723. නිවන් දැකිය හැකි කර්ම මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කර්මය අපිට නිවන් මගට උදව් නැතහොත් උපකාර වන ආකරය පැහැදිළි කර දක්වන්න පුලුවන්ද ???

A. “... මේ කාරණය මෙසේය, ..., දන් දෙන්ට සුදුසුමය. පින් කරන්ට සුදුසුමැයි. දෙවිවූවහුටද උපකාරයෝ පින්ය. මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය. පැවිදිවූවහුටද උපකාරයෝ පින්ය. ...”
https://pitaka.lk/main?n=30131

A. “නිවනට පැමිණිය හැක්කේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය, අනාගාමී මාර්ග ඥානය, අර්හත් මාර්ග ඥානය යන ලෝකෝත්තර ඥානයන් ස්වසන්තානයෙහි උපදවා ගැනීමෙනි.

බෝධි යනු ඒ ලෝකෝත්තර ඥානවලට ව්‍යවහාර කරන තවත් නමෙකි. බෝධි නම් වූ ලෝකෝත්තර ඥානයන් ලැබීමට - ඇතිකර ගැනීමට උපකාර වන ධර්ම සමූහයක් ඇත්තේ ය. එයට බෝධි පාක්ෂික ධර්මය යි කියනු ලැබේ. අත්‍යුත්තම වූ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා කළ යුතු දෙය නම් බෝධිපාක්ෂික ධර්ම වැඩීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් ශීල සමාධි ප්‍ර‍ඥා තුන ඇති කිරීමය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් ශීල විශුද්ධ්‍යාදි විශුද්ධි සත සම්පාදනය කිරීමය. බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම ය කියා කළ යුතු දෙය ශීලයෙහි පිහිටීම හා ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය. උගත්කම උගෙනීමෙන් ම මිස මිළයකින් නො ලැබිය හැකි ය. එමෙන් කියන ලද ලෝකෝත්තර ඥානය බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම් වශයෙන් ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් මිස දන් දීමෙන් හෝ ගොඩනැගිලි කරවීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ නො ලැබිය හැකි බව ද සැලකිය යුතු ය. ....

සතිපට්ඨානය, සම්මප්පධානය, ඉඬිපාදය, ඉන්ද්‍රිය ය, බලය, බොජ්ඣංගය, මග්ගංගය යි බෝධිපාක්ෂික ධර්ම කොටස් සතෙකි.

සතිපට්ඨාන සතරක් ද, සම්මප්පධාන සතරක් ද, ඉඬිපාද සතරක් ද, ඉන්ද්‍රිය පසක් ද, බල පසක් ද, බොජ්ඣංග සතක් ද, මග්ගංග අටක් ද වීමෙන් බෝධිපාක්ෂික ධර්මයෝ සතිස් දෙනෙක් වෙති.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/2.html

A. “සැප සොයන පින් කරන අය විසින් බලාපොරොත්තු විය යුත්තේ කලකදී පිරිහී නොයන ස්ථිර සම්පත්තියකි. ස්ථිර සම්පත්තිය නම් නිර්වාණ සම්පත්තිය ය. එය වැඳුම් පිදුම් කිරීම ආදී කාමාවචර කුසල් වලින් ලැබිය හැක්කක් නො වේ. ඒවා නැතිවද එය නො ලැබිය හැකිය. කාමාවචර කුශලය නිවන් ලැබිය හැකි ත්‍රිහේතුක උත්පත්තියක් ලබා දෙන්නේය. එහි සිට විදසුන් වඩා මඟඵල ලබා ස්ථිර සම්පත්තිය වන නිවනට පැමිණිය හැකිය. අකුශලයෙන් ලබා දෙන අහේතුක ආත්ම භාවයක සිට නිවන් නො ලැබිය හැකිය. නිවන් ලබා දෙන නිවනට පමුණුවන ශක්තිය කාමාවචර කුශලයෙහි නැත ද කාමාවචර කුශලය කොට මේ කුශලය මට නිවන් ලැබීමට හේතු වේවා යි පැතුවාම එය නිවන් ලැබීමට උපකාර වේ. කාමාවචර කුශලයේ උපකාරය නො මැතිවම නිවන් නො ලැබිය හැකිය.”
https://pitaka.lk/books/punyopadeshaya/36.html

(මෙය ද කියවන්න)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll