807. සංදිෂ්ටිකෝ ද? සංදිට්ඨිකෝ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "ස්වක්කාතෝ" ගාථාවෙහි පැමිණෙන "සන්ධිට්ටිකො","අකාලිකෝ","ඒහි පස්සිකො" යන පද වල අර්ථ විග්‍රහයක් කල දෙනු මැනවි.

A. "සන්‍දිට්ඨිකො යනු තෙමේම දැකිය යුතුවූයේයි - සන්දිට්ඨිකොති සයං පස්සිතබ්බකො."

සංදිට්ඨිකෝ

1
. "සන්දිට්ඨිකො යන වචනයේ තේරුම, අනුන් කියනු අසා එබදු දෙයක් ඇතය යි අනුමානයෙන් සිතා ගන්නා දෙයක් නොව, මේ නවලෝකෝත්තර ධර්මය තම තමන් විසින් ම දැක තමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක්ය යනුයි."

A. අකාලිකෝ

2. "දින ගණනක් මාස ගණනක්, වර්ෂ ගණනක් ඉක්මීමෙන් පසු හෝ අනාගත භවවලදී ඵලය බලා පොරොත්තු විය යුතු, එල දෙන අනාගත කාලයක් ඇති ධර්මයෝ කාලික නම් වෙති. කුඹුරක් වපුළහුට එහි ඵල ලැබෙන්නේ මාස ගණනකට පසුවය. පොල් ගසක්, කොස් ගසක් සිට වූ තැනැත්තාට එයින් පල ලැබෙන්නේ වර්ෂ ගණනකට පසුව ය. ශිල්පයක් ශාස්ත්‍රයක් උගත් තැනැත්තාට එයින් ඵල ලැබෙන්නේ කලක් ගතවීමෙනි. යම් සේවාවක් කළහුට ද එයින් ඵල ලැබෙන්නේ කලක් ගතවීමෙනි. එබැවින් ඒවා කාලිකයෝ ය. දින, මාස, වර්ෂ ගත නො වී යමක ඵලය එවේලේම ලැබේ නම් එය අකාලික නම් වේ."

A. ඒහිපස්සිකෝ

3. "ඒහිපස්සිකො යන්නෙහි තේරුම, “එන්නය, මේ ධර්මය අසන්නය, මේ ධර්මය අනුව ක්‍රියා කර බලන්නය යි අන්‍යයන්ට කීමට - අන්‍යයන් මෙහෙයවීමට, අන්‍යයන්ට බලකිරිමට වුවද මේ ධර්මය සුදුසුය’ යනුයි. ඉදිබුලොම - කවුඩු දත්-සා අං ආදිය නැති නිසා ඇවිත් බලන්නය යි ඒවා නො දැක්විය හැකිය. තිර්ථකයන් විසින් පරිකල්පිත ධර්ම ද සත්‍යවශයෙන් නැති බැවින් ඇවිත් බලන්නය කියා නො දැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් දේශිත සතර මාර්ග සතරඵල නිර්‍වාණසඬිඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් දේශනා කළේ පළමු කොට තමන් වහන්සේගේ සන්තානයෙහි ඒ ධර්මයන් උපදවාගෙන හා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනය. ඒ ධර්මයන් උපදවා ගත් ප්‍රත්‍යක්ෂ කර ගත් බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ ද වූහ. එබැවින් ඒ නවලෝකෝත්තර ධර්‍මය ගැන සැක කළ යුත්තක් නැත. මේ සසුනට ඇවිත් පිළිවෙත් පුරා ඒ ධර්‍මයන් ලබා ගන්නය යි සෙස්සන්ට කීමට බියවිය යුත්තක් නැත. ඒ නවලෝකෝත්තර ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්තය."

{"“සන්‍දිට්ඨිකො

සන්‍දිට්ඨිකො - යන මෙයින් කිසි තැනෙක ආර්‍ය්‍යමාර්‍ග ද කිසි තැනෙක නවලෝකෝත්තර ධර්‍ම ද කියනු ලැබේ. ආර්‍ය්‍යමාර්‍ග සන්‍දිට්ඨික වන්නේ මෙසේ ය. ආර්‍ය්‍ය මාර්‍ග ස්වකීය සන්තානයෙහි රාගාදීන් නැති කරන බැවින් තමා විසින් ම දැක්ක යුතුය. යන අර්‍ථයෙන් සන්‍දිට්ඨික ය.

වදාළේ මැ යි :- “රත්තො ඛො බ්‍රාහ්මණ රාගෙන අභිභූතො පරියාදින්න චිත්තො අත්තව්‍යාබාධාය පි චෙතෙති. පරව්‍යාබාධාය පි චෙතෙති. උභයව්‍යාබාධාය පි චෙතෙති, චෙතසිකංපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති, රාගෙ පහීණෙ නෙව අත්තව්‍යාබාධාය පි චෙතෙති, න පර, උභයව්‍යාබාධාය පි චෙතෙති. න චෙතසිකංපි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති එවංපි ඛො බ්‍රාහ්මණ සන්‍දිට්ඨිකො ධම්මො හොති”[2] ‘බ්‍රාහ්මණය! රාගයෙන් රත් වූ රාගයෙන් අභිභූත වූ රාගයෙන් වළඳනා ලද්දා වූ පුද්ගල තමහට වධ පිණිස ද, මෙරමාහට වධ පිණිස ද, තමා මෙරමා යන උභයපක්‍ෂයට වධ පිණිස ද සිතන්නේ ය. චෛතසික වූත් දුක් දොම්නස් විඳින්නේ ය. රාගය ප්‍ර‍හීණ වූ කල්හි තමහට හෝ මෙරමාහට හෝ ඒ දෙපක්‍ෂයටම හෝ වධ පිණිස නොසිතන්නේ ය. චෛතසික වූත් දුක් දොම්නස් නො විඳින්නේ ය. බ්‍රාහ්මණය! මෙසේ හෙයින් ධර්‍මය සන්‍දිට්ඨික යි යනු එහි අර්‍ථ යි. මෙහි ධර්‍ම නම් මාර්‍ග ධර්‍ම යි දත යුතු ය.

නව විධ වූ ම ලෝකෝත්තර ධර්‍ම සන්‍දිට්ඨික වන්නේ මෙසේ ය.

නව විධ ලෝකෝත්තර ධර්‍ම යම් යම් කෙනෙකුන් විසින් අධිගත නම් ඔවුන් ඔවුන් විසින් පරශ්‍ර‍ද්ධායෙන් නො ගොස් ප්‍ර‍ත්‍යවෙක්‍ෂාඥානයෙන් තමා විසින් ම දැක්ක යුතු ය. එබැවින් සන්‍දිට්ඨික යි.

තව ද ප්‍ර‍ශස්ත වූ දෘෂ්ටිය සන්දෘෂ්ටිය සන්දෘෂ්ටියෙන් දිනන්නේ සංන්දෘෂ්ටික ය.

ඒ එසේ මැ යි :- ආර්‍ය්‍යමාර්‍ග සම්ප්‍ර‍යුක්ත සන්දෘෂ්ටියෙන් ද, ආර්‍ය්‍යඵල කාරණ වූ සන්දෘෂ්ටියෙන් ද, නිර්‍වාණය විෂය වූ සන්දෘෂ්ටියෙන් ද කෙලෙසුන් දිනන්නේ ය. රටින් දිනන්නා රට්ඨි වන්නා සේ නවවිධ ලෝකෝත්තර ධර්‍ම සන්දෘෂ්ටියෙන් දිනන හෙයින් සන්දෘෂ්ටික වේ.

තව ද දෘෂ්ට යනු - දර්‍ශනය දැක් ම ය. දෘෂ්ටය ම සංදෘෂ්ට - සංදර්‍ශනය සංදෘෂ්ටයට හෙවත් සංදර්‍ශනයට සුදුසු සංදෘෂ්ටිකය. ලෝකෝත්තර ධර්‍ම වනාහි භාවනා ප්‍ර‍තිවේධ වශයෙන් ද, ප්‍ර‍ත්‍යක්‍ෂ ප්‍ර‍තිවේධ වශයෙන් ද දක්නා ලබන්නේ ම සසර භය නවත්වා ලයි. එහෙයින් වස්ත්‍ර‍යට සුදුසු වූයේ වාස්ත්‍රික වන්නා සේ සංදෘෂ්ටයට සුදුසු වූයේ සංදෘෂ්ටික වෙයි.

අකාලිකො

කල් නොය වා විපාක දෙන්නේ අකාලික ය. මෙයින් මාර්‍ග ම කියනු ලබන බව දත යුතු.

එහි විස්තරය මෙසේ ය :- තමාගේ ඵල දීමට කාලයක් නැත්තේ අකාල ය. අකාල ම අකාලික ය. ලෞකික කුශල උපපජ්ජ වශයෙන් හෝ අපරාපරිය වශයෙන් හෝ ඵල දෙයි. දිට්ඨධම්ම වශයෙන් ඵල දෙන්නේ ත් පස් දවස්, සත් දවස් ඉක්මැ ම ඵල දෙයි. ලෝකෝත්තර කුශල වනාහි එසේ නො වැ අනතුරුවැ ම ඵල දෙයි. මාර්‍ග චිත්තය ළඟට ම ඵල චිත්තය උපදින්නේ ය.

තව ද ඵල දීමට දුර කාල ඇත්තේ කාලික ය. එනම් ලෞකික කුසලි. කාලික නො වන්නේ හෙවත් ඵල දීමට දුර කාල නැත්තේ අකාලික ය. මාර්‍ගයට අනතුරු වැ ම විපාක යි.

එහිපස්සිකො

එවු, බලවු යන මේ විධියට සුදුස්සේ එහිපස්සික ය. එ නම් නවලෝකෝත්තර ධර්‍ම යි. නවලෝකෝත්තර ධර්‍ම වනාහි ඒකාන්තයෙන් විද්‍යාමාන බැවින් ද, පිරිසිදු බැවින් ද එසේ කීමට සුදුසු ය. කිසිවකුදු නැති හිස් මිට රන්රුවන් ඇතැයි දක්වා එවු, බලවු ය යි කීමට නුසුදුසු ය. එසේ ම මළ මූ ඇති මිට කිසිවක් ඇත ද ඇත්තේ අසූචියක් බැවින් එවු, බලවු යි කීමට නුසුදුසු ය, වසාලීමට නම් සුදුසු ය. ලෝකෝත්තර ධර්‍ම වනාහි වලාකුළු රහිත අහස පූර්‍ණචන්‍ද්‍ර‍මණ්ඩලය සේ ඒකාන්තයෙන් විද්‍යාමාන බැවින් ද, පඬුවන් පලසෙක ලූ ජොතිරංගමණිය සේ ඒකාන්තයෙන් පිරිසිදු බැවින් ද එවු බලවු යයි කීමට සුදුසු ය. එබැවින් ම ඒ “එහිපස්සික” යි."


"148.සන්දිට්ඨිකොති ¶ එත්ථ පන අරියමග්ගො තාව අත්තනො සන්තානෙ රාගාදීනං අභාවං කරොන්තෙන අරියපුග්ගලෙන සාමං දට්ඨබ්බොති සන්දිට්ඨිකො. යථාහ –“රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදිණ්ණචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති. චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. රාගෙ පහීනෙ නෙව අත්තබ්‍යාබාධාය චෙතෙති, න පරබ්‍යාබාධාය චෙතෙති, න උභයබ්‍යාබාධාය චෙතෙති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. එවම්පි ඛො, බ්‍රාහ්මණ, සන්දිට්ඨිකො ධම්මො හොතී”ති(අ· නි· 3.54). අපිච නවවිධොපි ලොකුත්තරධම්මො යෙන යෙන අධිගතො හොති, තෙන තෙන පරසද්ධාය ගන්තබ්බතං හිත්වා පච්චවෙක්ඛණඤාණෙන සයං දට්ඨබ්බොති සන්දිට්ඨිකො. අථ වා පසත්ථා දිට්ඨි සන්දිට්ඨි, සන්දිට්ඨියා ජයතීති සන්දිට්ඨිකො. තථා හෙත්ථ අරියමග්ගො සම්පයුත්තාය, අරියඵලං කාරණභූතාය, නිබ්බානං විසයිභූතාය සන්දිට්ඨියා කිලෙසෙ ජයති. තස්මා යථා රථෙන ජයතීති රථිකො, එවං නවවිධොපි ලොකුත්තරධම්මො සන්දිට්ඨියා ජයතීති සන්දිට්ඨිකො.
අථ වා දිට්ඨන්ති දස්සනං වුච්චති. දිට්ඨමෙව සන්දිට්ඨං, දස්සනන්ති අත්ථො. සන්දිට්ඨං අරහතීති සන්දිට්ඨිකො. ලොකුත්තරධම්මො හි භාවනාභිසමයවසෙන සච්ඡිකිරියාභිසමයවසෙන ච දිස්සමානොයෙව වට්ටභයං නිවත්තෙති. තස්මා යථා වත්ථං අරහතීති වත්ථිකො, එවං සන්දිට්ඨං අරහතීති සන්දිට්ඨිකො.

149.අත්තනො ඵලදානං සන්ධාය නාස්ස කාලොති අකාලො. අකාලොයෙව අකාලිකො. න පඤ්චාහසත්තාහාදිභෙදං කාලං ඛෙපෙත්වා ඵලං දෙති, අත්තනො පන පවත්තිසමනන්තරමෙව ඵලදොති වුත්තං හොති. අථ වා අත්තනො ඵලදානෙ පකට්ඨො කාලො පත්තො අස්සාති කාලිකො. කො සො? ලොකියො ¶ කුසලධම්මො. අයං පන සමනන්තරඵලත්තා න කාලිකොති අකාලිකො. ඉදං මග්ගමෙව සන්ධාය වුත්තං.

150.“එහි පස්ස ඉමං ධම්ම”න්ති එවං පවත්තං එහිපස්සවිධිං අරහතීති එහිපස්සිකො. කස්මා පනෙස තං විධිං අරහතීති? විජ්ජමානත්තා පරිසුද්ධත්තා ච ¶. රිත්තමුට්ඨියං හි හිරඤ්ඤං වා සුවණ්ණං වා අත්ථීති වත්වාපි “එහි පස්ස ඉම”න්ති න සක්කා වත්තුං. කස්මා? අවිජ්ජමානත්තා. විජ්ජමානම්පි ච ගූථං වා මුත්තං වා මනුඤ්ඤභාවප්පකාසනෙන චිත්තසම්පහංසනත්ථං “එහි පස්ස ඉම”න්ති න සක්කා වත්තුං. අපිච ඛො පන තිණෙහි වා පණ්ණෙහි වා පටිච්ඡාදෙතබ්බමෙව හොති. කස්මා? අපරිසුද්ධත්තා. අයං පන නවවිධොපි ලොකුත්තරධම්මො සභාවතොව විජ්ජමානො විගතවලාහකෙ ආකාසෙ සම්පුණ්ණචන්දමණ්ඩලං විය පණ්ඩුකම්බලෙ නික්ඛිත්තජාතිමණි විය ච පරිසුද්ධො. තස්මා විජ්ජමානත්තා පරිසුද්ධත්තා ච එහිපස්සවිධිං අරහතීති එහිපස්සිකො."


[1. "11. සන්දිට්ඨීක ගුණය

සන්දිට්ඨිකො අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි යන පදවලින් කියැවෙන ගුණ පස විශේෂයෙන් ඇත්තේ ලෝකෝත්තර ධර්මයන්හිය.

සන්දිට්ඨිකො යන වචනයේ තේරුම, අනුන් කියනු අසා එබදු දෙයක් ඇතය යි අනුමානයෙන් සිතා ගන්නා දෙයක් නොව, මේ නවලෝකෝත්තර ධර්මය තම තමන් විසින් ම දැක තමන් විසින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ධර්මයක්ය යනුයි.

වෛද්‍යකු විසින් වර්ණනා කරන බෙහෙතක් සෙස්සන් විසින් නො ලැබිය හැකි - ලබා වැළඳුව ද කියන ගුණ නො දැකිය හැකි දෙයක් වේ නම්, එය පිළිගත හැකි උසස් කොට සැලකිය හැකි බෙහෙතක් නොවේ. යමකු යම් ධර්මයක් තමා තුළ ඇති කර ගෙන එයින් උසස් ඵල ලබා සිටිමි යි කිව ද එය සෙස්සන්ට තම තමන් තුළ ඇති කර ගත නො හෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය නො හෙන ධර්මයක් වේ නම් එය උසස් කොට සැලකිය හැකි පිළිගත හැකි ධර්මයක් නොවේ. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන සතරමාර්ග සතරඵල ධර්ම සෙස්සන්ටත් තම තමන් තුළ උපදවා ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. නිර්වාණ ධර්මය ද ලෝකෝත්තර ඥානයෙන් සෙස්සන්ට ද ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. කෙනෙකු දෙදෙනකු විසින් පමණක් දැන සිටිනවාය කියන දෙය අසත්‍යය ද විය හැකිය. සත්‍ය වුව ද නිසැකව පිළිගැනීමට දුෂ්කරය. බොහෝ දෙනෙකු දැන ඇති, දැක ඇති, ප්‍රත්‍යක්ෂ කර ඇති, ධර්මයක් වේ නම් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කර නොගත් අය විසින් ද එය පිළිගත හැකිය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශනය කරන නවලෝකෝත්තර ධර්මය උන් වහන්සේ විසින් පමණක් නොව තවත් බොහෝ දෙනෙකු විසින් ද තම තමන් තුළ උපදවා ගෙන ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටින ධර්මයෙකි. එබැවින් ඒ ධර්මය පිළගැනීමට සුදුසු පිළිගත හැකි ධර්මයෙකි. අර්හත්වය සෙස්සන් විසින් ලැබිය හැකි නො ලැබිය හැකි බව පිළිබඳ බුදුරදුන් හා වච්ඡ නම් තවුසා අතර ඇති වූ සාකච්ඡාවක් මෙසේය:-

“පින්වත් ගෞතමයෙනි, මා මේ කථා කරන්නේ ඔබ ගැන නොවෙයි. ඔබ වහන්සේ විසින් පවසන කාමාදි ආශ්‍රවයන් ක්ෂය කොට පැමිණෙන අර්හත්වයට පැමිණ සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක වු එක් භික්ෂුවකුදු ඇත්තේ ද?

“වච්ඡ, සියයකුත් නොවෙයි, දෙසියයකුත් නොවෙයි, තුන්සියයකුත් නොවේ, සාරසියකුත් නොවේයි, පන්සියයකුත් නොවෙ යි, මාගේ ශ්‍රාවක වු බොහෝ භික්ෂුහු ආශ්‍රවයන් ක්ෂය කොට අර්හත්වයට පැමිණ සිටින්නාහ.

“පින්වත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවන් වන භික්ෂුණීන් අතර අශ්‍රවයන් ක්ෂය කොට අර්හත්වයට පැමිණ ඇති එක් භික්ෂූණියකුදු ඇත්තී ද?”

“වච්ඡි, සියයකුදු නො වේ, දෙසියයකුදු නො වේ, තුන්සියයකුදු නොවේ, හාරසියයකුදු නොවේ, පන්සියයකුදු නොවේ, මාගේ ශ්‍රාවකයන් වු බොහෝ භික්ෂුණීහු අර්හත්වයට පැමිණ ඇත්තාහ.

“පින්වත් ගෞතමයෙනි, ඔබ වහන්සේගේ උපාසකයන් අතර පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ප්‍රහාරණය කොට මරණින් මතු බඹලොව ඉපිද එහිම පිරිනිවෙන්නා වූ නැවත මේ ලෝකයට නො පැමිණෙන්නා වු බ්‍රහ්මචාරි ගෘහස්ථ ශ්‍රාවකයෙක් ඇත්තේ ද?

“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක්, නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවකයෝ ඇතහ”.

“පින්වත් ගෞතමයනි, ඔබ වහන්සේගේ අවවාදානුශාසනා පළිපදින්නා වූ සියලූ සැක දුරු කර ගෙන සිටින්නා වු නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නො සොයන නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන් ම පිළිගෙන සිටින ඔබ වහන්සේගේ ශ්‍රාවක කාමභෝගි එක් ගෘහස්ථ උපාසකයෙකුදු ඇත්තේ ද?”

“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක්, නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථෝපාසකයෝ ඇත්තාහ”.

“පින්වත් ගෞතමයෙනි, පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කොට මරණින් මතු බඹලොව උපන්නා වු එහිම පිරිනිවෙන්නා වූ ගෘහස්ත වු උපාසිකාවකුදු ඇත්තේ ද?”

“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක්, නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවකයෝ ඇත්තාහ”.

“පින්වත් ගෞතමයනි, නුඹ වහන්සේගේ අනුශාසනය අවවාදය පිළිපදින්නා වූ සියලූ සැක දුරු කරගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ ධර්මය ස්ථීර වශයෙන් ම පිළිගෙන සිටින්නා වූ නුඹ වහන්සේගේ සසුනෙන් පිටතින් පිහිටක් නො සොයන්නා වු ගෘහස්ථ වූ කාමභෝගිනී වූ නුඹ වහන්සේගේ එක් ශ්‍රාවිකාවකුදු ඇත්තී ද?”

“වච්ඡය, සියයක්, දෙසියයක්, තුන්සියයක්, සාරසියයක්, පන්සියයක්, නො වේ. මාගේ එබඳු බොහෝ ගෘහස්ථ ශ්‍රාවිකාවෝ ඇත්තාහ”.

මේ කථාවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ධර්මය කාහටත් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් බව දැන පැහැදුනා වූ වච්ඡ පිරිවැජි තෙමේ බුදු සසුනෙහි පැවිදිව තථාගතයන් වහන්සේගේ අවවාදානුශාසනයන් අනුව පිළිපැද සියලූ කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණ නවලෝකෝත්තර ධර්මය තමන් විසින් ම දැක ගත්තේ ය. ප්‍රත්‍යක්ෂ කර ගත්තේ ය.

(මජ්ක්‍ධිම නිකාය මහාවච්ඡගොත්ත සුත්‍රය)

ලෝකෝත්තර ධර්මයෝ වනාහි ප්‍රත්‍යක්ෂ කර ගැනිමෙන් ම ප්‍රයෝජන ලැබිය යුත්තෝ ය. එකකුගේ ප්‍රත්‍යක්ෂයෙන් අනිකකුට ප්‍රයෝජනයක් නො ලැබිය හැකිය. ගුරුවරයා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගෝලයාට හෝ පැවිද්දා ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ගිහියාට හෝ දේශකයා විසින් ප්‍රත්‍යක්ෂ කර ඇති ලෝකෝත්තර ධර්මයෙන් ශ්‍රාවකයාට හෝ ප්‍රයෝජනයක් නැත. ප්‍රත්‍යක්ෂ කර ගැනුමෙන් ම ප්‍රයෝජනය ලැබිය යුතු බැවින් ද නව ලෝකෝත්තර ධර්මය සන්දිට්ඨික නම් වේ. පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක්හි ද එක්තරා ප්‍රමාණයක සාන්දෘෂ්ටික ගුණයක් ඇත්තේ ය."

2. "12. අකාලික ගුණය

දින ගණනක් මාස ගණනක්, වර්ෂ ගණනක් ඉක්මීමෙන් පසු හෝ අනාගත භවවලදී ඵලය බලා පොරොත්තු විය යුතු, එල දෙන අනාගත කාලයක් ඇති ධර්මයෝ කාලික නම් වෙති. කුඹුරක් වපුළහුට එහි ඵල ලැබෙන්නේ මාස ගණනකට පසුවය. පොල් ගසක්, කොස් ගසක් සිට වූ තැනැත්තාට එයින් පල ලැබෙන්නේ වර්ෂ ගණනකට පසුව ය. ශිල්පයක් ශාස්ත්‍රයක් උගත් තැනැත්තාට එයින් ඵල ලැබෙන්නේ කලක් ගතවීමෙනි. යම් සේවාවක් කළහුට ද එයින් ඵල ලැබෙන්නේ කලක් ගතවීමෙනි. එබැවින් ඒවා කාලිකයෝ ය. දින, මාස, වර්ෂ ගත නො වී යමක ඵලය එවේලේම ලැබේ නම් එය අකාලික නම් වේ.

සර්වඥයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය අකාලික ගුණයෙන් යුක්තය. ලෝකෝත්තර ධර්‍මයන් අතුරෙන් අකාලික ගුණය විශේෂයෙන් ඇත්තේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර මාර්‍ග සතරෙහි ය. සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන මේ ලෝකෝත්තර ධර්‍මයෝ සතර දෙන සතර මාර්‍ගයන්ගේ ඵලයෝ ය. නිර්‍වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්‍මය යම් කිසි හේතුවකින් හටගන්නා ඵලධර්‍මයන් නො වන නමුත්, ආර්‍ය්‍යමාර්‍ගයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු බැවින්, ආර්‍ය්‍ය මාර්‍ගයට පැමිණිමෙන් ලැබිය යුතු බැවින්, ඵලධර්‍මයක් ලෙස සැලකිය යුතුය. ආර්‍ය්‍යඵල සතර ආර්‍ය්‍ය මාර්ග සතරින් උපදවන ඵලයෝ ය. නිර්‍වණය ආර්‍ය්‍යමාර්‍ගයන් නිසා ලබන එලයකි. ඒවායේ නැවත ඵල දානයක් නැති නිසා ඒ ධර්මයෝ අකාලිකය යි නො කිය යුත්තෝ ය. ඵලවලින් ද කල්ගත වී ලැබෙන ඵලය කාලිකය යි ද, එකෙණෙහි ම ලැබෙන ඵලය අකාලිකය යි ද කිය හැකි ය. කල් ගත නො වී එවේලේ ම ලැබෙන ඵලයෝය යන අර්ථයෙන් ආර්‍ය්‍යඵල සතර හා නිවන අකාලික ධර්මයෝ ය යි කිය හැකි ය. මෙසේ අකාලික යන වචනයේ අථිය දෙයාකාරයෙන් ගෙන නවලෝකෝත්තර ධර්මය ම අකාලික ගුණයෙන් යුක්තය යි කිය හැකි ය.

යමෙකුගේ සන්තානයෙහි සෝවාන් මාර්‍ග චිත්ත සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ඇති වුවහොත් එය නිරුද්ධ වනු සමග ම අතර කාලය නො තබා සෝවාන්ඵලචිත්තය පහළ වේ. ඒ පුද්ගලයා ද ලාමක වූ පෘථග්ජන භාවයෙන් මිදි ආර්‍ය්‍යපුද්ගලයෙක් වේ. අනාදිමත් කාලයක පටන් ඔහුගේ සන්තානයෙහි පැවත ආ දෘෂ්ටි - විචිකිත්සා නමැති ක්ලේශ දෙක සහමුලින් දුරුවේ. අපායෝත්පත්තියට හේතුවන තරමේ පව්කම් කිරිමට හේතුවන ඖදාරික ක්ලේශයෝ ද ඔහුගෙන් දුරුවෙති. ඔහු විසින් අතීතයේ කර ඇති අකුශලකර්මයන්ගේ අපායට පැමිණවිය හැකි ශක්තිය ද නැති වේ. සත් භවයකින් මතුයෙහි ලබන්නට තුබු සකල සංසාර දුක්ඛයෙන් ද ඔහු මිදේ. මේ ඵල සියල්ල ම සෝවාන්මාර්ග චිත්තය ඇති වූ කෙණෙහි ම ඇති වේ. එබැවින් ඒ සෝවාන් මාර්ගසංඛ්‍යාත ලෝකෝත්තර ධර්මය ආකාලිකය යි කියනු ලැබේ. මේ නයින් සකෘදාගාමි මාර්‍ගය, අනාගාමි මාර්ගය, අර්හත් මාර්‍ගය යන ලෝකෝත්තර ධර්‍ම තුනෙහි අකාලික භාවය ද විස්තර කළ යුතු ය. කුඹුරක් වපුල තැනැත්තාට සමහර විට ඒවායේ ඵල නො ලැබී ද යන්නේ ය. ලෝකෝත්තර ධර්‍මයන්ගේ පලදීම පිළිබඳව අනියතත්වයක් නැත. ලෝකෝත්තර මාර්‍ගයක් ඇති වූව හොත් එහි ඵලය ඇතිවිය නියතය.

ලෞකිකවූ ද ශාසන ධර්‍මවල එක්තරා ප්‍රමාණයක අකාලික ඵලයක් දැක්විය හැකි ය. කාමයන් හැර ගිහිගෙයින් බැහැරව බුදුසස්නෙහි පැවිදි වීම එක් ප්‍රතිපත්ති ධර්‍මයෙකි. කාමයන් කෙරෙහි ඇලී ගැලී ගිහිගෙයි වෙසෙනුවන්ට කාමයන් හේතුකොට ගෙන මහා දුඃඛස්කන්ධයක් ඇති වේ. භාර්‍ය්‍යාව, ගිහිගෙයි වෙසෙනුවට ඇති, ඉතා උසස් කොට සලකන කාම වස්තුවකි. බිරිය නමැති උසස් කොට සලකන කාම වස්තුවට ඇලූම් කෙරෙමින් බිරියක් රක්ෂා කරන්නා වූ පුරුෂයා හට ඇයට ආහාරපාන වස්ත්‍රාභරණාදිය සැපයිමට හා ඇගේ වුවමනා ඉටු කර දිමටත් බොහෝ වෙහෙසෙන්නට සිදු වේ. රෑ දාවල් දෙක්හි වැඩ කරන්නට සිදු වේ. එය ඉමහත් දුකකි. කොතෙක් මහන්සි ගත ද සමහර විට ඇගේ වුවමනා සම්පුර්ණ කරන්නට නො පිළිවන් වූ කල්හි ඈ නොයෙක් ලෙස පුරුෂයාට අපහාස කරන්නට පටන් ගනී. සමහර විට “අනේ මේ මිනිසකු හා ඇවිත් මට වූ විපත, උදව්වට කිසිවකු නෑ. වැඩ කර ඉවරයක් නෑ, කටට රසට කෑමක් නෑ, දොරට බසින්නට ඇදුමක් නෑ. නෑයකු මිතුරෙකු පැමිණි විට සංග්‍රාහ කරන දෙයක් නෑ, ගමනක් යන්න වියදම් නෑ” යනාදීය අඳෝනාබස් කියයි. ඒවා ඇසෙන විට පුරුෂයකුට ඇතිවන සිතේ අමාරුව ඉතා මහත් ය. රාගය අතෘප්තිකරය. සැමියා විසින් බිරියට කොතෙක් සැලකුව ද, කිසි අඩුවක් නැතිව ඇගේ වුවමනා සියල්ල සම්පුර්ණ කර දුන ද ස්ත්‍රිය තවත් පුරුෂයන්ට කැමැති වන්නී ය. එබඳු කරුණු දැනගන්නට ලැබුණු විට පුරුෂයකුට ඇති වන සිතේ අමාරුව ඉතා මහත් ය. බිරියන් සම්බන්ධයෙන් ඇති වන මේ දුඃඛස්කන්ධය පැවිද්දන්ට නැත. එය මහත් වූ නිරාමිශ සුඛයෙකි. කාමයන් හැර පැවිදි වන්නකුට ඒ සුවය කල් ගොසින් නොව පැවිදි වූ කෙණෙහි ම ලැබෙන්නේය. එය පැවිද්දෙහි අකාලික ඵලයෙකි. දූ දරුවන් නිසා වන දුඃඛස්කන්ධය ද, බිරියන් නිසා වන දුඃඛස්කන්ධය සේ ම මහත් ය. එයින් නිදහස් වීම ද පැවිද්දෙහි අකාලික ඵලයෙකි. දූ දරුවන් පෝෂණය කිරිම සම්බන්ධයෙන් ද ගිහියන්ට මහත්වූ දුඃඛස්කන්ධයක් ඇත්තේ ය. ගිහියා විසින් ධන සැපයිමට ද බොහෝ වෙහෙසිය යුතු ය. ලැබු ධනය ආරක්ෂා කිරිමටත් බොහෝ වෙහෙසිය යුතු ය. ධනය විනාශ වීමෙන් ද ඔහුට නොයෙක් විට දුක් ඇති වන්නේ ය. පැවිද්දාට ඒ දුඃඛස්කන්ධය නැත. එය පැවිද්දෙහි අකාලික ඵලයෙකි. මෙසේ තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව පිළිපදින්නවුන්ට එකෙණෙහි ම ලැබෙන බොහෝ අනුසස් ඇත්තේ ය.

මැවුම්කාර දෙවියන් කෙරෙහි භක්තිමත්ව වාසය කොට ඔවුන්ට ගරුබුහුමන් කිරිමෙන්, ඔවුන්ගේ ගුණ කීමෙන්, ඔවුනට සම්පත් පුදපුජා කිරිමෙන්, ඔවුන් සතුටු කොට ඔවුන්ගේ බලයෙන් මරණින් මතු ඔවුන් වෙසෙන දිව්‍යලෝකවලට ගොස් සැප සම්පත් වීඳිම පිළිබඳව ඇතමුන් විසින් පරිකල්පනය කොට ප්‍රකාශිත ධර්මයෝ කල්ගත වී මරණින් පසු ලබන දෙයක් පිළිබඳව වූ ධර්ම වන බැවින් ඒවා කාලික ධර්මයෝ ය. ඒ ධර්ම වලට අනුව පුරන ප්‍රතිපත්තීහු ද කාලික ධර්මයෝ ය. ඒවාට කාලීක ධර්ම වශයෙන් කියනුයේ ද ඔවුන්ගේ අදහස් අනුවය. ඔවුන්ට ඇතය යි සිතන මැවුම් කරුවන් හා ඔවුන් වෙසෙන ස්වර්ග ද සත්‍ය වශයෙන් නැති බැවින් ඒවා නිෂ්ඵල ධර්මයෝ ය.

මරණින් මතු දෙව්මිනිස් සැප ලැබීම සඳහා ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගී, මගී, යාචකාදීන්ට දන් දිම, පඤ්චශීලාදි ශීලයන් රක්ෂා කිරිම, මාපිය උපස්ථානය යනාදි පින්කම් කළ යුතු බව බුදුරදුන් විසින් ද වදාරා ඇත්තේ ය. ඒවා කාලික ධර්මයෝ ය. බුදු වරුන් ලොව පහළ වීමේ පරමාර්ථය සත්ත්වයාට දෙව් - මිනිස් සැප ලබා දීම නොව, ඔවුන් ලෝකයෙහි එතෙර කරවීම ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, මම භවය මඳකුදු වර්ණනා නො කරමි’යි වදාළහ. දෙව් - මිනිස් සැප ලැබිමේ කාලික ධර්ම ක්‍රමය බුදුවරුන් ඇතත් නැතත් ලොව සැමකල්හි පවත්නේ ය. බුද්ධ ශුන්‍ය කාලවලදී දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකයන් හිස් නො වී පවත්නේ, ඒ ධර්මයන් ලොව පවත්නා නිසා ය. පව්කම් කොට අපායට යාමට වඩා දානාදී පින්කම් කොට සුගතියට යාම යහපත් නිසා මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යය සපුරා නිවන් දැකිමට අපොහොසත් අභව්‍ය පුද්ගලයාගේ යහපත පිණිස තථාගතයන් වහන්සේ කාලික ධර්ම වු ස්වර්ග මාර්ගය දේශනා කළ සේක. බුදුවරුන්ගේ ප්‍රධාන ධර්මය මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යය දක්වන දේශනාව ය. අකාලික වූ ලෝකෝත්තර මාර්‍ගයට පැමිණිමේ ක්‍රමය ලොකෝත්තර මාර්ගය සිය සතන්හි ඇති කර ගැනිමේ ක්‍රමය, දක්වන ඒ ධර්මය අකාලික ධර්මයෙකැයි කිය යුතුය. ඒ ධර්මයෙන් දක්වන තිසරණ සමාදානයේ පටන් සකල ප්‍රතිපත්තිය ද අකාලික වූ ලෝකෝත්තර මාර්ගය සඳහා පුරන පිළිවෙතක් වන බැවින් අකාලික ධර්මයක් බව කිය යුතුය.

තථාගතයන් වහන්සේ ශාක්‍ය රට සිලාවතී නම් ස්ථානයෙහි වැඩවෙසෙනසමයෙහි උන්වහන්සේට නුදුරු තැනක, මැනවින් මහණදම් පුරන තරුණ භික්ෂු පිරිසක් වූහ. මාරයා ඒ භික්ෂුන් මුළා කරවන්නට සිතා මහලූ බමුණු තවුසකුගේ වේශයෙන් ඔවුන් වෙත ගොස් මෙසේ කීය. “භවත්නි, යුෂ්මත්හු තරුණයෝ ය. කළු කෙස් ඇත්තෝ ය. තවම ප්‍රථම වයසෙහි සිටින්නෝ ය. කාම ක්‍රීඩාවෙහි යෙදි නැත්තෝ ය. යුෂ්මත්හු මානුෂික කාමයන් වළඳත්වා, සාන්දෘෂ්ටික වූ කාම සුව හැර කාලික සුඛයකට (කලක් ගත වී ලබන සුවයකට) සිත් යොමු නොකෙරෙත්වා! එකල්හි ඔහුට භික්ෂුහූ මෙසේ කීය.

“න ඛො මයං බ්‍රාහ්මණ, සන්දිට්ඨීකං හිත්වා කාලිකං අනුධාවාම. කාලිකඤ්ච ඛො මයං බ්‍රාහ්මණ, හිත්වා සන්දිට්ඨිකං අනුධාවාම, කාලිකා හි බ්‍රාහ්මණ කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහුපායාස ආදීනවො ඵත්ථ භීය්‍යො. සන්දිට්ඨීකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි.”

(මාර සංයුත්ත)

තේරුම:-

“බ්‍රාහ්මණය, අපි ඇස් ඉදිරියේ ඇති දෙය හැර කල් ගත වී ලබන දෙයකට සිත නො යවමු. බ්‍රාහ්මණය, අපි කල් ගත වී ලබන දෙය හැර ඇස ඉදිරියේ ඇති දෙයකට සිත යොමු කරමුය, බ්‍රාහ්මණය, කාමයෝ කාලිකයෝ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙසීම අත්තෝ ය. එහි ආදීනව බොහෝය යි වදාළහ. මේ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, ඕපනයිකය, විඥයන් විසින් ස්වසන්තානයෙහි වෙන වෙනම උපදවා දත යුතුය.”

මාරයා ඒ භික්ෂුන්ට ඉදිරිපිට ඇති සැප හැර මතු භවයකදී ලැබෙන දෙයක් ගැන නො සිතන්නය යි අනුශාසනය කළේ, භික්ෂුන් මතු දෙව්ලොව ඉපිද දෙව්සැප විදිණු පිණිස මහණ දම් පුරතියි සිතා ය. භික්ෂුන් මේ ධර්මය සාන්දෘෂ්ටිකය, අකාලිකය යි කීයේ බුදුරදුන් දෙසු දහම හා ඔවුන් පුරන ශ්‍රමණධර්මය ගැනය. භික්ෂුහු ඒ කාරණ බුදුරදුන්ට ද සැලකළෝ ය. ඔවුන්ගේ ප්‍රකාශනය බුදුරජහු ද පිළිගත් සේක. මේ කරුණ අනුව පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක්හි අකාලික ගුණය ඇති බව පිළිගත යුතු ය."

3. "13. ඒහිපස්සික ගුණය

ඒහිපස්සිකො යන්නෙහි තේරුම, “එන්නය, මේ ධර්මය අසන්නය, මේ ධර්මය අනුව ක්‍රියා කර බලන්නය යි අන්‍යයන්ට කීමට - අන්‍යයන් මෙහෙයවීමට, අන්‍යයන්ට බලකිරිමට වුවද මේ ධර්මය සුදුසුය’ යනුයි. ඉදිබුලොම - කවුඩු දත්-සා අං ආදිය නැති නිසා ඇවිත් බලන්නය යි ඒවා නො දැක්විය හැකිය. තිර්ථකයන් විසින් පරිකල්පිත ධර්ම ද සත්‍යවශයෙන් නැති බැවින් ඇවිත් බලන්නය කියා නො දැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් දේශිත සතර මාර්ග සතරඵල නිර්‍වාණසඬිඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය උන්වහන්සේ විසින් දේශනා කළේ පළමු කොට තමන් වහන්සේගේ සන්තානයෙහි ඒ ධර්මයන් උපදවාගෙන හා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනය. ඒ ධර්මයන් උපදවා ගත් ප්‍රත්‍යක්ෂ කර ගත් බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ ද වූහ. එබැවින් ඒ නවලෝකෝත්තර ධර්‍මය ගැන සැක කළ යුත්තක් නැත. මේ සසුනට ඇවිත් පිළිවෙත් පුරා ඒ ධර්‍මයන් ලබා ගන්නය යි සෙස්සන්ට කීමට බියවිය යුත්තක් නැත. ඒ නවලෝකෝත්තර ධර්මය ඒහිපස්සික ගුණයෙන් යුක්තය.

යමක් ඇසිමෙන් දැකිමෙන් කිරිමෙන් ප්‍රයෝජනයක් නැති නම් නපුරක් හෝ වේ නම් ඒ දෙය ඇසිමෙහි දැකිමෙහි කිරීමෙහි සෙස්සන් යෙදවීම නුසුදුසු ය. යම් ධර්මයක් ඇසීමෙන් කල්පනා කිරිමෙන් එයට අනුව ක්‍රියා කිරිමෙන් වන ප්‍රයෝජනයක් නැති නම්, නපුරක් විය හැකි නම් ඒ ධර්මය ඇසීමෙහි ඒ ධර්මය අනුව පිළිපැදිමෙහි අන්‍යයන් යෙදවීම නුසුදුසු ය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය යමකු පහත් සිතින් අසනවා නම් එයිනුදු ඔහුට යහපතක් වේ. ඇතැම්හූ ඒ පිනෙන් ම ද මරණින් මතු දෙව්ලොව උපදිති. ඉතාම පහත් දෙව්ලොව වූ චාතුර්මහාජිකයෙහි දෙවියන්ට අවුරුදු අනූලක්ෂයක් ආයු ඇත්තේ ය. ඔවුනට ආහාරපානවස්ත්‍රාදී සියල්ල පින් බලයෙන් නිරායාසයෙන් ම ලැබේ. ඒවා ලැබිම සඳහා මිනිස් ලොව මෙන් වැඩ කළයුතු බවක් දෙව්ලොව නැත. අසවල් දෙය නැත, අසවල් දෙය විනාශ වුනාය, අසවල් අලාභය විය කියා තැවීමක් ඔවුනට නැත. මිනිසුන්ගේ ශරීර මෙන් පරණව ඔවුන්ගේ ශරිර දිරායාමකුත් නැත. ආයු කෙළවර වීමෙන් ඔවුන් මිය ගිය පසු මළ සිරුරක් ද ඉතිරි නො වේ. එබැවින් මළසිරුරු එසවීමක් ද නැත. බුදුරදුන්ගේ ධර්මය අනුව වැඩි දුරට පිළිපදින්නා වූ තැනැත්තාට රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබා ගත හැකිය. ධ්‍යාන සුඛය දෙව්ලොව මිනිස් ලොව ඇති කාමසුඛයන්ට දහස් ගුණයෙන් උසස්ය. ප්‍රණීත බෝජන වළදන රජකුට චණ්ඩාලභෝජනය පිලිකුල් වන්නාක් මෙන් අතිප්‍රණීත ධ්‍යානසුඛය ලබා ඇතියවුන්ට කාමසුඛය පිළිකුල් දෙයකි. ධ්‍යානසම්ප්‍රයුක්ත ප්‍රීතිය ද එසේ ම අතිප්‍රණීතය, ධ්‍යානලාභීන්ට මෙලොව අතිප්‍රණීතසුඛයෙන් හා ප්‍රීතියෙන් කල්යවා මරණින් මතු බ්‍රහ්මලෝකයෙහි ඉපදිය හැකිය. ඔවුනට එහි ධ්‍යානසුඛයෙන් කල්ප ගණනක් ජිවත් විය හැකිය. තව දුරටත් ඒ ධර්මය අනුව පිළිපදින්නවුන්ට සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අර්හත් යන සතරමාර්ග සතර ඵලයන්ට පැමිණ දුක් කෙළවර කර ගත හැකි ය. නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දර සුඛය වූ පරණ වීමෙන් නරක් නොවන, කිසි කලෙක නැති නොවන සුඛය ලැබිය හැකිය. බුදුරදුන්ගේ ධර්‍මය ඇසීමෙහි දැරිමෙහි එය අනුව පිළිපැදීමෙහි මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් රජකුට වුවද රජසම්පත් හැර මේ ධර්මය ඇසීම, මේ ධර්මය අනුව පිළිපැදීම සුදුසු ය. සක්විතිරජකුට වුවද සුදුසු ය. තථාගතයන් වහන්සේ දායාද ඉල්ලූ රහල්කුමරුන් විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේ ද අභිෂේක මංගලය, ගෘහප්‍රවේශ මංගලය, විවාහ මංගලය යන තුන් මඟුල් සිදු කිරිමට සැරසී සිටි නන්ද කුමරුන් ඒ මගුල් දිනයේ ම විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කර වූයේ ද මේ ධර්මයෙහි ඇති ඒහිපස්සික ගුණය නිසා ය.

බුදුදහමෙහි ඇති මේ ඒහිපස්සික ගුණය නිසා අන්‍යතීර්ථකයන්ගේ ධර්මයන් පිළිගෙන සිටි බොහෝ ක්ෂත්‍රියයෝ ද, බ්‍රාහ්මණයෝ ද, ගෘහපතියෝ ද ඔවුන් විසින් කලින් පිළිගෙන සිටි බ්‍රාහ්මණධර්මයන් තිර්‍ථක ධර්මයන් හැර බුදුදහම අසා එය පිළිගෙන බුදුසමයට ඇතුළුව බුද්ධශ්‍රාවකයෝ වූහ. බොහෝ අන්‍ය තීර්‍ථක ශ්‍රමණයෝ ද ඔවුන් පිළිගෙන සිටි දහම් හැර මේ ධර්මය පිළිගෙන බුදුසස්නෙහි පැවිදිව බුද්ධශ්‍රාවකයෝ වූහ.

එක් කලෙක අවේලකාශ්‍යප නම් නිරුවත් තවුසෙක් මච්ඡිකාසණ්ඩ නම් ගමට පැමිණියේ ය. ඒ තවුසා එගම වෙසෙන ප්‍රසිද්ධ බුද්ධ ශ්‍රාවකයකු වන චිත්‍රගෘහපතිගේ පැරණි මිත්‍රයෙකි. කාශ්‍යප මච්ඡිකාසණ්ඩයට පැමිණි බව ඇසූ චිත්‍රගෘහපති ඔහු දක්නට ගොස් පිළිසඳර කථා කොට එකත්පසෙක හිඳ “ස්වාමිනි, ඔබ පැවිදිව දැනට කොතෙක් කල් ගත වී ඇතිදැ’යි විචාළේ ය. “ගෘහපතිය, මා පැවිදිව දැනට තිස්වසක් වන්නේය’යි කාශ්‍යප කීය. ස්වාමිනි, තිස්වසක් මහණදම් පුරා ඔබ වහන්සේ විසින් කිනම් උසස් දෙයක්, කිනම් සැප විහරණයක් ලබා ඇත්තේ දැ’යි චිත්‍රගෘහපති ඇසීය. “ගෘහපතිය, මුඩුබවත් - නිරුවත් බවත් - දූලි පිස්නා මොනරපිල් මිටියත් හැර මා විසින් ලබා ඇති උසස් දෙයක් නැත ය’ යි කාශ්‍යප කීය. එකල්හි චිත්‍ර ගෘහපති ඔබගේ ධර්මයේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්‍ය්‍යවත් ය, ඒ ධර්මයෙහි තිස්වසක් පිළිවෙත් පුරා ද මුඩුබවත් නිරුවත්බවත් මොනරපිල් මිටියත් හැර අන් උසස් දෙයක් නො ලැබිය හැකිවිය’යි කීය. “ගෘහපතිය, ඔබ උපාසකත්වයට පැමිණ කොතෙක් කල් ගතවී ඇතිදැ’යි කාශ්‍යප ඇසීය. “ස්වාමිනි, මා උපාසකත්වයට පැමිණ ද තිස්වසක් වේ ය’යි චිත්‍රගගෘහපති කීය. “ගෘහපතිය, උපාසකත්වයට පැමිණ සිටි තිස් වසර තුළ ඔබ ඉන් ලබාගත යම් කිසි උසස් දෙයක් සැප විහරණයක් ඇත්තේදැ’යි කාශ්‍යප කීය.

එකල්හි චිත්‍රගෘහපති, “මම කාමයන් කෙරෙන් වෙන්ව, අකුශලධර්මයන් කෙරෙන් වෙන්ව, විතර්ක සහිත වූ විවාර සහිත වූ නීවරණවිගමන සංඛ්‍යාත විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ රිසි සේ වෙසෙමි, ද්විතික ධ්‍යානයට - තෘතීයධ්‍යානයට - චතුර්ථධ්‍යානයට පැමිණ රිසි සේ වෙසෙමි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට කලින් කාලක්‍රියා කෙලෙමි නම් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින් යුක්ත වුයේ මේ ලෝකයට ඉපදිම වශයෙන් නැවත පැමිණෙන්නේ ද ඒ සංයෝජන චිත්‍රගෘහගතිහට නැත්තේ ය යි ප්‍රකාශ කළහොත් එය ආශ්චර්‍ය්‍යයක් නොවේය’යි කීය.

එකල්හි අචේල කාශ්‍යප කියනුයේ “ධර්මයේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්ය්‍යය, සුදුවත් හඳනා ගිහියකුව සිට ද මේ චිත්‍රගෘහපති ආර්‍ය්‍ය භාවයට පැමිණ උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් ලබා ඇත්තේය. සැපවිහරණයක් ලබා ඇත්තේ ය. ගෘහපතිය, ‘මට ද මේ ධර්මයෙහි පැවිද්ද හා උපසම්පදාව ලබා දෙනු මැනව’යි කීය. චිත්‍ර ගෘහපති ඔහු තෙරුන් වහන්සේලා වෙත කැඳවා ගෙන ගොස් “ස්වාමීනි, මේ අචේල කාශ්‍යප මාගේ පැරණී යහළුවකි, මොහු බුදුසස්නෙහි පැවිදි කරවන සේක්වා! මම මොහුට චීවර පින්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍යයන් සැපයීමට උත්සහ කරමි’යි කීය. තෙරුන් වහන්සේලා කාශ්‍යප පැවිදි කළහ. ඔහු මැනවින් බුදුසස්නෙහි මහණදම් පුරා නෙබෝ කලකින් සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේ ය.

(චිත්ත සංයුත්ත)

අචේල කාශ්‍යප මෙන් ම බුදුරදුන්ගේ ධර්මය අසා ඔවුන් පිළිගෙන සිටි දහම් හැර පැවිදි වූ අන්‍ය තීර්‍ථකයෝ බොහෝ දෙනෙකි. නෛර්‍ය්‍යාණික වු මේ ධර්මය කිනම් උපායකින් වුව ද අන්‍යයන් ලවා ඇස්සීමට සුදුසු බැවින් අනේපිඬු මහසියාණෝ ඔවුන්ගේ පුත්‍ර කාළ නමැත්තා දහම් අසා මතක තබා ගෙන ආවහොත් දහසක් කහවණු දෙන්නට පොරොන්දු වී දහම් ඇසීමට බුදුරදුන් වෙත යැවූහ."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll