151. නෙළුම් මල් හතක් ඇත්තට ම පිපුණා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සිදුහත් කුමරු උපන් විගස පියවර හතක් තබන විට දී නෙලුම් මල් / පියුම් හතක් ඇත්තට ම පිපුණ ද?

A. "... පාරමිතාධර්මයන් සම්පූර්ණ කෙරෙමින් තුසී නම් දෙවුලොව ඉපිද දසදහසක් සක්වළ දිව්‍යබ්‍ර‍හ්මයන්ගේ ආරාධනාවෙන් තුසීපුරයෙන් චුත ව මහාසම්මතපරම්පරානුයාත විසුද්ධසූර්යවංශොද්භූත ව සුද්ධෝදන නම් මහරජානන් නිසා අමායාභූත වූ මහාමායාදෙවීන් කුස (295) ඉපද දසඑකඩමසින් මහාබ්‍ර‍හ්මයාගේ අතට බිහි ව බඹ සුර නරන් අතින් ක්‍ර‍මයෙන් ගොස් භූමියට පැමිණ *පුණ්‍යමහිමයෙන් පෘතිවි ප්‍ර‍දාලනය කොට පැන නැංගා වූ සත්බුමුමහපියුම්පිටින් සත්පියවරක් නිරුත්තර වූ උත්තර දිශාභිමුඛ ව වඩුත් ශ්‍රීශරීරයෙන් නිකුත් ස්වර්ණාලොකයෙන් තුන්ලෝ උතුරුවා ලොකාන්තරිකමහානරක හිරුදහස් සඳුදහස් නැඟී කලක් සේ එකාලොක කෙරෙමින් සප්තපදව්‍යතිහාරාවසානයෙහි වැඩ සිට දසදිසා විලොකනය කෙරෙමින් ‘අග්ගො ‘හමස්මි ලොකස්ස, ජෙට්ඨො ‘හමස්මි ලොකස්ස, සෙට්ඨො ‘හමස්මි ලොකස්ස යනාදීන් දසදහසක් සක්වළට ඇසෙන සේ අභීතකෙසරසිංහනාද පතුරුවා ..."

*මිලින්ද ප්‍රශ්න පාළියෙහි (https://tipitaka.app/?a=er3-40-si) මෙය දක්නට ලැබෙන බවක් නොපෙනේ.

A / R / C. "මව් කුසින් බිහි වූ කෙණෙහි ම සිද්ධාර්ථ කුමාරයෝ පියුම් පිටින් සත් පියවරක් වැඩියහ යි ඇතැම් සිංහල බණපොත්වල කියා තිබේ. බුද්ධ දේශනාවෙහි හා අටුවාවල පියුම් පිටින් වැඩිය බවක් දක්වා නැත.

“ධම්මතා එසා භික්ඛවෙ, සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙ ගච්ඡති සෙතම්හි ඡත්තම්හි අනුහීරමානෙ සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචං භාසති; අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවොති. අය මෙත්ථ ධම්මතා.”

(මහාපදාන සුත්ත)

“මහණෙනි, මේ ධර්මතාවෙක, එවේලේම උපන් බෝසත් තෙමේ ශ්වේතච්ඡත්‍ර‍ය දරනු ලබන කල්හි සම වූ පාදයෙන් පිහිටා උතුර බලා සත්පියවරක් යයි. සියලු දිසාවන් ද බලයි. මම ලෝකයට අග්‍ර‍ වෙමි, මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි, මේ අන්තිම ඉපදීමය, දැන් මතු ඉපදීමක් නැත්තේය යන උතුම් වචනය කියයි. මෙය මෙහි ධර්මතාවය” යනු එහි තේරුමයි. මේ පාඨයෙහි සම වූ (මට්ටම් වූ) පාදයෙන් පෘථිවියෙහි පිහිටා ගිය බව දක්වා තිබීමෙන් පෙනෙන්නේ බෝසත්තුමා පියුම් පිටින් නොව පොළොවෙහි ම ගමන් කළ බව ය. මහාපදාන සුත්ත අටුවාවෙහි මේ කාරණය විස්තර කරන්නේ මෙසේ ය:

“එත්ථ ච සමෙහි පාදෙහි පඨවියා පතිට්ඨානං චතුරිද්ධි පටිලාභිස්ස පුබ්බනිමිත්තං, උත්තරාමුඛභාවො මහා ජනං අජ්ඣොත්තරිත්වා අභිභවිත්වා ගමනස්ස පුබ්බ නිමිත්තං, සත්තපදගමනං සත්තබොජ්ඣංගරතන පටිලාභස්ස පුබ්බනිමිත්තං, දිබ්බසෙතච්ඡත්තධාරණං විමුත්තිච්ඡත්තපටිලාභස්ස පුබ්බනිමිත්තං.”

මෙහි ‘සම වූ පතුලෙන් පොළොවෙහි පිහිටීම සතර සෘද්ධිපාදයන් ලැබීමට පෙර නිමිත්ත ය. උතුර බැලීම මහජනයා යට කොට අභිභවනය කොට යෑමේ පෙර නිමිත්ත ය. සත් පියවරක් යාම සප්තබෝධ්‍යංගරත්නයන් ලැබීමේ පෙර නිමිත්ත ය. දිව්‍ය ශ්වේතච්ඡත්‍ර‍ය දැරීම විමුක්ති ඡත්‍ර‍ය ලැබීමේ පෙර නිමිත්තය’ යනු එහි තේරුම ය. සිද්ධාර්ථ කුමාරයන් වැඩියේ පියුම් පිට නම් එය අසවල් දෙයට නිමිත්තය කියා අටුවාවෙහි කියනවා ඇත. එබන්දක් නො කියා සම වූ පතුල්වලින් පොළොවෙහි පිහිටීම සෘද්ධිපාද ලැබීම ය යි කියා තිබීමෙන් පියුම් පිටින් ගමනක් නො වූ බව හොඳට ම පැහැදිලි ය. මේ කාරණය මජ්ඣිම නිකායේ අච්ඡරියධම්මසුත්තයෙහි හා එහි අටුවාවෙහි ද විස්තර කර තිබේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll