584. අනුසෝතගාමී ද? පටිසෝතගාමී ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පටිසෝතගාමී යන වචනය සරලව පහදා දෙන්න. ඔබට පින්!!!

A / R. “‘පටිසොතගාමී’ පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් කාමයන් ද සේවනය නො කෙරෙයි. පව් කම් ද නො කෙරෙයි. හෙතෙම දුක් සහිත වැ මැ දොම්නස් සහිත වැ මැ කඳුළු මුව ඇත්තේ හඬමින් පිරිපුන් පිරිසුදු බඹසර රකි. මේ පුද්ගල ‘පටිසොතගාමී’ යැයි කියනු ලැබේ.”

“කතමො ච පුග්ගලො පටිසොතගාමී? ඉධෙකච්චො පුග්ගලො කාමෙ ච න පටිසෙවති පාපඤ්ච කම්මං න කරොති. සො සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛෙනපි රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති. අයං වුච්චති පුග්ගලො “පටිසොතගාමී”.

A / R. “මහණෙනි, උඩු අතට යන යන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් නොසෙවුනේද, පව්කම් නොකරයිද, දුකින්, දොම්නසින්, කඳුළු පිරුණු මුහුණින් අඬමින් නමුත් පරිපූර්‍ණ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, මහණෙනි, මේ උඩු අතට යන පුද්ගලයායයි කියනු ලැබේ.”

‘‘කතමො ච, භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො? ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො කාමෙ ච නප්පටිසෙවති, පාපඤ්ච කම්මං න කරොති, සහාපි දුක්ඛෙන සහාපි දොමනස්සෙන අස්සුමුඛොපි රුදමානො පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති. අයං වුච්චති, භික්ඛවෙ, පටිසොතගාමී පුග්ගලො.”

["27. ‘අනුසොතගාමී’ පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් කාමයන් ද සේවනය කෙරෙයි. පව්කම් ද කෙරෙයි, මේ පුද්ගල ‘අනුසොතගාමී’ යැ යි කියනු ලැබේ.

‘පටිසොතගාමී’ පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් කාමයන් ද සේවනය නො කෙරෙයි. පව් කම් ද නො කෙරෙයි. හෙතෙම දුක් සහිත වැ මැ දොම්නස් සහිත වැ මැ කඳුළු මුව ඇත්තේ හඬමින් පිරිපුන් පිරිසුදු බඹසර රකි. මේ පුද්ගල ‘පටිසොතගාමී’ යැයි කියනු ලැබේ.

‘ස්ථිතාත්ම’ (නැවැතුණු ස්වභාව ඇති) පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් පඤ්චවිධ ඔරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතික වූයේ ඒ සුද්ධාවාස බඹලොව්හි පිරිනිවෙනුයේ එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘ස්ථිතාත්ම’ යැ යි කියනු ලැබේ.

කවර පුද්ගලයෙක් (තෘෂ්ණා ස්‍රොතස) තරණය කෙළේ නිවන් නැමැති පරතෙරට ගියේ අර්හත්ඵලසමාපත්ති නැමැති ස්ථලයෙහි සිටුනා ‘බ්‍රාහ්මණ’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මේ පුද්ගල තරණය කළ එතෙරට ගිය ස්ථලයෙහි සිටුනා ‘බ්‍රාහ්මණ’ වේ."]

{’’මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයන් සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමාන වෙත්. ඒ කවර සතර දෙනෙක්ද යත්?
’’කෙලෙස් ජල පහරට අනුව යන පුද්ගලයාය, කෙලෙස් ජල පහරේ උඩු අතට යන පුද්ගලයාය, කෙලෙස් ජල පහරෙහි නැවතී සිටින පුද්ගලයාය, කෙලෙස් ජල පහරින් එතෙරවූ, පරතෙරට ගිය නිවණ නමැති ගොඩ සිටි උතුම් පුද්ගලයාය යන සතර දෙනයි.
’’මහණෙනි, ජල පාරට අනුව යන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් සේවනය කරයිද, පව්කම් රැස් කරයිද, මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගලයායයි කියනු ලැබේ.
’’මහණෙනි, උඩු අතට යන යන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් නොසෙවුනේද, පව්කම් නොකරයිද, දුකින්, දොම්නසින්, කඳුළු පිරුණු මුහුණින් අඬමින් නමුත් පරිපූර්‍ණ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරේද, මහණෙනි, මේ උඩු අතට යන පුද්ගලයායයි කියනු ලැබේ.
’’මහණෙනි, නැවතී සිටින පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඔරම්භාගීය සංයෝජන පස ක්‍ෂයවීමෙන් ඔපපාතික වේද, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ එහිම පිරිනිවෙන්නේ වේද, මේ සිටියාවූ පුද්ගලයායයි කියනු ලැබේ.
’’මහණෙනි, කෙලෙස් ජල පහරින් එතරවූ, පරතෙරට ගිය, නිවණ නමැති ගොඩ සිටි උතුම් පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, ආශ්‍රවයන් ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ කෙලෙස් ජල පහරින් එතරවූ, පරතෙරට ගිය, නිවණ නමැති ගොඩ සිටි, උතුම් පුද්ගලයායයි කියනු ලැබේ.
’’මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත් යයි වදාළ සේක.
’’මේ ලෝකයෙහි කාමයන්හි සංවරනුවූ, තෘෂ්ණාවට බැසගත්, යම්කිසි ජන කෙනෙක් වෙත්ද, කාම භෝගීවූ, නැවත, නැවත ඉපදීමට, ජරාවට බැස ගන්නාවූ ඔවුහු ශ්‍රොතයට අනුව යන්නාහුය. එසේ හෙයින් මේ ලෝකයෙහි එළඹ සිටි සිහි ඇති ඤාණවන්ත තෙමේ කාමයන්ද, පාපයන්ද සේවනය නොකරන්නේ, දුකින් වුවත් කාමයන් අත්හරින්නේය. ඒ පුද්ගලයා පටිසෝතගාමීයයි කීහු. යමෙක් ඒකාන්තයෙන් පිරිපුන් ශෙඛ වූයේද, නොපිරිහෙන ස්වභාව ඇත්තේද, චිත්ත වසියට පැමිණියේද, සංසුන් ඉඳුරන් ඇත්තේද, හෙතෙම ඒකාන්තයෙන් සිටි මනුෂ්‍යයා යයි කියනු ලැබේ. යමෙකු විසින් කුශලාකුශල ධර්මයෝ සංසිඳුවා පිඹහරින ලද්දාහුද, විද්‍යමාන නොවෙත්ද, අස්තයට යවන ලද්දාහුද, ඥානයේ කෙළවරට ගිය, වැස නිමවන ලද මග බඹසර ඇති, ලෝකයේ කෙළවරට ගිය පුද්ගලයා පරතෙරට පැමිණියේයයි කියනු ලැබේ.’’}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll