්ධ කාර්යය ද, මන්ත්‍රීකාර්යයද, දොරටුපාල කාර්යය ද යන සියලු කටයුතු සිදු කරයි. එසේම නොසන්සුන් වූ සිතට නිග්‍රහ කිරීම ද, අලස බවට පත්වූ සිතට ධෛර්යය ලබා දීම ද යන මේ සියල්ල සිහියෙන් ම සිදු කරයි. සිහියෙන් තොරව මෙය ඉටු කිරීමට නො හැක්කේය. එබැවින් මෙසේ කීය. මේ සූත්‍රයෙහි විදර්ශනා පූර්වභාග වූ සම්බොජ්ඣඞ්ගයම කියන ලදී.”
“සතිඤ්ච ඛවාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි මෙහි සබ්බත්‍ථක යයි ද පාඨයකි. දෙතැන්හිම සියලු තන්හි කැමතිවිය යුතුය යන අරුතම ලැබෙයි. මෙසේ හෙයින් ලීන උද්ධච්ච දෙකට ප්‍රතිපක්‍ෂ හෙයින්ද සතිය සබ්බත්‍ථික හෙයින් බොජ්ඣංග සතක්ම අඩුවැඩි නැතිව වදාරණ ලද බව දතයුතුය.”
[“සබ්බත්ථික - MS - ති. - සෑම වේලෙහි ප්‍රයෝජන ඇති.”]
“සති ඛ්වාහං භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමි” යි වදාළ හෙයින් සිත අලස ව පවත්නා වූ ද නො සන්සුන් ව පවත්නා වූ ද සැම කල්හි ම සිහිය වුවමනා ය. එබැවින් සතිසම්බොජ්ඣංගය සියලු කල්හි පැවැත්විය යුතු ය.”
“නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සිහිය කවර ලක්ෂණ දැ?”යි කීහ. “මහරජානෙනි, සිහිය සම්ප්‍රයුක්තධර්මයන් (40) සිහි කරවීම ස්වභාව කොට ඇති අපිලාපන ලක්ෂණ ද, උපගණ්හන ලක්ෂණ ද වෙ”යි කීසේක. ස්වාමීනි, අපිලාපනලක්ෂණ වූ සිහිය කෙසේ දැ?”යි කීහ. “මහරජානෙනි, උපදනා වූ සිහිතොම ‘මේ සතර සතිපට්ඨානයෝ ය, මේ සතර සම්‍යක්ප්‍රධානයෝ ය, මේ සතරසෘද්ධිපාදයෝ ය, මේ පඤ්චේන්ද්‍රියෝ ය, මේ පඤ්චබලයෝ ය, මේ සප්ත බොද්ධ්‍යංගයෝ ය මේ අෂ්ටාංගිකමාර්ග ය, මේ සමථභාවනා ය, මේ විදර්ශනා ය, මේ අෂ්ටවිද්‍යා ය, මේ පඤ්චවිමුක්ති ය”යි කියා කුශලාකුශල සාවද්‍යානවද්‍ය හීනප්‍රණීත කෘෂ්ණශුක්ල ප්‍රතිභාගධර්මයන් අරමුණු කර වන්නේ ය. එහෙයින් යොගාවචරතෙම සෙවිතව්‍යධර්මයන් සෙවනය කෙරෙයි. අසෙවිතව්‍යධර්මයන් සෙවනය නොකෙරෙයි. භජනය කළ මනා වූ ධර්මය භජනය කෙරෙයි. භජනය නො කළ මනා වූ ධර්මයන් භජනය නො කරන්නේ ය. මහරජානෙනි, අපිලාපනලක්ෂණ වූ ස්මෘතිතොම මෙබඳු ය”යි කීසේක.
“ස්වාමීනි තවත් උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. ...”