506. ලිංග පරිවර්තනය හා තාක්ෂණය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. භාව රූප වෙනස් වෙන්නේ කර්මයෙන් පමණයි නේද ?
2. එසේ නම් කොතරම් තාක්ශණය දියුනු උනත් ගැහැනියකට පිරිමියෙකු හො පිරිමියෙකුට ගැහැනියක් වෙන්න බෑ නේද ?

A / R. 1. “ස්ත්‍රීභාව රූපය, පුරුෂභාව රූපය යි භාව රූප දෙකකි. ලෝකයේ වාසය කරන්නා වූ සකල සත්ත්වයන්ගේ ම ශරීරයන් නිර්මාණය වන්නේ මහා භූතයන්ගෙන් ය. එක ම ජාතියකට අයත් මහා භූතයන් ගෙන් ඇති වන ශරීරයන් ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙපරිද්දකින් ඇති වන්නට යම් කිසි විශේෂ හේතුවක් තිබිය යුතු ය. ඒ විශේෂ හේතුව භාව රූපය ය. එය ඇති වනුයේ කර්මයෙනි. සත්ත්ව ශරීරවල පමණක් නොව තෘෂ්ණාවේ ද ස්ත්‍රී පුරුෂ භේදය ඇත්තේ ය. ස්ත්‍රීන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ව ඔවුන් කෙරෙහි ඇති වන තෘෂ්ණාව ස්ත්‍රීතෘෂ්ණාව ය. පුරුෂයන්ට පමණක් අයත් වූ කරුණු පිළිබඳ ව ඔවුනට ඇති වන තෘෂ්ණාව පුරුෂ තෘෂ්ණාව ය. භවයෙහි සත්ත්වයාගේ නැවත නැවත ඉපදීමට තෘෂ්ණාව ද බලවත් හේතුවකි. අප්‍ර‍හීණත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධිය ගෙන දෙන කල්හි ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම ස්ත්‍රී භාවරූපය ද ඇති වේ. අප්‍ර‍හීණත්වයෙන් පුරුෂ තෘෂ්ණා සහගත කර්මයෙන් ප්‍ර‍තිසන්ධි චිත්තය සමඟ ම පුරුෂ භාව රූපය ද ඇති කරනු ලැබේ. ප්‍ර‍තිසන්ධි චිත්තයේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. ස්ත්‍රීන් කෙරෙහි ඇති වන කර්ම අප්‍ර‍හීණත්වයෙන් ස්ත්‍රී තෘෂ්ණා සහගත වන බැවින් ද, පුරුෂයන් කෙරෙහි ඇති වන කර්ම පුරුෂ තෘෂ්ණා සහගත වන බැවින් ද ජාතියෙන් ජාතිය ස්ත්‍රීහු ස්ත්‍රීන් ව ම ද, පුරුෂයෝ පුරුෂයන් ව ම ද උපදිති. එය වෙනස් වන්නේ එසේ නො වීමට යම්කිසි විශේෂ හේතුවක් ඇති වුවහොත් පමණකි.”

A / R. 2. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති. “තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති, තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති” යි විනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි. බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නො දන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින් ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංගවිපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනකකර්මය (උප්පත්තියට හේතු වූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂභාව රූපයන් ඉපදවීමට නො සමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රීභාව රූප උපදවයි. කලින් පැවැත්තා වූ පුරුෂභාවරූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසු ව ඔහු ගේ සන්තානයෙහි ස්ත්‍රීභාවරූප ඇති කළා වූ ද කලින් පුරුෂභාව රූප ඇති කළා වූ ද කර්මය එකක් ම ය. එය ඔහුගේ උත්පත්තියට හේතු වූ කුශල කර්මය ම ය. මේ විර්‍ප්‍යාසයට දුරින් හේතු වන අකුශල කර්‍මය දැක්වීම පිණිස එය ප්‍ර‍ධාන කොට කතා කිරීමේ දී බලවත් අකුශලයෙන් පුරුෂලිංග අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වෙතැ යි කියනු ලැබේ. එය පර්‍ය්‍යාය කථාවෙකි.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll