842. සෑම රහතන්වහන්සේනමකට ම ත්‍රිවිද්‍යා ලැබෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රහත් ඵලය ලැබීමේදී සැම රහතන් වහන්සේ නමකටම ත්‍රීවිද්ද්‍යා උපදිනවද?

{R / T. "විජ්ජා-චරණ සම්පන්නො

ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යායෙන් ද, චරණයෙන් ද සම්පන්න බැවින් - යුක්ත බැවින් විජ්ජා-චරණ සම්පන්න වන සේක.

එහි විද්‍යා නම් ත්‍රි විද්‍යා යි. අෂ්ට විද්‍යා හෝ ත්‍රි විද්‍යාව භයභෙරව සූත්‍රයෙහි[1] ද, අෂ්ට විද්‍යාව අම්බට්ඨ සූත්‍රයෙහි[2] ද, දැක්වුණු පරිදි දත යුතු (පූර්‍වෙ නිවාසානුස්මෘතිඥානය, දිව්‍යචක්‍ෂුරභිඥානය, ආශ්‍ර‍වක්‍ෂයකරඥානය යන මේ ඥානත්‍ර‍ය ත්‍රි විද්‍යා යි.) විදර්‍ශනාඥානය, මනොමය සෘද්ධිඥානය යන ඥානද්‍වය හා ෂට් අභිඥා හා අෂ්ට විද්‍යා යි. (ෂට් අභිඥා නම් ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්තවිජානන, පුබේබනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන ඥාන සය යි.)

චරණ නම් ශීල සංවරය, ඉන්‍ද්‍රිය සංවරය, භෝජනයෙහි පමණ දන්නා බව ය, ජාගරියානුයොගය හෙවත් නිදි වර්‍ජනයෙහි යෙදීම ය, සද්ධා - හිරි - ඔත්තප්ප - බාහුසච්ච - විරිය - සති - පඤ්ඤා යන සප්ත ධර්‍මය, රූපාවචර ධ්‍යාන සතර ය යන මේ පසලොස් ධර්‍ම යි. මේ ධර්‍ම පසලොස කරන කොට ආර්‍ය්‍ය ශ්‍රාවක නිවන දෙසට චරණය කරයි. ගමන් කරයි. එහෙයින් ඒ ධර්‍ම පසලොස චරණ ධර්‍මය යි කියන ලදි.

ඒ එසේ මැ යි :- භාග්‍යවතුන් වහන්සේ මැදුම් සඟි මජ්ඣිම පණ්ණාසකයෙහි “ඉධ මහානාම අරියසාවකො සීලවා හොති”[3] යනාදීන් දැක්වූ සේක.

උන්වහන්සේ මේ දැක්වුණු විජ්ජායෙන් ද, චරණයෙන් ද යුක්ත සේක. එහෙයින් විජ්ජා චරණ සම්පන්න වන සේක.

මේ විජ්ජා චරණ අතුරෙන් විද්‍යාසම්පත්තිය උන්වහන්සේගේ සර්‍වඥතාඥානය ද, චරණසම්පත්තිය මහාකාරුණිකත්‍වය ද, පුරා සිටියේ ය. උන්වහන්සේ සර්‍වඥතාඥානයෙන් ලෝකයාගේ අර්‍ථානර්‍ථ දැනැ වදාරා මහාකාරුණිකත්‍වයෙන් අනර්‍ථය හැරැ පියා අර්‍ථයෙහි යොදන සේක. විජ්ජා-චරණ සම්පන්නයෙන් කරන්නේ එසේ මැ ය. එයින් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුපටිපන්න වෙති. දුප්පටිපන්න නො වෙත්. විජ්ජාචරණසම්පන්න නො වූ ශාස්තෘවරයන්ගේ ශ්‍රාවකයෝ දුප්පටිපන්න වැ අත්තන්තප, පරන්තප, උභයන්තප වෙත්."}

A / R. "අභිඥා ඉපදවීම

“සෘද්ධිවිධ අභිඥාවය, දිව්‍යශ්‍රෝත්‍ර‍ අභිඥාවය, පරචිත්තවිජානන අභිඥාය, පූර්වේනිවාසානුස්මෘති අභිඥාවය, දිව්‍යචක්ෂුරභිඥාවය” යි අභිඥා පසෙකි.

අභිඥා යනු විශේෂ බලයකින් යුක්ත වන රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට ම කියන නමෙකි. නො පෙනී සිටීම, අහසින් යාම, ජල මතුයෙහි ඇවිදීම, පොළොවෙහි ගැලීම යනාදිය හා නොයෙක් දේ මැවීමත් සිදු කිරීමට සමත් රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය සෘද්ධිවිධ අභිඥා නම් වේ.

මිනිස් කනට නො ඇසෙන ඉතා සියුම් ශබ්ද හා බොහෝ දුර ඇතිවන ශබ්ද ද කනින් අසන්නාක් මෙන් ඇසීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යානය දිව්‍ය ශ්‍රෝත්‍ර‍ අභිඥා නම් වේ.

අනුන්ගේ සිත් දැකිය හැකි වූ රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය පරචිත්තවිජානන අභිඥා නම් වේ.

තමාගේ අතීත ජාතීන් සිහි කිරීමට සමත් රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය පූර්වේනිවාසානුස්මෘති අභිඥා නම් වේ.

මිනිස් ඇසට නො පෙනෙන සියුම් දේවල් හා දුර පිහිටි දේවල් ද, බිත්ති පර්වතාදියෙන් වැසී ඇති දේවල් ද, ඇසින් දක්නාක් මෙන් දැකීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය දිව්‍යචක්ෂුරභිඥා නම් වේ.

ධ්‍යාන ලැබූ පමණින් හෝ රහත් වූ පමණින් හෝ අභිඥා නො ලැබේ. අභිඥා බලය ධ්‍යාන ලැබීමෙන් පසු නැවත උත්සාහ කොට ලබාගත යුතු ය. සමීප අතීත භවවලදී ධ්‍යානාභිඥා උපදවා ගෙන සිටියා වූ තැනැත්තන්ට හා බෝධිසම්භාර පුරා ඇති මහාබෝධි සත්ත්වයන්ට ධ්‍යාන ලැබීම සමඟ ම නිරුත්සාහයෙන් ම අභිඥා බලය ද ලැබේ. අභිඥා ලබනු කැමැති සාමාන්‍ය ධ්‍යාන ලාභීන්ට අෂ්ට සමාපත්ති විෂයෙහි “කසිණානු ලෝමතෝ කසිණ පටිලෝමතෝ” යනාදීන් විශුද්ධි මාර්ගාදියෙහි දක්ව ඇති තුදුස් ආකාරයෙන් සිත පුරුදු නො කොට අභිඥා බලය නො ලැබිය හැකි ය.

පඤ්චක ක්‍ර‍මය ය, චතුෂ්ක ක්‍ර‍මය ය කියා රූපාවචර ධ්‍යාන සෙවීමේ ක්‍ර‍ම දෙකක් ඇත්තේ ය. මේ පොතේ රූපාවචර ධ්‍යාන දක්වා ඇත්තේ පඤ්චක ක්‍ර‍මයෙනි. චිත්ත පරිච්ඡේදයේ රූපාවචර සිත් පසළොසක් කියා ඇත්තේ ධ්‍යානවල පඤ්චක ක්‍ර‍මය අනුව ය. රූපාවචර ප්‍ර‍ථම ධ්‍යානය ඉපද වූ ඇතැම් යෝගාවචරයෝ විතර්කවිචාර නැමැති ධ්‍යානාඞ්ග දෙක ම එකවර ඉක්මවා ප්‍රීති සුඛ ඒකාග්‍ර‍තා යන අඞ්ගත්‍ර‍ය ඇති ධ්‍යානය දෙවර වරට උපදවති. ඔවුනට එය ද්විතීය ධ්‍යානය ය. පඤ්චක ක්‍ර‍මයේ සැටියට නම් එය තෘතීයධ්‍යානය ය. ඔවුහු පඤ්චක ක්‍ර‍මයේ සතර වන ධ්‍යානය තුන් වන වරට ද, පස් වන ධ්‍යානය සතර වන වරට ද උපදවති. ඔවුනට ඇත්තේ ප්‍ර‍ථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය කියා රූපාවචර ධ්‍යාන සතරෙකි. ධ්‍යානයන්ට සමාපත්ති යන නාමය ද ව්‍යවහාර කරනු ලැබේ. එබැවින් රූපාවචර ධ්‍යාන සතරය, අරූපාවචර ධ්‍යාන සතරය යන මේ අටට අෂ්ට සමාපත්තිය යි කියනු ලැබේ.

අෂ්ට සමාපත්ති ලාභියා විසින් පඨවි - ආපෝ - තේජෝ - වායෝ - නීල - පීත - ලෝහිත - ඕදාත යන කසිණ අටෙන් ම රූපාවචර ධ්‍යාන උපදවා ගත යුතු ය. ඉක්බිති පඨවි කසිණයේ පටන් ඕදාත කසිණය දක්වා ඇති කසිණයන්හි පිළිවෙළින් ධ්‍යානවලට සමවැදීම ය, ඕදාත කසිණයේ පටන් ප්‍ර‍තිලෝම වශයෙන් සියලු කසිණයන්හි ධ්‍යානවලට සමවැදීම ය, ඒ ක්‍ර‍ම දෙකින් ම ධ්‍යානවලට සමවැදීම ය යන ආදි විශුද්ධි මාර්ගයෙහි දැක්වෙන ක්‍ර‍ම තුදුසෙන් ම අෂ්ට සමාපත්තිය පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ යෝගාවචරයාගේ රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමේ ශක්තිය ලැබෙන්නේ ය.

අෂ්ට සමාපත්තීන් තුදුස් ආකාරයෙන් පුරුදු කොට රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයේ බලය දියුණු කරගත්තා වූ යෝගාවචරයා විසින් එහි බලයෙන් යම් කිසි විශේෂ දෙයක් සිදු කරනු කැමති කල්හි පළමු කොට කරන්නට යන කටයුත්තට සුදුසු කසිණයෙක්හි පඤ්චමධ්‍යානයට සමවැදිය යුතු ය. ඒ පඤ්චම ධ්‍යානයට ‘අභිඥාපාදක පඤ්චම ධ්‍යානය’ යි කියනු ලැබේ. එයින් නැගිට යම් කිසිවක් මැවීමට නම් ‘අසවල් දෙය මැවේවා, මැවේවා” යි කීප විටක් සිතා නැවතත් ඒ පඤ්චම ධ්‍යානයට සමවැදිය යුතු ය. එයින් නැගිට නැවතත් ‘අසවල් දෙය මැවේවා’ යි අධිෂ්ඨාන කළ යුතු ය. ඒ අවස්ථාවෙහි දී අධිෂ්ඨාන කිරීම් වශයෙන් ඇති වන්නේ විශේෂ බලයෙන් යුක්ත වන අභිඥා චිත්ත නම් වූ රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය ය. ඒ සිත උපදිනු සමග ම යෝගාවචරයා අදහස් කළ රූපය පහළ වේ.

ඉහත කී පරිදි අෂ්ට සමාපත්තීන්හි තුදුස් ආකාර වශීභාවය ඇති කර ගැනීමෙන් ම සියලු ම අභිඥා ලැබෙන්නේ නො වේ. දිව්‍ය ශ්‍රෝත්‍රාදි අභිඥාවන් සඳහා වෙන වෙන ම කළ යුතු පරිකර්ම ඇත්තේ ය. ඒ ඒ අභිඥාවන් ලැබීමට නිසි පරිකර්ම සම්පූර්ණ කළ යෝගාවචරයන්ට ඒ ඒ අභිඥා ඇත්තේ ය. අභිඥාවලින් සමහරුන්ට එකක් පමණක් ඇත්තේ ය. සමහරුන්ට දෙක තුන ඇත්තේ ය. සමහරුන්ට සියල්ලම ඇත්තේ ය. එබැවින් ඇතැම් ධ්‍යාන ලාභීහු මිනිස් ඇසට නො පෙනෙන දෙවි බඹුන්ගේ ශරීර දකිති. එහෙත් ඔවුන්ගේ හඬ ඇසීමට සමත් නො වෙති. ඇතැම්හු දුර ශබ්ද ඇසීමට සමත් වෙති. එහෙත් දුර රූප දැකීමට සමත් නො වෙති. සමහරු ඒ දෙක ම කිරීමට සමත් වෙති. එහෙත් යම් කිසිවක් මැවීමට අපොහොසත් වෙති. ධ්‍යාන ලාභියකු විසින් යම් කිසිවක් වේවා ය කියා නිකම් සිතූ තරමින් කී තරමින් යමක් සිදු නො වන බව ද දත යුතු ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll