651. පව්කාර සිතුවිලි මනසට එනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මට පවුකාර සිතුවිලි මනසට එනව මල් පූජා කරද්දි වගේ හාමුදුරු කෙනෙක් දකිද්දි, මම ඒව හිතන් නෑ ඒක මනසට එද්දි මට පාලනය කරගන්න බෑ... මේ දේවල් නැතිකරගන්නෙ කොහොමද, පවක් සිද්ද වෙනවද මේ සිදුවීමට... මානසික රෝගයක් කියල මට හිතෙනව, අනේ දන්න අය උදව් කරන්න.

A. මෙය තවත් ඔබ වැනි කෙනෙකුගේ (සාර්ථක) අද්දැකීමකි - ඔහු/ඇය පවසන්නේ: “ත්‍රිවිධ රත්නය, දෙමාපිය-සහෝදරාදීන් කෙරෙහි රාග-ද්වේශ-මෝහ (කැත / නරක / පව්කාර) සිතිවිලි ඇතිවීම මුළුමණින්ම මම මගේ සිතට තහනම් කොට ඇත” - යන මේ අණ / ස්වයං යෝජනාව / ස්ථිරසාර ප්‍රකාශය (Affirmation), තරයේ-බරකොට ඒ ඒ අදාළ අවස්ථාවේ දී / නිතර භාවිතා කිරීමෙන් ඔහු/ඇය ජය ලබන බවයි.

Q. තව ටිකක් පැහැදිලි කල හැකිද?

A / T. මම හිතන්නේ ඔබට එය පැහැදිලි විය යුතුයි; ඒ නරක සිතුවිලි එන වේලාවට, ඉහත දක්වා ඇති එක මෙන් කෙටි “තහනම් නියෝගයක්” – “අණක්” බරකොට තමාගේ ම හිතට ලබා දීමයි විය යුත්තේ.

[කුමන ක්‍රමය හෝ, අවසානෙදි ඔබට ධාර්මිකව ජය ලැබෙන - ඔබට ම ගැළපෙන ක්‍රමයක් / ක්‍රම භාවිතා කරන්න. තෙරුවන් සරණයි!]

A. මෙයින් මිදෙන්න තව ගොඩක් (කෙටි / සරල) ක්‍රම තියනවා - ඇත්තටම ඒ ඒ හැම ක්‍රමයෙන් ම අවසානේ දී වෙන්නේ “සංඥාව” වෙනස් වෙන එක.

උදාහරණයක් ලෙස : බුදුහිමියන් ගැන නරක සිතුවිල්ලක් ඇති වුණොත්, ඒ සිතුවිල්ල ගැන කලපනා වෙවී යන්න ඉඩ නොදී, වෙන දෙයක් “ගොඩක් වාර ගණනක්” හිතනවා.

“ලෝභ සිතක්” “ලෝභ සිතක්” “ලෝභ සිතක්” ... (ලෙස හෝ “ද්වේෂ සිතක්” ... “මෝහ සිතක් ...”, “අනිත්‍යයි” ...”, “දුකයි” ..., “අනාත්මයි”..., “අශුභයි”..., ) ලෙස “ගොඩක් වාර ගණනක්” (සිය දහස් වාර ගණනක්) සිතන්න - වචනයේ අර්ථය හෝ චිත්ත රූප සමඟ සිතීමට හැකි නම් ද හොඳය.

{ඒ අදාළ සිතුවිල්ල (හෝ සිදුවීම) ඇතිවන අවස්ථාවේ දී ම “ගොඩක් වාර ගණනක්” (සිය දහස් වාර ගණනක්) සිතීම මෙයින් කිසිසේත් ම බලාපොරොත්තු නොවේ; ඒ අවස්ථාවේ එක් වරක් හෝ (දෙතුන් වරක් ...) ලෙස වාර ගණන පුද්ගලයාට සාපේක්ෂය - එසේ අදාළ සිතුවිල්ල (හෝ සිදුවීම) ඇතිවන සෑම අවස්ථාවේ දී ම එක් වරක් හෝ (දෙතුන් වරක් ...) ලෙස අවසානයේ දී “ගොඩක් වාර ගණනක්” (සිය දහස් වාර ගණනක්) වන (/ අරමුණ ඉටුවන) තුරු සිතන්න.}

මේ ක්‍රමය ටිකක් කල් යයි - ඒත්, ප්‍රායෝගික උණොත් හරියටම හරියනවා - අවසානෙදි බුදු හිමියන් (දකින කොට හරි ... ආදී වශයෙන්) ගැන හිතන කොට හරි, අපි කලින් ආයාසයෙන් පුරුදු කරපු දේ (කෙටි වචනය) නිරායාසයෙන් ම හිතට එනවා - එතකොට ප්‍රශ්නෙත් ඉවරයි - නොදැනුවත් ම අපි කුසල් අරමුණකුත් වඩලා.

[මෙතැනදී, ඔබට පහසු, ඔබ කැමැති “කෙටි ම කෙටි වචනයක්” (“කෙටි ම කෙටි කුසල අරමුණක්”) අරං, සිය දහස් වාර ගණනක් සිතන්න. “අනාත්මයි” කියන වචනය හොඳයි කියලා හිතෙනවා - හේතුව (“අනාත්මයි” කියන වචනයේ ගොඩක් තේරුම් තිබ්බත්) මෙතැනදී “මම අකමැති දෙයක්, මගේ පාලනයෙන් තොරව සිද්ධ වෙනවා” කියන “සැබෑ ම අර්ථයෙන්” ඔබට “අවංකවම” මෙනෙහි කරන්න / සඡ්ඣායනා කරන්න / (සිය දහස් වාර ගණනක්) සිතන්න හැකියාව ලැබීම යි.]

{නැවත: ඒ අදාළ සිතුවිල්ල (හෝ සිදුවීම) ඇතිවන අවස්ථාවේ දී ම “ගොඩක් වාර ගණනක්” (සිය දහස් වාර ගණනක්) සිතීම මෙයින් කිසිසේත් ම බලාපොරොත්තු නොවේ; ඒ අවස්ථාවේ එක් වරක් හෝ (දෙතුන් වරක් ...) ලෙස වාර ගණන පුද්ගලයාට සාපේක්ෂය - එසේ අදාළ සිතුවිල්ල (හෝ සිදුවීම) ඇතිවන සෑම අවස්ථාවේ දී ම එක් වරක් හෝ (දෙතුන් වරක් ...) ලෙස අවසානයේ දී “ගොඩක් වාර ගණනක්” (සිය දහස් වාර ගණනක්) වන (/ අරමුණ ඉටුවන) තුරු සිතන්න.}

{මෙසේ වීමට හේතු ලෙස,
1. කුසල මාර්ගයේ ගමන් කිරීම.
2. සාංසාරික පුරුදු - මේ භවයේ පුරුදු ද ඇතුළත් ව.
3. මානසික අසමතුළිත භාවය (මානෝ රෝග - මානසික ව්‍යාධීන්) / කායික අසමතුලිතතාවය (මොළයේ රසායනික වෙනස්වීම් ආදිය).
4. අමනුෂ්‍ය බලපෑම්.
5. කෙලෙස් / කර්ම විපාක.
6. මිථ්‍යා විශ්වාස.
7. සිතේ මුල්බැසගත් නොයෙක් අදහස්, කථා, කතන්දර ආදිය.
8. ප්‍රතිසන්ධි සිතේ දුබල බව / සාංසාරික (කායික/මානසික) දෝෂ / පෞර්ෂය.
9. ජාන හා පාරම්පරික ඇදහීම්, විශ්වාස ආදිය.
10. අකුසල් (නොයෙක් වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිතය, වෙනත් නොයෙක් වැරදි වැඩ, නරක වැඩ, නරක පුරුදු ආදිය) හා අකුසල් විපාක.

ආදී නොයෙක් හේතු දැක්විය හැක. ඉහත මේවායින් කුසල් (පිං / හොඳ) කිරීමටත් (දියුණු කිරීමටත්), අකුසල් (පව් / නරක) නොකිරීමටත් (බැහැර කිරීමටත්), ආදී වශයෙන් අවශ්‍ය හේතූන්වලට ද අවශ්‍ය පිළියම් යොදන්න.}

කෙසේ වෙතත්, හදිස්සි නොවී, ධර්ම මාර්ගයේ ම ඉදිරියට හෙමින් යන්න - “ධර්මයේ ම හැසිරෙන්න - කුමන හෝ “ආරක්‍ෂිත ක්‍රම වේදයක්” ද නිතර අනුගමනය කරන්න - “ආරක්‍ෂිත පිරිතක්’ – “ආරක්‍ෂිත ගාථාවක්” – “ඉතිපිසෝ ගාථාව” වැන්නක් ...

# මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට හෝ විතක්ක සණ්ඨාන සූත්‍රය අනුගමනය කිරීමට ද යෝජනා කරනවා.

Q. පවක් සිදුවෙනවාද මෙමගින්?

A. පවක් සිදුවෙනවා - ඒත්, එච්චර ලොකු පවක් නෙවෙයි - ඒ පවේ/පව්වල විපාක විඳින්න ඉඩ නැතිවෙන්නත් පුළුවන්.

[පිං-පව් ගැන හිතනවාට වැඩිය මෙතැනදී වැදගත් වෙන්නේ, මේ තත්ත්වයෙන් මිඳෙන එකයි - මේක ඔයාට විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි - ජීවිතේ කවද හරි/කාලයක් හැමෝටම වගේ, වෙනස්-වෙනස් ආකාරයෙන් අඩු-වැඩි වශයෙන් තියන ප්‍රශ්නයක් - ගොඩක් අය කියලා තියන ක්‍රමවේද අත්හදා බලන්න - එකක් හෝ කිහිපයක් ඔයාටත් හරියනවාමයි. තෙරුවන් සරණයි!]

A. තවත් ක්‍රම 3ක්.

1. භාග්‍යවතුන්වහන්සේ (හෝ) කෙරෙහි රාග / ද්වේශ / මෝහ ආදී අකුසල් සිතුවිලි ඇතිවන විට දී, ඒ සිත් සරාග / සදෝස / සමෝහ සිත් ලෙස හඳුනාගෙන විදර්ශනා කළ හැක - එසේ හඳුනාගැනීම ම විදර්ශනා කිරීමකි.

2. සිතුවිලිවල වේගවත් බව නිසා මෙසේ රාග / ද්වේෂ / මෝහ ආදී අකුසල් සිතුවිලි (කුසල් සිතුවිලි ඇතිවන අතර තුර දී පවා) ඇති විය හැකි බැවින්, චිත්ත වීථි අනුව සිත් බෙදබෙදා විදර්ශා කිරීමෙන් ගැටළුව විසඳේ.

3. (මෙය ද ඉතා ම සාර්ථක ක්‍රමයකි) ඔබට පරිකල්පනය කළ හැකි විශාලතම බුදුරුව / බුදු පිළිම වහන්සේ සිතින් මවා ගන්න; ඔබ ඒ පිළිම වහන්සේ ඉදිරියේ කුහුඹුවෙකු සේ සිතින් දකින්න. ඔබට භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි රාග / ද්වේශ / මෝහ ආදී අකුසල් සිතුවිලි ඇති වන විට එකී ලෙස එම ක්‍රියාවලිය මවාගෙන, ඔබ උන්වහන්සේ ඉදිරියේ කූඹියෙක් බැවින් උන්වහන්සේට ඔබගේ ඒ අකුසල් සිතුවිලිවලින් කිසිදු කායික / වාචික / මානසික දුකක්-කරදරයක්-හානියක් කළ නොහැකි බව වටහාගන්න. [සැබවින් ම බුදුන්වහන්සේගෙ කාය බලය - කාය ශක්තිය, මානසික බලය - කාය ශක්තිය ඉදිරියේ අපි කුහුඹුවන් නොව ක්ෂුද්‍ර ජීවීන්ය (- ඊටත් අන්තය).] එබැවින් (ඒ අසහනකාරී සිතුවිලි ඇතිවන සෑම විට ම,) බුදුන්වහන්සේ කෙරෙහි රාග / ද්වේශ / මෝහ ආදී අකුසල් සිතුවිලි ඇති කරගැනීම / ඇති වීම නිෂ්ඵල (හා මෝඩ) ක්‍රියාවලියක් බව ප්‍රඥාවෙන්-නුවණින් නිතර දකින්න/සිතන්න!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll