170. ක්‍රියා සිත්වලට පොදු චෛතසික මොනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සියලු කිරිය සිත් වලට පොදුවේ ඇති චෛතසික මොනවා ද?

A / R >. "අහේතුක චිත්තයන්හි චෛතසික සංග්‍ර‍හය.
අහේතුක ක්‍රියා පඤ්චද්වාරාවජ්ජන චිත්තයෙහි ඡන්ද - පීති - විරිය හැර අන්‍යසමාන චෛතසික දශය යෙදේ. මනෝද්වාරාවජ්ජනයෙහි ඡන්ද - පීති හැර අන්‍යසමාන එකොළොස යෙදේ. හසිතුප්පාදයෙහි ඡන්දය හැර අන්‍යසමාන දොළොස යෙදේ.

(මහා (සහේතුක කාමාවචර) ක්‍රියා සිත් අටෙහි යෙදෙන චෛතසික.)
කාමශෝභන චිත්තයන්හි චෛතසික සංග්‍ර‍හය.
ක්‍රියා සිත්වල පළමු වන දෙසිතෙහි අන්‍යසමාන දහතුනය, ශෝභන සාධාරණ දහ නවයය, අප්‍ර‍මාණ්‍ය දෙකය, ප්‍ර‍ඥාවය යන චෛතසික තිස් පහ යෙදේ. තුන් වන, සතර වන දෙ සිතෙහි ඒ චෛතසිකවලින් ඥානය හැර ඉතිර තිස් හතර යෙදේ. පස් වන, සවන සිත් දෙක්හි පීතිය හැර අන්‍ය සමාන දොළොසය, ශෝභන සාධාරණ දහනවය ය. අප්‍ර‍මාණ්‍ය දෙකය, ප්‍ර‍ඥාවය යන චෛතසික තිස් හතර යෙදේ. ඒවායින් ප්‍ර‍ඥාව හැර ඉතිරි තිස් තුන සත්වන, අට වන සිත් දෙක්හි යෙදේ.

(මහග්ගත ක්‍රියා සිත් නවයෙන් රූපාවචර සිත් පහෙහි යෙදෙන චෛතසික.)
රූපාවචර - අරූපාවචර සිත්වල චෛතසික සංග්‍ර‍හය.
රූපාවචර කුශල - විපාක ක්‍රියා ප්‍ර‍ථම ධ්‍යාන සිත් තුනෙහි අන්‍යසමාන දහතුනය, විරති හැර ශෝභන චෛතසික දෙවිස්සය යන චෛතසික පන්තිස යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් තුනෙහි ඒ චෛතසිකවලින් විතර්කය හැර, ඉතිරි තිස්හතර යෙදේ. තෘතීය ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර දෙක ම හැර චෛතසික තිස් තුනක් යෙදේ. චතුර්ථ ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර - ප්‍රීති තුන ම හැර, දෙතිසක් චෛතසික යෙදේ. පඤ්චම ධ්‍යාන සිත් තුනෙහි විතර්ක - විචාර - ප්‍රීති - අප්‍ර‍මාණ්‍ය හැර තිසක් චෛතසික යෙදේ.

අරූපාවචර සිත් ද පඤ්චම ධ්‍යාන සිත් ම වන බැවින් ඒවායේ යෙදෙනේනේ ද රූපාවචර පඤ්චම ධ්‍යාන සිත්වල යෙදෙන චෛතසික තිස ම ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll