432. ත්‍රිහේතුක ප්‍රේතයෝ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ත්‍රිහේතුකව ප්‍රේත ලෝකයේ ඉපදිය හැකිද?

A / R. “සියලු ම විනිපාතික අසුරයෝ අහේතුක ප්‍ර‍තිසන්‍ධිකයෝ නොවෙති. ඔවුන් අතර ද්විහේතුක ත්‍රිහේතුකයෝ ද ඇත. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහරවිට මාර්ගඵලවලට ද පැමිණෙති.”

{“අසුර යන නාමය සත්ත්ව කොට්ඨාස කීපයකට ම ව්‍යවහාර වන නාමයෙකි. සතර අපායෙන් එකක් වන අසුර නිකායට අයත් සත්ත්වයෝ නම් කාලකඤ්ජික ප්‍රේතයෝ ය. ඔවුනට ද වෙන් වූ වාසස්ථානයක් නැත්තේ ය.

මහමෙර පත්ලෙහි අසුර භවනයෙහි වෙසෙන වේපචිත්ති -පහාරාද - සම්බර - බලි ආදි නම් ව්‍යවහාර කරන ආනුභාව සම්පන්න සත්ත්ව කොට්ඨාසයක් ඇත්තේ ය. දෙවියන්ට සතුරු බැවින් ඔවුන්ට ද අසුර යන නාමය කියනු ලැබේ. ඔවුහු අපායට අයත් සත්ත්වයෝ නො වෙති. ඔවුන් අයත් වන්නේ දේව කොට්ඨාසයකට ය. විනිපාතික අසුර නම් වූ තවත් සත්ත්ව කොට්ඨාසයක් ඇත්තේ ය. ඔවුහු චාතුර්මහාරාජික දේව කොට්ඨාසයට ම අයත් ආහාර පානාදිය අමාරුවෙන් ලබන සත්ත්ව කොට්ඨාසයකි. පියඞ්කරමාතා, උත්තර මාතා යනාදීහු විනිපාතික අසුර කොටසට අයත් වූවෝ ය. වේමානික ප්‍රේත අසුරයෝ ය කියා ද කොටසක් ඇත්තේ ය. ලෝකාන්තරික නරකයේ සත්ත්වයන්ට ද අසුරයෝ යි කියනු ලැබේ.

විනිපාතික අසුරයෝ නම් තමන් ගේ පිනෙන් ලද වාසස්ථානයක් නැති ගස් ගල් ගුහා සොහොන් බිම් කැලෑ ආදි ජන-ශූන්‍ය ස්ථානවල දුකසේ ජීවත් වන භූත කොට්ඨාසයකි. ඔවුනට යක්ෂයෝය යි ද කියති. ඔවුහු නගරවලට ගම්වලට ගොස් මිනිසුන් අහක දැමූ බත් මාලු ආදිය සොයා අනුභව කෙරෙති. සමහර විට ළදරුවන්ට හා රෝගීන්ටත් තවත් දුබල අයටත් පීඩා කොට ආහාර පාන ලබා ගනිති. කට්ටඩින් දෙන දොළ පිළිගන්නෝ ඔවුහු ය. සියලු ම විනිපාතික අසුරයෝ අහේතුක ප්‍ර‍තිසන්‍ධිකයෝ නොවෙති. ඔවුන් අතර ද්විහේතුක ත්‍රිහේතුකයෝ ද ඇත. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහරවිට මාර්ගඵලවලට ද පැමිණෙති. විනිපාතික අසුරයන්ට අයත් පියංකරමාතා - පුනබ්බසුමාතා යන යකින්නන් දහම් අසා සෝවාන් ඵලයට පැමිණි බව අටුවාවල දක්වා තිබේ. පරදත්තූපජීවිකාදි ඇතැම් ප්‍රේතයන් හා යකුන් ද මේ ගණයට ඇතුළත් වන බව කියා තිබේ.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll