429. "ප්‍රසාද රූප"ත් සිත ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. චක්ඛු ප්‍රසාදය, සෝත ප්‍රසාදය ආදිය (ප්‍රසාද ගතිය) යනුවෙන් හැදින්වෙන්නේ සිතම නේද?

A / R. නැත.
 “චක්ෂුඃ ප්‍ර‍සාදය ඇසෙහි කළු ඉංගිරියාව මැද ඇතුළෙහි මුං ඇටයක පමණ වූ හෝ උකුණු හිසක් පමණ වූ හෝ තට්ටු සතෙක් ඇති කුඩා ගුළියක් ඇත්තේ ය. පුළුන් පිඩක තැවරී තිබෙන තෙලක් මෙන් ඒ ගුළියෙහි ඇතුළත පිටත සැම තැන ම පැතිරී පවත්නා වූ එක්තරා ඔපයක් ඇත්තේය. කැඩපතක් ඉදිරියෙහි තිබෙන සියළු වස්තූන්ගේ ඡායා ඒ සැටියට ම කැඩපත තුළ පහළ වන්නාක් මෙන්, ඇස ඉදිරිපිට තිබෙන සියල්ලෙහි ඡායාවෝ, ඒ කුඩා ගුළියෙහි ඇති ඔපයෙහි ම පහළ වෙති. ගිනිපෙට්ටියත් ගිනිකූරත් එකට ඇතිල්ලුන කල්හි ගින්නක් හට ගන්නාක් මෙන් ඇසෙහි වූ ඔපය තුළ පහළ වූ ඡායා දැනෙන්නා වූ සිතක් පහළ වේ. එයට පෙනීමය යි කියනු ලැබේ. පෙනීමය යි කියනු ලබන ඒ රූප දක්නා සිතට ආධාර වන්නා වූ ඇසෙහි වූ ඒ ඔපයට චක්ෂුඃප්‍ර‍සාදය යි කියනු ලැබේ. ප්‍ර‍සාදය යන වචනයෙහි තේරුම ඔපය යනුයි.

ශෝත්‍ර‍ ප්‍ර‍සාදය
කන ඇතුළත දුඹුරු පැහැති සියුම් ලොම් ඇති මුද්දක් වැනි ස්ථානයක, ශබ්දයන්ගේ ඡායා ඇතුල් වී පහළ වන්නා වූ එක්තරා ඔපයක් ඇත්තේ ය. ඒ ඔපය තුළ සමීපයෙහි ඇති වූ ශබ්දයන්ගේ ඡායා ද පහළ වෙති. ඡායා පහළ වූ කල්හි චක්ෂුඃප්‍ර‍සාදයෙහි මෙන් ම ඒ ශබ්ද ඡායා දැන ගන්නා සිත එහි පහළ වේ. එයට ඇසීම යයි කියනු ලැබේ. ශබ්දය දැන ගන්නා වූ හෙවත් අසන්නා වූ සිතට ආධාර වන කනෙහි වූ ඒ ඔපයට “ශෝත්‍ර‍ ප්‍ර‍සාදය” යි කියනු ලැබේ.

ඝ්‍රාණ ප්‍ර‍සාදය
නැහැය ඇතුළත එළු කුරයක් බඳු ස්ථානයක, සුවඳ දුගඳ දෙක කාවැදීමට යෝග්‍ය වූ ඔපයක් ඇත්තේ ය. සුවඳ-දුගඳ දෙක එයට ප්‍ර‍විෂ්ට වූ කල්හි ඒවා හැඳින ගන්නා වූ සිත එහි උපදී. එයට ආඝ්‍රාණය කිරීමය යි කියනු ලැබේ. ඒ ගන්ධය දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථාන වූ නැහැයෙහි වූ ඔපය ඝ්‍රාණ ප්‍ර‍සාද නමි.

ජිහ්වා ප්‍ර‍සාදය
දිවෙහි නෙලුම් මල් පෙත්තක අග වැනි සටහන් ඇත්තා වූ ස්ථානයක මධුර තික්තාදි රසයන් කාවැදෙන්නා වූ ඔපයක් ඇත්තේය. රසයන් ඒ ස්ථානයක පැමිණි කල්හා රස දැනෙන්නා වූ සිත එහි පහළ වේ. ඒ සිතට ආධාර වූ රසය කාවදින්නා වූ දිවෙහි ඒ ඔපය ජිහ්වා ප්‍ර‍සාදය යි.

කාය ප්‍ර‍සාදය
ඒ ඒ වස්තූන්හි ඇත්තා වූ තද බව මොලොක් බව රළු බව සෙවෙනි බව බර බව සැහැල්ලු බව සිසිල් බව උණුසුම් බව යන ආදි ස්පර්ශයන් ගැටෙන්නා වූ කාවදින්නා වූ එක්තරා ස්වභාවයක් ශරීරයෙහි පවත්නේය. එය හිසකෙස්, ලොම්, නිය, වියළි සම්, පාචක ගින්න ඇති ස්ථාන හැර සියළු ශරීරයෙහි පැතිර පවත්නේ ය. ස්පර්ශ දැන ගන්නා වූ සිත එහි පහළ වන්නේය. ඒ ස්පර්ශ දැනගන්නා වූ සිත ඉපදීමට ස්ථාන වන ඒ ස්වභාවයට කාය ප්‍ර‍සාදය යි කියනු ලැබේ.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll