539. රූපාවචර විඤ්ඤාණ‍ සිත් නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කාමාවචර සිත් 54 තුලට පමනක් කුසල/අකුසල විපාක උපෙක්ෂා සහගත චක්ඛු/සෝත විඤ්ඤාණයන් ඇතුලත් වනුයේ ඇයි රූපාවචර ලොකවල උපදිනා චක්ඛු සෝත ආදී විඤ්ඤාණ‍යන් ඇතුලත් කරනුයේ කොතනටද?

A / R. “ඇතැම් කාමාවචර සිත් රූපාරූප භූමීන්හි ද ඇති වේ. එසේ ම ඇතැම් රූපාවචර අරූපාවචර සිත් කාමාවචර භූමියෙහි ද ඇති වේ. මේ සිත්වලට කාමාවචරාදි නම් දී තිබෙන්නේ බොහෝ සෙයින් ඒ ඒ භූමිවල ඇතිවීම සලකාගෙන ය. කාමාවචර සිතක් රූපාරූප භූමිවල ඇති වන කල්හි ද එයට කාමාවචර යන නාමය ම කියනු ලැබේ. රූපාවචර අරූපාවචර සිත් කාම භූමියෙහි ඇති වන කල්හි ද ඒවාට රූපාවචර අරූපාවචර යන නම් කියනු ලැබේ. ලෝකෝත්තර සිත් ඇති වන්නේ ද කාම රූප අරූප යන භූමි තුනෙහි ම ය. එහෙත් ඒ සිත් ඒ භූමිවලට අයත් නො වන බැවින් ඒවාට ලෝකෝත්තර යන නාමය ම ව්‍යවහාර කරනු ලැබේ.

කාමාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් කාම ලෝකයෙහි උපදනා සිතය යනුයි.

රූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් රූප ලෝකයෙහි උපදනා සිතය යනුයි.

අරූපාවචර සිත යන්නෙහි තේරුම, බොහෝ සෙයින් අරූප ලෝකයෙහි උපදනා සිතය යනුයි.”

{ “කාම ලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්ත්වයන්ට වස්තු සය ම ඇත්තේ ය. රූපලෝකයේ බ්‍ර‍හ්මයනට ඝාන - ජිව්හා - කාය වස්තු නැත්තේ ය. අරූපී සත්ත්වයනට එක වස්තුවකුදු නැත්තේ ය.

රූප ලෝකයේ ඝ්‍රාණ - ජිහ්වා - කාය වස්තූන් නැතය යි කීමෙන් රූපාවචර බ්‍ර‍හ්මයනට නාසය - දිව හා කය නැතය යි නො ගත යුතු යි. ඔවුනට නැත්තේ සිත්වලට නිඃශ්‍ර‍ය වන ඝ්‍රාණ - ජිහ්වා - කාය ප්‍ර‍සාදයන් ය. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍ර‍වණාදි විශුද්ධියට උපකාර වන කරුණුවලට චක්ෂු වස්තුව හා ශ්‍රෝත්‍ර‍ වස්තුව ප්‍රයෝජන ය. ඝ්‍රාණාදි වස්තු තුනෙන් කාම රසාස්වාදයට මිස අනිකකට ප්‍රයෝජන නැත. කාම විරාග භාවනා කුශල බලයෙන් උපන් බ්‍ර‍හ්මයනට ඝ්‍රාණාදි වස්තු තුන ඇති නොවේ. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍ර‍වණාදිය පිණිස චක්ෂු - ශ්‍රෝත්‍ර‍ වස්තු දෙක ඇති වේ.

වස්තුවක් ඇසුරු කර ම උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු කොටත් නො කොටත් උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු නො කර ම උපදනා සිත් ය කියා සිත් තුන් කොටසක් ඇත්තේ ය.

චක්ඛු විඤ්ඤාණ දෙක චක්ෂු වස්තුව ඇසුරු කොට ම උපදී. සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයෝ ද ඒ වස්තූන් ඇසුරු කර ම උපදිති.

පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, ද්වේෂ මූල දෙසිත ය, සෝවාන් මාර්ග චිත්තය, හසිතුප්පාදය ය, රූපාවචර සිත් පසළොස ය යන සිත් තිස් තුන හෘදය වස්තුව ඇසුරු කොට ම උපදී.

කාමාවචර කුසල් සිත් අටය, අරූප කුසල් සතරය, ලෝභ මූල සිත් අටය, මෝහ මූල සිත් දෙක ය, මනෝද්වාරාවජ්ජනය ය, මහා ක්‍රියා අටය, අරූප ක්‍රියා සතරය, ප්‍ර‍ථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් සතය යන සිත් සතළිස් දෙක: කාම - රූප ලෝක දෙක්හි උපදනා කල්හි හෘදය වස්තු රූපය ඇසුරු කොටත්, අරූප ලෝකයෙහි උපදනා කල්හි වස්තුවක් ඇසුරු නො කොටත් උපදී.

අරූප විපාක සතර, වස්තුවක් ඇසුරු නො කොට ම උපදී.”
https://pitaka.lk/books/abhidharma-margaya/4-6.html}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll