Q. සමථ-විපස්සනාවලින්, කුමන භාවනා ක්‍රමය වඩන එකද හොඳ?
A. "භාවනා නය යනු කිසිවෙක් සමථ පුබ්බංගම විපස්සනාව වඩයි. කිසිවෙක් විපස්සනා පුබ්බංගම සමථය වඩයි. කෙසේ මෙම සසුනෙහි ඇතැමෙක් පළමුකොට උපචාර සමාධිය හෝ අප්පණා සමාධිය උපදවයිද මේ සමථයයි. හෙතෙම එම සමථයද ඒ හා යෙදුන ධර්මයන් ද අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරයි. මේ විදස්සනාවයි. මෙසේ පළමුකොට සමථයද පසුව විපස්සනාවද වෙයි. එයින් කියනු ලැබේ. සමථ පුබ්බංගමං විපස්සනං භාවෙති යනුවෙන්, ඒ සමථ පුබ්බංගම වූ විපස්සනාව වඩන්නහුට මාර්ගය උපදියි. හෙතෙම ඒ මාර්ගය ආසේවන කෙරෙයි. භාවනා කරයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්ගය සේවනය කරන්නා වූ භාවනාව වඩන්නා වූ බහුල වශයෙන් කරන්නා වූ ඔහුගේ සංයෝජන ධර්මයෝ ප්‍රහාණය වෙති. අනුසය ධර්මයෝ අවසන් වෙති. මෙසේ සමථ පුබ්බංගම වූ විපස්සනාව වඩයි.
මේ ශාසනයෙහි ඇතැම් කෙනෙක් ඉහත සඳහන් සමථය නො උපදවාම පංච උපාදානක්ඛන්‍ධයන් අනිත්‍යදී වශයෙන් විදර්ශනා කෙරෙයි. මෝ තොමෝ විපස්සනා භාවනා නම් වන්නීය. ඔහුට විපස්සනාව සම්පූර්ණ වීමෙන් එහි හටගත් ධර්මයන්ගේ නිවන් අරමුණුකොට චිත්තයාගේ එකඟ බවක් ඇතිවේ. එය සමථ නම් වේ. මෙසේ පළමුව විපස්සනාවද පසු සමථයද වේ. එයින් කියනු ලැබේ. විපස්සනා පුබ්බංගමං සමථං භාවෙති කියා.
මෙසේ විපස්සනා පුබ්බගම වූ සමථය වඩන්නා වූ ඔහුට මාර්ගය උපදියි. හෙතෙම ඒ මාර්ගය ආසේවනය කෙරෙයි. -පෙ- බහුල වශයෙන් කෙරෙයි. එම මාර්ගය සේවය කළහට -පෙ- අනුශය ධර්මයෝ විනාශයට පැමිණෙති. මෙසේ විපස්සනා පුබ්බංගම සමථය වඩයි.
සමථ පුබ්බංගම විපස්සනාව වඩන්නහුටද විපස්සනා පුබ්බංගම සමථය වඩන්නහුටද ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි සමථ විපස්සනා යුගල වූවාහුම වෙත්. මෙසේ මේ භාවනා නය දතයුත්තේය."
A. "භාවනා ක්‍රම දෙක.
සමථපූර්වාංගම විදර්ශනා භාවනාවය, විදර්ශනා පූර්වාංගම සමථ භාවනාවය යි භාවනා ක්‍රම දෙකක් ඇති බව මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍ර අටුවාවෙහි පැහැදිලි කර ඇත්තේ ය. සමථ පූර්වාංගම විදර්ශනා භාවනා ක්‍රමය යනු ආනාපන කසිණාදි භාවනාවක් කොට උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ උපදවා පසුව විදර්ශනා භාවනාව කොට මඟපල ලබා ගැනීම ය. ඒ ක්‍රමයෙන් භාවනා කරන යෝගාවචරයෝ සමථයානික නම් වෙති. ආනාපානාදි භාවනාවන්හි නො යෙදී විදර්ශනා භාවනාව ම කොට එයින් ම සමාධිය ලබා මඟපල ලැබීමේ භාවනා ක්‍රමය විදර්ශනා පූර්වාංගම ශමථ භාවනා ක්‍රමය ය. මේ ක්‍රමයෙන් භාවනා කරන්නෝ විදර්ශනායානික නම් වෙත්. ශුෂ්ක විදර්ශක යනු ද ඔවුනට ව්‍යවහාර කරන තවත් නමෙකි. සෑම දෙන මඟපල ලැබිය යුත්තේ කියන ලද භාවනා ක්‍රම දෙකින් එකකිනි. එයට තුන්වන ක්‍රමයක් නැත. ඒ භාවනා ක්‍රම දෙකින් සමථ පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ දික් මඟ ය. විදර්ශනා පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ කෙටි මඟ ය.
මෙකල ඇතැම් අනුශාසකයෝ කලින් සමථ භාවනාවක යෙදී සමාධියක් උපදවාගෙන මිස විදර්ශනා භාවනාවෙහි යෙදීමෙන් පලක් නැත ය යි අනුශාසනය කරමින් බුද්ධෝත්පාද කාලයකදී පමණක් කරන්නට අසන්නට ලැබෙන විදර්ශනා භාවනා මාර්ගය මහජනයාට අවුරති. ඔවුන්ගේ අනුශාසනා ගරු කොට සලකන බොහෝ දෙන බුදු සස්නෙන් ලැබිය යුතු උතුම් දෙය වන විදර්ශනා භාවනාවෙන් පිරිහෙති. සමථ භාවනාවක් කොට ධ්‍යානයක් ඉපදීම ලෙහෙසි කරුණක් නො වේ. නොයෙක් ජාතිවල ධ්‍යාන උපදවා ඒ ගැන පලපුරුද්ද ඇති මහ බෝසතුන් හා තවත් එවැනි අය අතීතයෙහි ධ්‍යාන උපදවා ඇත්තේ අඹුදරුවන් හැර, ධනය හැර, වනගතව පැවිදිව මුළු කාලය ම ඒ සඳහා යොදා භාවනා කිරීමෙනි. ධ්‍යාන ඉපිදවීමේ දුෂ්කරත්වය විශුඬිමාර්ගයෙහි මෙසේ දක්වා ඇත්තේ ය."
T. ["ශුෂ්ක විදර්ශක, සමථයානික - සුක්ඛවිපස්සකො, සමථයානිකොති
(මෙසේ අරූප මඛයෙන් සමථයානිකයා ගේ විදර්‍ශනාවට බැස ගැනීම දක්වා දැන් රූප මුඛයෙන් ශුද්ධ විදර්‍ශනායානිකයා දක්වන්නාහු මේ කියති.)
“ඉති අරූපමුඛෙන විපස්සනාභිනිවෙසං දස්සෙත්වා ඉදානි රූපමුඛෙන තං දස්සෙන්තො “සුද්ධවිපස්සනායානිකො පනා”තිආදිමාහ. තත්ථ සමථයානිකස්ස සමථමුඛෙන විපස්සනාභිනිවෙසො, විපස්සනායානිකස්ස පන සමථං අනිස්සායාති ආහ “සුද්ධවිපස්සනායානිකො”ති, සමථභාවනාය අමිස්සිතවිපස්සනායානවාති අත්ථො. අයමෙව වා සමථයානිකොති යථාවුත්තො සමථයානිකො එව වා. තෙන සමථයානිකස්සාපි රූපමුඛෙන විපස්සනාභිනිවෙසො ලබ්භති, න අරූපමුඛෙනෙවාති දස්සෙති."