369. සඋපධිශේෂ අනුපාධිශේෂ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝපාදිසේස, අනුපදිසේස නිබ්බානය ගැන ත්‍රිපිටකයේ සඳහන්වෙන තැනක් තිබේනම් කරුණාකර පෙන්වන්න පුලුවන්ද? රහතන් වහන්සේලා ස්කන්ධ පන්චකයක් පරිහරණය කරනවා(උපාදාන රහිත) කියනඑක හරිද? උන්වහන්සේලා දුක කෙලවර කල නිසා එවිට වේදනා ස්කන්ධය මගින් එන දුක් වේදනා ඇතිවන්නේ කොහොමද? කරුණාවෙන් දන්නා කෙනෙක් පහදා දෙන්න.

A / R. “මහණෙනි, මේ නිර්වාණ ධාතූහු දෙදෙනෙක් වෙත්. කවර දෙකක්දයත්? සවුපාදිශෙෂ නිර්වාණ ධාතුවය, අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවය (පඤ්චස්කන්ධයශෙෂ නොවූ නිර්වාණධාතුවය යන දෙකය.)
“මහණෙනි, සවුපාදිශෙෂ නිර්වාණධාතුතොමෝ කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්ලෙශයන්ගෙන් දුරුවූයේ වේද, ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇත්තේවේද, නිමවූ විසීම ඇත්තේවේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද තුන්බර ඇත්තේවේද, පැමිණි ස්වකීය අර්ථය ඇත්තේවේද, ක්ෂයවූ භව සංයෝජනයන් ඇත්තේවේද, මනාකොට දැන ක්ලේශයන්ගෙන් මිදුනේවෙද, ඒ රහත්හුගේ පඤ්චෙන්ද්‍රියයෝ සිටිත්මය. යම් ඉඳුරන්ගේ මනවඩන්නාවූද මන නොවඩන්නාවූද, රූපාදි ගෝචරය විඳී, (ලබයි.) (විපාකය) සුවදුක් විඳියි ඔහුගේ රාගය ක්ෂය වීය. ද්වෙෂය ක්ෂයවිය, මෝහය ක්ෂයවීය. මහණෙනි මේ සවුපාදිශෙෂ නිර්වාණධාතු යයි කියනු ලැබේ.
[‘‘ද්වෙමා, භික්ඛවෙ, නිබ්බානධාතුයො. කතමෙ ද්වෙ? සඋපාදිසෙසා ච නිබ්බානධාතු, අනුපාදිසෙසා ච නිබ්බානධාතු. ...]
“මහණෙනි, අනුපාදිශෙෂ නිර්වාණධාතු තොමෝ කවරීද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම රහත්වේද, ක්ෂයවූ ආශ්‍රවයන් ඇත්තේ වේද, නිමවූ බඹසර විසීම ඇත්තේ වේද, කරනලද කටයුතු ඇත්තේවේද, බහා තබනලද බර ඇත්තේවේද? පැමිණි ස්වකීය අර්ථ ඇත්තේවේද, ක්ෂය කරන ලද භවයංයෝජනයන් ඇත්තේවේද, මනාව දැන මිදුණේවේද, මහණෙනි, ඒ භික්ෂුවගේ වේදනාවෝ සතුටු නොවන ලද්දාහු සංස්කාර සමථයන්ගේ සංසිඳීමෙන්ද සිහිල් වන්නාහුය. මහණෙනි, මෝ අනුපාදිශෙෂ නිර්වාණධාතුයයි කියනු ලැබේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඇසුරු නොකළාවූ රාගාදිබන්ධනයෙන් නොබැඳුණාවූ එක ස්වභාව ඇත්තාවූ පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේ විසින් මේ නිර්වාණ ධාතුදෙකෙක් ප්‍රකාශ කරනලද්දාහුය. (ඔවුනතුරින්) මේලොකයෙහි මේ ආත්ම බවෙහිවූ (වර්තමානවූ) තෘෂ්ණාව ක්ෂයවූ එක් නිර්වාණ ධාතුවක් වනාහි සඋපාදිශෙෂ නිර්වාණධාතු නම් වේ.
“යම් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙක්හි සර්වප්‍රකාරයෙන් ඉපදීම භවයෝ නොපවතිද්ද, යම් ආර්ය කෙනෙක් ප්‍රත්‍යයන් විසින් නොකරනලද්දාවූ පැමිණෙන ලද්දාවූ මේ නිවන දැන තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් (කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තාහුවෙද්ද, ඒ ආර්යයෝ ධර්මයන්හි සාරයවූ රහත් බව ලැබීමෙන් නිර්වාණයෙහි ඇලුනාහු නොසැලෙන්නාහු සියලු භවයන් පහකළහ. ඉන් ඔබ්බෙහි අනුපාදිශෙෂ නිර්වාණධාතුව නමි.”
A / R. සරලව බැලූ කල, සෝපාදිසේස නිර්වාණ ධාතුව ලෙස කිව හැක්කේ, පුද්ගලයා ජීවත්ව සිටිය දී කෙලෙස් මුළුමණින් ම ප්‍රහාණය කිරීම වන අතර පංචස්ඛන්ධ පරිහරණ දුක ද නිමාකිරීම අනුපාදිසේස නිර්වාණ ධාතුවයි.
රහතන්වහන්සේට ද පෙර භවයක කරණ ලද කුසල් හා අකුසල් නිසාවෙන් හටගත් “අහේතුක සිත්” යැයි හඳුන්වන සිත් 18ක් ඇති අතර, එයින් 7ක් අකුසල් විපාක සිත් බැවින්, ඉන් එක් අකුසල් විපාක සිතක් වන “දුක්ඛ සහගත කාය විඤ්ඤාණය” නිසාවෙන් බාහිරෙන් කයේ ගැටෙන හා ආභ්‍යන්තරික කයේ ගැටීම් නිසා, එකී ගැටීම්හි කටුකබව මත කායික දුකේ ප්‍රමාණය ද වෙනස් වන බව කිව යුතුය.

අනෙක් (ඇස කන ආදී) ඉන්ද්‍රියන් සඳහා නම් කායික දුක මෙන් ඍජු දුකක් ඇති නොවෙතත් ... ↓

“එක් එක් අකුශල සිතකින් අනිෂ්ට රූප මුණ ගැසෙන කල්හි චක්ඛුවිඤ්ඤාණ ද, අනිෂ්ට ශබ්ද මුණ ගැසෙන කල්හි සෝතවිඤ්ඤාණ ද, අනිෂ්ට ගන්ධයන් මුණ ගැසෙන කල්හි ඝාණවිඤ්ඤාණ ද, අනිෂ්ට රස මුණ ගැසෙන කල්හි ජිව්හාවිඤ්ඤාණ ද, අනිෂ්ට ස්පර්ශ ඇති වන කල්හි කායවිඤ්ඤාණ ද, ඒ අරමුණු සම්බන්ධයෙන් සම්පටිච්ඡන - සන්තීරණ - තදාරම්මණ ද ඇති කරනු ලැබේ. ලොව්තුරා බුදුවරයන්ට වුව ද අනිෂ්ට රූප දැකීමාදියෙහි දී ඇති වන්නේ අකුසල විපාක සිත් ය.”

[“අකුසල් සිත්වලින් අන්තිම සිත වූ උද්ධච්ච සහගත චිත්තය හැර, ඉතිරි සිත් එකොළොසින් සතර අපායයෙහි ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ප්‍ර‍වෘත්ති කාලයෙහි වනාහි අකුසල් සිත් දොළොසින් ම කාම-රූප ලෝක දෙක්හි සුදුසු පරිදි අහේතුක අකුශල විපාක සිත් සත ඇති කරනු ලැබේ.

ඉෂ්ට හෙවත් හොඳ රූප ශබ්දාදි ආරම්මණයන් ප්‍ර‍සාදවල ගැටුණු කල්හි කුශල විපාක පඤ්චවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ උපදිති. අනිෂ්ට හෙවත් නරක රූප ශබ්දාදිය ද්වාරයන්ට මුණ ගැසුණු කල්හි අකුශල විපාක පඤ්ච විඤ්ඤාණ සම්පටිච්ඡ සන්තීරණ තදාරම්මණයෝ වෙති. ආරම්මණය ඉතා ම හොඳ වන කල්හි සෝමනස්ස සහගත සන්තීරණ තදාරම්මණයෝ වෙති.

ඉතා ම නරක දෙයක් වන අසූචියත් සමහර සත්තු හොඳ සැටියට සලකති. බොහෝ සම්පත් ඇති ඇතැම්හු සමහර හොඳ දේව්ල ද නරක ලෙස සලකති. එබැවින් අරමුණුවල හොඳ නරක බව තීරණය කිරීම දුෂ්කර ය. ඒවායේ හොඳ නරක බව මධ්‍යම ජනයාගේ සැලකීම අනුව කළ යුතු බව අටුවාවේ දක්වා ඇත්තේ ය.

අරමුණ ගැන පුද්ගලයා ගේ අදහස කුමක් වුවත් හොඳ අරමුණෙහි ඇති වන්නේ කුශල විපාක සිත් ය. එසේ ම නරක අරමුණෙහි ඇති වන්නේ ද අකුශල විපාක සිත් ය. පුද්ගලයන්ට වැරදි අදහස් ඇති වූවාට කර්මයට හා විපාකයට වැරදීමක් නො වේ. එබැවින් බුදුන් වහන්සේ ගේ ශරීරය දැකීමට පවා නුසුදුසු නො මනා අරමුණක් ලෙස සලකන මිසදිටුවන්ට බුද්ධ දර්ශනයේ දී කුශල විපාක වූ ම චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ වෙති. නරක දෙයක් වූ අසූචිය ප්‍රිය කරන සත්ත්වයාට අසූචිය දැකීමේ දී ඇති වන්නේ ද අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණ සම්පටිච්ඡන සන්තීරණ තදාරම්මණයෝ ය.

ජවනය පුද්ගලයන්ගේ අදහස් අනුව ඇති වන්නකි. කුශලාධ්‍යාශය ඇති කුශලයට කැමති අයට හොඳ නරක මධ්‍යම සියලු අරමුණුවලදී ම කුශල ජවනයන් ඇති විය හැකි ය. ධර්මයෙන් ඈත්ව යෝනිසෝමනසිකාරයෙන් තොර ව පවෙහි ඇලී වාසය කරන්නවුන්ට සියලු ම අරමුණුවල අකුසල ජවන් ඇතිවිය හැකි ය. රහතුන්ගේ වීථිවල ක්‍රියා ජවන් ඇති වේ.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll