30. ‘පුනර්භවය’ හා ‘පුනරුත්පත්තිය’ එකක් ද? දෙකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ‘පුනර්භවය’ හා ‘පුනරුත්පත්තිය’ එකක් ද? දෙකක් ද?

A. ‘පුනර්භවය’ හා ‘පුනරුත්පතිය’ කියන වචන දෙක අද සමාජයේ නම් එකම තේරුම ගෙනදෙන විදිහට යොදන බවක් පෙනෙනවා. එත් ‘පුනර්භවය’ කියන යෙදුම මිසක් ‘පුනරුත්පතිය’ කියන වචනය බෞද්ධයන්ට අදාළ වචනයක් නෙවෙයි; ඒක හින්දු ආගමට අදාළ වචනයක්. (සාමාන්‍ය කතා බහේදී නම් ඒ වචන දෙකම එකම අර්ථයෙන් යොදා ගන්නත් පුළුවන්; එත් දාර්ශනික අර්ථයෙන් නම් සම්පූර්ණයෙන් ම වෙනසක් තියනවා; දාර්ශනික අර්ථයෙන් විතරක්ම නෙවේ, ඒ එක් එක් වචනයට අදාළ ක්‍රියාවලියේත් සම්පූර්ණ ම වෙනසක් තියනවා.)

සරලව ම, ‘පුනර්භවය’ කියන්නේ ‘නැවත භවයක්’ කියන එකයි. භවය කොටස් දෙකකි. 1. කර්ම භවය = කුසල් / අකුසල් ආදී කර්ම. 2. උප්පත්ති භවය = කාම / රූප / අරූප ආදී භව තල. (උපාදානය නිසා ඉහත භව දෙකම හටගන්නා අතර නැවත උප්පත්තියට = “ජාති”යට අදාළ වන්නේ ‘කර්ම භවය’ වේ.)

සරලව ම, ‘පුනරුත්පතිය’ කියන්නේ ‘නැවත උප්පත්තියක්’ කියන එකයි. එහෙත් ‘නැවත උප්පත්තියක්’ කියන එකට බුදුදහමේ යෙදෙන වචනය තමා “ජාති” (ජාතිය) කියන එක. [යෙදෙන තැන අනුව ‘නැවත උප්පත්තියක්’ කියන යෙදුම පටලවා ගන්න එපා; නොතේරෙන / දුෂ්කර / අවුල් සහගත දෙයක් තියනවා නං ප්‍රශ්න කරන්න.]

Q. පැහැදිලි නෑ.

A. ඉහත ඡේද තුනෙන් (වරහන් තුළ ඇති පැහැදිලිකිරීම ද නොසලකා) පළවෙනි ඡේදය විතරක් ම තේරුම් ගන්න බලන්න. ඒ හොඳටෝ ම ඇති.

Q. "කර්ම භවය" සෑම මොහොතක ම සකස් වෙනවා ද?

A. ලෞකික දස කුසලය / දස පුණ්‍යක්‍රියා හා දස අකුසලය යන පින් පව් කොටස් දෙකට “කර්ම භවය” කියා කියනු ලැබේ. එබැවින් එම කොටස් දෙක සිදුකරන විට පමණක් ම “කර්ම භවය” ඇති / සකස් වන බව කිව යුතුය. [ඒවා (එම කොටස් දෙක ම) ‘කර්ම පථ’ බවද කිව යුතුය.] එසේම අපුඤ්ඤාභි, ‘ලෞකික’පුඤ්ඤාභි හා ආනෙඤ්ජාභි සංඛාර වල යෙදෙන, සිත් වශයෙන් ගත් කල අකුසල් 12, ‘ලෞකික’කුසල් 17 හා චෛතසික 52 යන සිත් හා චෛතසිකයන්ට ද “කර්ම භවය” කියා කියනු ලැබේ. එබැවින් එම කොටස් තුන/දෙක සිදුකරන /යෙදෙන විට දී ද “කර්ම භවය” ඇති/සකස් වන බව ද කිව යුතුය.

එබැවින්, භවාංග සිත් හා අහේතුක සිත් 18 යෙදෙන අවස්ථා හැර, ක්ෂණයක් පාසාම “කර්ම භවය” ඇති/සකස් වන බව ද කිව යුතුය.

{සියුම් හෝ දෝෂයක්/අඩුවක්/වැඩියක් ඇත්නම්, ඇතැමෙක් විසින් වාද/විවාද/විචාරය කොට ද නිවැරදි කොට ද පෙන්වා දෙත්වා!}

Q. 'උප්පත්තිභවය' කියන්නෙ මොකක් ද?

"කාමභවය - රූප භවය - අරූප භවය - සඤ්ඤී භවය - අසඤ්ඤී භවය - නේවසඤ්ඤානාසඤ්ඤා භවය - ඒකවෝකාර භවය - චතුවෝකාර භවය - පඤ්ච වෝකාර භවය කියා උත්පත්ති භව නවයක් ද දක්වා ඇත්තේ ය. කාම භවාදිය ප්‍ර‍කට ය. රූපස්කන්ධය නමැති එක් ස්කන්ධයක් පමණක් ඇති අසංඥ භවය ඒකවෝකාර භව නම් වේ. නාමස්කන්ධ සතර පමණක් ඇති අරූප භවය චතුවෝකාර භව නම් වේ. ස්කන්ධ පසම ඇති ඉතිරි භව සියල්ල පඤ්චවෝකාර භව නම් වේ."

"කර්ම භවය - උත්පත්ති භවය කියා උපාදාන ප්‍ර‍ත්‍යයෙන් වන භව දෙකකි. ලෞකික කුශලාකුශල චේතනා රාශියට ‘කර්ම භවය’ යි කියනු ලැබේ. අකුසල් සිත් දොළොස ය, ලෞකික කුසල් සිත් සතළොස ය, චෛතසික දෙපනස ය යන මේ ධර්ම රාශියට ම ද ‘කර්ම භවය’ යි කියනු ලැබේ. ලෞකික විපාක දෙතිස ය, ඒවායේ යෙදෙන චෛතසික තෙතිස ය, කර්මජ රූප විස්ස ය යන මේ ධර්ම රාශිය ‘උත්පත්ති භව’ නම් වේ."

Q. උප්පත්ති භවය අදාළ වෙන්නේ කුමකට ද?

A. උප්පත්ති භවය අදාළ වෙන්නේ උපාදානයට.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll