03. නාමරූප පරිච්ඡින්න ඤාණය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. නාමරූප පරිච්ඡින්න ඤාණය යනු කුමක් ද?

A. (නාමරූප පරිච්ඡින්න ඤාණය = නාම-රූප පරිච්ඡේද ඥානය)

# "... ස්වසන්තානයෙහි ඒ ඒ අවස්ථාවල උපදින උපදින නාමරූපයන් සිහිකිරීම් වශයෙන් සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට අරමුණු කරා නැමි නැමී ඇදි ඇදී ස්වසන්තානයෙහි චක්ෂුරාදි ද්වාර සයෙහි ඇති වන්නා වූ ධර්ම රාශිය නාමයෝ ය කියා ද, එසේ ම ස්වසන්තානයෙහි ඇතිවන අරමුණු කරා නො නැමෙන නො ඇදෙන අන් අරමුණක් හා සම්බන්ධකමක් නැති ධර්ම රාශිය රූපයෝ ය කියා ද නාම රූප පිළිබඳ නිවැරදි දැනීම ක්‍ර‍මයෙන් ඇති වේ. එය නාමරූප පරිච්ඡේද ඤාණ නම් වූ විදර්ශනා ඥානය ය. ..."

# "... රූපය හොඳට ම ප්‍ර‍කට ව වැටහෙන්නට පටන් ගත් කල්හි සිහි කරන සිත වූ නාමය ඒ රූපය කරා ඇදි ඇදී නැමි නැමී යන්නාක් ලෙස වැටහෙන්නේ ය. රූපය අනිකක් හා සම්බන්ධයක් නැති ව ඇති වන ධර්මයෙකි. සිත වනාහි අරමුණු කිරීම් වශයෙන් යම් කිසිවකට සම්බන්ධ වී යම් කිසිවකට නැමී ඇදි ඇදී ඇති වන්නකි. අරමුණක් හා සම්බන්ධයක් නැති ව අරමුණකට නො නැමී සිතක් කිසි කලෙක ඇති නො වන්නේ ය. එසේ අරමුණකට නැමී ඇති වන බැවින් සිතට නාමය යි කියනු ලැබේ. එසේ ම ඇති වන බැවින් චෛතසිකයන්ට ද නාමය යි කියනු ලැබේ. අනිකකට නැමෙන බව නාමයන් ගේ ලක්‍ෂණය ය.

යෝගාවචරයා හට පිම්බීම් හැකිළීම් ආදී වශයෙන් පවත්නා රූප දෙසට සිත නැමි නැමී යන්නක් සැටියට වැටහීම, නමන ලක්‍ෂණයෙන් නාමය වැටහීම ය. මෙසේ නාම රූප දෙක වෙන් වශයෙන් වැටහීම නාම රූප පරිච්ඡේද ඥානය පහළ වීම ය. එය විදර්ශනාවේ ආදිය ය. එයට නාම රූප ව්‍යවස්ථා ඥානය යි ද කියනු ලැබේ. යෝගාවචරයාට ඇති වන මේ නාම රූප ව්‍යවස්ථා ඥානය පොතපත කියවීමෙන් හා ගුරුන්ගෙන් අසා ගැනීමෙන් ඇති කර ගන්නා නාම රූප ව්‍යවස්ථා ඥානයට වඩා උසස් වූවකි. මෙය ප්‍ර‍ත්‍යක්‍ෂ ඥානයෙකි. එබැවින් මෙය ක්ලේශ ප්‍ර‍හාණයට සමත් වෙයි."

# "වරක් ලැබූ සෝවාන් ඵල සිත නැවත නැවතත් ස්වසන්තානයෙහි උපදවා ගෙන නිවන් සුවය විඳිනු කැමතියන් විසින් නැවතත් ස්වසන්තානයෙහි ඒ ඵල චිත්තය උපදවා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇති වන්නා වූ කාය චිත්ත විකාරයන් පෙර සේ ම සිහි කරන්නට පටන් ගත යුතු ය. විදර්ශනා කිරීමට පටන් ගත් කල්හි, පෘථග්ජනයන්ට නාම-රූප පරිච්ඡේද ඥානයේ පටන් - ඥාන විශේෂ ඇති වන්නට පටන් ගැනීමත්, ආර්‍ය්‍යයන්ට උදයව්‍යය ඥානයේ පටන් ඥාන විශේෂ ඇති වන්නට පටන් ගැනීමත් ස්වභාවය ය. එබැවින් නාම රූපයන් සිහි කරන්නට පටන් ගත්තා වූ සෝවාන් පුද්ගලයාට පළමුවෙන් ම උදයව්‍යය ඥානය ඇති වේ. ඉන්පසු ඉතිරි ඥානත් පිළිවෙළින් ඇති වී සියල්ලට ම උසස් වූ සියල්ලට ම සියුම් වූ සංස්කාරෝපේක්ෂා ඥානය වැඩි වේලාවක් ගත නො වී ඇති වේ. ඒ ඥානය සෑහෙන පමණට වැඩුණු පසු යෝගාවචරයාගේ සිත පෙර සේ ම සංස්කාරයන්ගේ නිරෝධය වූ ලෝකෝත්තර නිර්වාණාරම්මණයට පැමිණෙන්නේ ය. නිර්වාණාරම්මණයට සිත පැමිණීම ය යනු සෝවාන් ඵල සිත් ඇති වීම ය."

සතිපට්ඨාන භාවනා ක්‍රමය - අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නායක හිමි.

# "... මනෝ විඥානය පිළිබඳ භාවනාව තවත් විස්තර වශයෙන් කරතහොත් වඩා හොඳය. යෝගාවචරයනට අපහසු වේ දෝ යි මෙහි කොටින් කියන ලදී. මෙහි දැක්වූ පරිදි රූපධාතු හා විඥාන ධාතූන් හා ඒ පිළිබඳ භාවනා කළ යෝගාවචරයා විසින් නාමරූප පරිච්ඡේද ඥානය තවත් පිරිසිදු වනු පිණිස හැකි නම් පඤ්චස්කන්ධය ය, ආයතන දොළොස ය, ධාතු අටළොස ය යන මේ ධර්ම ද උගෙන ඒ ක්‍රම වලින් ද භාවනා කරනු. එසේ කළහොත් නාම රූප පරිච්ඡේද ඥානය වඩාත් පිරිසිදු වනු ඇත. ..."

විදර්ශනා භාවනා ක්‍රමය - අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නායක හිමි.

T. S. "මෙහි මෙය පරිදීපනා විභාවනා ද වෙයි. මේ පිටක තුන පිළිවෙලින් ආණා වෝහාර, පරමත්‍ථ දේශනාය. යථාපරාධ, යථානුලොම, යථා ධම්ම සාසන ය. සංවර අසංවර දිට්ඨි විනිවෙඨන, නාමරූප පරිච්ඡේද කථා යයි ද කියනු ලැබේ. මෙහි විනය පිටකය අණට සුදුසු භාග්‍යවතුන් වහන්සේ විසින් අණ බහුලකොට දේශනා කරන ලද බැවින් ආණාදේශනා වෙයි. සූත්‍ර පිටකය ව්‍යවහාරයෙහි දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යවහාර බහුලකොට දේශනා කරන ලද බැවින් වෝහාර දේශනා වේ. අභිධර්ම පිටකය පරමාර්ථ දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් පරමාර්ථ බහුලකොට දේශනා කරන ලද බැවින් පරමත්‍ථදෙසනා යැයි කියනු ලැබේ.

තත්‍රායං පරිදීපනා විභාවනා ච. එතානි හි තීණි පිටකානි යථාක‍්කමං ආණාවොහාරපරමත්‍ථදෙසනා, යථාපරාධයථානුලොමයථාධම‍්මසාසනානි, සංවරාසංවරදිට‍්ඨිවිනිවෙඨනනාමරූපපරිච‍්ඡෙදකථාති ච වුච‍්චන‍්ති. එත්‍ථ හි විනයපිටකං ආණාරහෙන භගවතා ආණාබාහුල‍්ලතො දෙසිතත‍්තා ආණාදෙසනා, සුත‍්තන‍්තපිටකං වොහාරකුසලෙන භගවතා වොහාරබාහුල‍්ලතො දෙසිතත‍්තා වොහාරදෙසනා, අභිධම‍්මපිටකං පරමත්‍ථකුසලෙන භගවතා පරමත්‍ථබාහුල‍්ලතො දෙසිතත‍්තා පරමත්‍ථදෙසනාති වුච‍්චති."

T. S. "සෝවාන් වූවන්ට වනාහි ප්‍රත්‍යාකාරය නොගැඹුරු ලෙස වැටහේ. මේ තෙරුන් වහන්සේද සෝවාන් කෙනෙක් බහුශ්‍රැතයන්ට වනාහි රියන් සතරක් වූ කාමරයක පහනක් දැල්වෙන විට ඇඳ පුටු මෙන් නාමරූප පරිච්ඡේදය පැහැදිලිව පෙනෙයි. මේ තෙරුන් වහන්සේ ද බහුශ්‍රැතයන් අතර අගතැන්පත් කෙනෙකි. බහුශ්‍රැත බව නිසා මොහුට ගැඹුරු වූ ප්‍රත්‍ය පිළිවෙල නොගැඹුරු ලෙස වැටහේ.

සොතාපන‍්නානඤ‍්ච නාම පච‍්චයාකාරො උත‍්තානකොව හුත්‍වා උපට‍්ඨාති, අයඤ‍්ච ආයස‍්මා සොතාපන‍්නො. බහුස‍්සුතානඤ‍්ච චතුහත්‍ථෙ ඔවරකෙ පදීපෙ ජලමානෙ මඤ‍්චපීඨං විය නාමරූපපරිච‍්ඡෙදො පාකටො හොති, අයඤ‍්ච ආයස‍්මා බහුස‍්සුතානං අග‍්ගො හොති, බාහුසච‍්චානුභාවෙනපිස‍්ස ගම‍්භීරොපි පච‍්චයාකාරො උත‍්තානකො විය උපට‍්ඨාසි."

T. S. "පජහථ යන මෙහි ප්‍රහාණය නම් තදංගප්පහාණ, වික්ඛම්භනප්පහාණ, සමුච්ඡේදප්පහාණ, පටිප්පස්සද්ධිපහාණ, නිස්සරණප්පහාණ යනුවෙන් පස් ආකාර වෙයි. එහි පහන් ආලෝකයෙන් මෙන් අඳුරට ප්‍රතිවිරුද්ධ බැවින් අලෝභාදියෙන් ලෝභාදී වූත්, නාමරූප පරිච්ඡේදා දී විදර්ශනා ඥානයෙන් ඒ ඒ අනර්ථයේ යම් ප්‍රහාණයක් වේද ඒ කෙසේද යත්: පරිත්‍යාගයෙන් ලෝභාදි කිලුටෙහි ද සීලයෙන් ප්‍රාණඝාත ආදී දුශ්ශීල බවෙහි ද ශ්‍රද්ධාදියෙන් අශ්‍රද්ධාදියේ ද නාමරූප වෙන් කිරීමෙන් සක්කාය දිට්ඨියේ ද ප්‍රත්‍ය පරිග්‍රහණයෙන් (විමසීමෙන්) අහේතු විසම හේතු දෘෂ්ටීන්ගේ ද එයට පසුකාලයේදී කංඛාවිතරණයෙන් සැක ඇති බවේ ද කලාප විමසා බැලීමෙන් මම ය මගේය යන ගැනීමේ ද මග්ගාමග්ග (මග-නොමග) වෙන් කිරීමෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාවද උදය (හටගැනීම) දැකීමෙන් උච්ඡේද දෘෂ්ටියේද වය (නැතිවීම) දැකීමෙන් ශාස්වත දෘෂ්ටියේ ද භය දැකීමෙන් භය සහිත දේවල් කෙරෙහි අභය සංඥාවේද ආදීනව දැකීමෙන් ආශ්වාද සංඥාවේ ද නිබ්බිදානුපස්සනාවෙන් (කලකිරිම අනුව දැකීමෙන්) ඇලීම් සංඥාවේ ද මුඤ්චිතුකම්‍යතා (මිදෙනු කැමති) ඤාණයෙන් නොමිදෙනු කැමති ඤාණයේ ද උපෙක්ඛා ඤාණයෙන් අනුපෙක්ඛාවේද අනුලෝමයෙන් ධම්මට්ඨිතියේ ද නිවනින් ප්‍රතිලෝම භාවයේ ද ගෝත්‍රභූ ඥානයෙන් සංඛාර නිමිති ගැනීමේ දී ප්‍රහාණය මේ තදංගප්‍රහාණය නම් වේ.

නිස‍්සරණප‍්පහානන‍්ති පඤ‍්චවිධං. තත්‍ථ යං දීපාලොකෙනෙව තමස‍්ස පටිපක‍්ඛභාවතො අලොභාදීහි ලොභාදිකස‍්ස, නාමරූපපරිච‍්ඡෙදාදිවිපස‍්සනාඤාණෙහි තස‍්ස තස‍්ස අනත්‍ථස‍්ස පහානං. සෙය්‍යථිදං – පරිච‍්චාගෙන ලොභාදිමලස‍්ස, සීලෙන පාණාතිපාතාදිදුස‍්සීල්‍යස‍්ස, සද‍්ධාදීහි අස‍්සද‍්ධියාදිකස‍්ස, නාමරූපවවත්‍ථානෙන සක‍්කායදිට‍්ඨියා, පච‍්චයපරිග‍්ගහෙන අහෙතුවිසමහෙතුදිට‍්ඨීනං, තස‍්සෙව අපරභාගෙන කඞ‍්ඛාවිතරණෙන කථංකථීභාවස‍්ස, කලාපසම‍්මසනෙන “අහං මමා”ති ගාහස‍්ස, මග‍්ගාමග‍්ගවවත්‍ථානෙන අමග‍්ගෙ මග‍්ගසඤ‍්ඤාය, උදයදස‍්සනෙන උච‍්ඡෙදදිට‍්ඨියා, වයදස‍්සනෙන සස‍්සතදිට‍්ඨියා, භයදස‍්සනෙන සභයෙසු අභයසඤ‍්ඤාය, ආදීනවදස‍්සනෙන අස‍්සාදසඤ‍්ඤාය, නිබ‍්බිදානුපස‍්සනෙන අභිරතිසඤ‍්ඤාය, මුච‍්චිතුකම්‍යතාඤාණෙන අමුච‍්චිතුකම්‍යතාය උපෙක‍්ඛාඤාණෙන අනුපෙක‍්ඛාය, අනුලොමෙන ධම‍්මට‍්ඨිතියා, නිබ‍්බානෙන පටිලොමභාවස‍්ස, ගොත්‍රභුනා සඞ‍්ඛාරනිමිත‍්තග‍්ගාහස‍්ස පහානං, එතං තදඞ‍්ගප‍්පහානං නාම."

T. S. "සෝවාන් වූවන්ටද මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වී මෙන් මැනවින් ප්‍රකටව අවබෝධ වේ. ආනන්ද තෙරුන් ද සෝවාන්ව සිටි බැවින් මෙම සත්‍යය ධර්මය මැනවින් වැටහෙන්නට ඇති බව දතයුතුයි. බහුශ්‍රැතයන්ට වනාහී; සිවුරියන් කාමරයක පහන් දල්වන කල්හි ඇඳපුටු ආදිය මැනවින් ප්‍රකටව පෙනෙන්නාක් මෙන් නාමරූපයන්ගේ බෙදා දැක්වීම මනාව ප්‍රකටව වැටහේ. මේ ආනන්ද තෙරුන් වහන්සේද බහුශ්‍රැතයන්ට අග්‍රවූයේමය.

සොතාපන‍්නානඤ‍්ච නාම පච‍්චයාකාරො උත‍්තානකො හුත්‍වා උපට‍්ඨාති, අයඤ‍්ච ආයස‍්මා සොතාපන‍්නො. බහුස‍්සුතානං චතුහත්‍ථෙ ඔවරකෙ පදීපෙ ජලමානෙ මඤ‍්චපීඨං විය නාමරූපපරිච‍්ඡෙදො පාකටො හොති, අයඤ‍්ච ආයස‍්මා බහුස‍්සුතානං අග‍්ගො."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll